අභාවප්‍රාප්ත වන විට ඔහු දශක ගණනාවක් පුරා ප්‍රකට දේශපාලඥයෙකු වූ මංගල සමරවීරගේ කල්‍යාණ මිත්‍රයකු මෙන්ම සමරවීර පවුලේ සමීපතම හිතවතෙකු ලෙස ද කටයුතු කළේය.
අභාවප්‍රාප්ත නලීන් අබේගුණවර්ධන මහතාගේ දේහය අද (10 දා) සවස 5.30 සිට මාතර, පඹුරණ, ගාලු පාරේ පිහිටි රීගල් මල්ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ සාමාජිකයෝ පවසති.
අවසන් කටයුතු හෙට (11) සවස 6.00ට මාතර මහා නගර සභා ආදාහනාගාරයේදී සිදුකිරීමට සූදානම් කර ඇත.
මංගල පවුලෙන් සංවේග සටහනක්
නලීන් අබේගුණවර්ධන මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජයන්ති, නිමල්, යෙෂාන්ත්, චංචලා සහ සුනිමාලි සමරවීර ගුණවර්ධන යන අය ඇතුළු මංගල සමරවීර පවුලේ සාමාජිකයන් විසින් සංවේග සටහනක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, දශක ගණනාවක් පුරා නලීන් අබේගුණවර්ධන මහතාගේ කල්‍යාණ මිත්‍රත්වය ලැබීමට හැකිවීම පවුලේ සියලු දෙනාට මහත් ගෞරවයක් බවයි.
"ඔහු මාතරට හදවතින්ම පෙම් බැඳි මිනිසෙකි. මාතර පරම්පරා ගණනාවක ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් ඔහු සතු විය. නම ඇසූ පමණින්, ඔබ පවා නොදන්නා ඔබේ පවුලේ ඉතිහාසය විස්තර කිරීමට ඔහුට අපූරු හැකියාවක් තිබුණි" යැයි එම සටහනේ සඳහන් වේ.
දේශපාලනය තුළින් සමාජයට සිදු කළ හැකි යහපත පිළිබඳව ඔහු තුළ ඉමහත් විශ්වාසයක් පැවති බවත්, යුද්ධය පැවති අසීරු කාල වකවානුවලදී පවා සියලු භේද පසෙකලා අන් අයට යහපතක් කිරීමට ඔහු සැමවිටම කටයුතු කළ බවත් පවුලේ සාමාජිකයෝ සිහිපත් කරති.
මංගල වෙනුවෙන් නොසැලී පෙනී සිටි මිත්‍රයා
මංගල සමරවීර මහතා වෙනුවෙන් දශක ගණනාවක් පුරා නොසැලී පෙනී සිටි නලීන් අබේගුණවර්ධන මහතා, මංගලගේ වියෝවෙන් පසුව ගෙවුණු වසර කිහිපය පුරාවටම නිරන්තරයෙන් සමරවීර නිවසට පැමිණ දුක සැප බෙදා ගත් බවත්, දෑස්වල දිදුලන ප්‍රබෝධයකින් යුතුව විහිළු කතා කීමට ඔහු සතුව තිබුණේ පුදුමාකාර හැකියාවක් බවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
ගැඹුරු ශ්‍රද්ධාවකින් යුත් බෞද්ධයෙකු වූ ඔහු, මංගලගේ අභාවයෙන් පසු සෑම වසරකම මාතර බෝධිය අසල සහ නිවසේ ධර්ම දේශනා සහ පින්කම් සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
මෙම සුවිශේෂී මිනිසා ගැන සියලු දෙනා දැනුවත් කිරීම මංගල සමරවීර මහතාගේද කැමැත්ත වන බව පවුලේ සාමාජිකයෝ පවසති.
එතුමන්ට නිවන් සුව ලැබේවා !




