“ මේ ආපදාව සිදු වෙලා දැන් මේ වෙන කොට සතියකුත් ගෙවිලා තියනවා. අපි දන්නවා දැනටමත් විශේෂයෙන් නිවැරදිව තොරතුරු නෑ. විශේෂයෙන්ම ගුරුවරු කී දෙනෙක්ට ජීවිත අහිමි වෙලා තියනවාද?, එහෙම නැතිනම් දරුවෝ කී දෙනෙකුටද ? ඒ වගේම තවමත් මේක ගණන් බලමින් තියෙන්නේ. මේකේ තාම අවසන් සංඛ්‍යා ලේඛනයක් ඇවිල්ලා නෑ,” යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටී.
ආපදාවෙන් පීඩාවට පත් ළමුන් ප්‍රමාණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අතර ලක්ෂ ගණනක වෙනසක් ඇති බව ගුරු නායකයා අවධාරණය කළේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනි.
“අපි දැක්කා මේ සිදුවීම වුන හැටියෙම ලංකාවේදී ළමයි දෙලක්ෂ හැත්තෑ පන්දාහක් යම් කිසි විදිහකට මේකෙන් පීඩාවකට පත් වෙලා ඉන්නවා කියලා යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ ලක්ෂයකට ආසන්න ළමයි සංඛ්‍යාවක් තමයි පීඩාවට පත් වෙලා තියෙන්නේ කියන කාරණාව.”
ආපදාවෙන් පීඩාවට පත් ලක්ෂ 14 ක ජනකාය අතර 275,000කට වැඩි දරුවන් පිරිසක් ඉන්නා බවට දෙසැම්බර් මස ආරම්භයේදීම අනතුරු අඟවු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල බිය පල කර තිබුනේ සැබෑ ගණන ඊට වැඩි විය හැකි බවටයි.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණය හරහා පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන කවරේදැයි පැහැදිලි කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් එහිදී අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා තිබුනි.
“ඒ කෙසේ උනත් ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් දැන් මේ දරුවෝ පැත්තෙන් අපි ගත්තොත් දැනට තීරණය කරලා තියෙන්නේ ජනාධිපති අරමුදලින් රුපියල් විසි පන්දහසක මුදලක් ලබා දීම. ඒ කියන්නේ දැන් සමස්ත මුදල. එතකොට දැන් මේකෙදී අපි දන්නවා දරුවෝ සම්බන්ධයෙන් සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. සුරක්ෂා රක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තමයි ක්‍රියාත්මක වෙනනේ. දැන් සුරක්ෂා රක්ෂණය හරහා මේ පීඩාවට පත් වෙච්ච දරුවන්ට ලැබෙන සහනයන් සම්බන්ධයෙන් තවම පැහැදිලි කිරීමක් කරලා නෑ.”
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2025 දෙසැම්බර් 10 වැනි බදාදා දහවල් 12 ට නිකුත් කරන ලද නවතම තත්ව වාර්තාවට අනුව දිට්වා සුළි කුනාටුව සමග ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් මෙරට මියගිය සංඛ්‍යාව 639 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 234 කි. අවම වශයෙන් පුද්ගලයන් 193 දෙනකු තවමත් අතුරුදහන්ය.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුල පවුල් 524,188 ට අයත් පුද්ගලයන් 1,812,311 ක් පීඩාවට පත්ව සිටින අතර, සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවට මේ වන විට වාර්තා වී ඇති නිවාස ගණන 5,336කි. ත්‍රිකුණාමලය හා ගාල්ල දිස්ත්‍රික්කය හැරුනු කොට අනෙක් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් නිවාසයක් හෝ සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ වන විටත් ආරක්ෂිත ස්ථාන 874 ක් තුළ පවුල් 26,814 ට අයත් පුද්ගලයන් 85,333 ක් රැදී සිටින බවයි.
මහා වැසි නිසා මහනුවර, කෑගල්ල, කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්ක හතරේ ස්ථාන 40කට ආසන්න සංඛ්‍යාවක් නායයාමේ අවදානමට ලක්වී ඇතැයි අනතුරු අඟවන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) එම තැන්වලින් ආරක්ෂක ස්ථාන බලා ඉවත්වන ලෙසට අඟහරුවාදා (9) රතු නිවේදනයක් නිකුත් කර තිබේ.




