මෙම නඩුව මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේනි රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ප්‍රමුඛ නීතිඥ මඩුල්ල විසින් මූලික නීතිමය විරෝධතාවක් මතු කරන ලදී.
සිරිමාවෝගේ නඩුව ඇදගනිමින් ත්‍රිපුද්ගල මහාධිකරණයේ බල සීමාව ප්‍රශ්න කරයි
විත්ති පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කළේ, මෙම කියන සිදුවීම සිදුව ඇත්තේ 2011-2012 කාලසීමාව තුළ බැවින්, ඉන් වසර කිහිපයකට පසු එනම් 2018 දී අධිකරණ සංවිධාන (සංශෝධන) පනත යටතේ පිහිටුවන ලද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.
පොරොන්දු කඩකිරීම නිසා අල්ලස් කොමිසමෙන් ‘රතු එළි’
මීට පෙර මෙම ග්‍රීක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවති නඩුකරයේදී, රජයට සිදු වූ පාඩුව (රුපියල් බිලියන 1.84 ක මුදල) මාස තුනක් ඇතුළත නැවත පියවීමේ දැඩි කොන්දේසිය මත නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම එකඟ වී තිබුණි.
එහෙත් එම නියමිත කාලය තුළ අදාළ මුදල මහ බැංකුව වෙත තැන්පත් කරමින් එකඟතාව සපුරාලීමට අජිත් නිවාඩ් කබ්රාල් අපොහොසත් විය. මෙම කොන්දේසි කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය සහ අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව රජයට අයුතු සහගත ලෙස පාඩු සිදුකිරීමේ දූෂණ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් කබ්රාල්ට එරෙහිව මෙලෙස යළිත් වරක් නව අධිචෝදනා ගොනු කරමින් නඩු පැවරීමට පියවර ගෙන ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල, විත්ති පාර්ශ්වය මතු කළ මූලික විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ අතර, වැඩිදුර විභාගය ලබන ජුනි මස 30 වැනිදාට කල් තැබීය.




