මෙම ගොඩනැඟිලි බදු දීමේ ක්‍රියාවලියේදී එවකට පැවති රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඊට අදාළව ඉදිරිපත්ව ඇති විගණන වාර්තා පදනම් කරගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.
විවෘත මිල ගණන් කැඳවීම සහ කැබිනට් පත්‍රිකාව
විමර්ශන අංශවල අවධානය යොමුව ඇති කරුණු අනුව, මෙම ගොඩනැඟිල්ල මිල දී ගැනීම සඳහා විවෘත මිල ගණන් කැඳවීමක් (Tender) සිදුකර නොමැති අතර, එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක ගේ අමාත්‍යාංශය වෙනුවෙන් අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.
ජනප්‍රිය නිළි සබීතා පෙරේරා ගේ ස්වාමිපුරුෂයාට අයත් ‘ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට්’ සමාගම විසින් 2016 පෙබරවාරි මස ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අනුව, මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක් (රු. 15,075,000) ගෙවීමටත්, වසර දෙකක අත්තිකාරම් මුදලක් ලබාදීමටත්, වසර තුනකින් කුලී මුදල 15%කින් ඉහළ නැංවීමටත් එකඟතාව පළවී තිබේ.
රජයේ තක්සේරුව සහ විගණන නිරීක්ෂණ
කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවල දැක්වෙන්නේ, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් අදාළ ගොඩනැඟිල්ලේ වර්ග අඩියක මාසික කුලිය රුපියල් 150.00ක් (මුළු මාසික කුලිය රුපියල් 13,500,000ක්) ලෙස නිර්දේශ කර තිබියදී, අමාත්‍යාංශය වර්ග අඩියක් රුපියල් 167.50 බැගින් ලබාගැනීමට එකඟ වී ඇති බවයි. ඒ අනුව වර්ග අඩියකට රුපියල් 17.50ක අතිරික්ත මුදලක් ගෙවා ඇති බව විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වී ඇත.
මෙම සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඊට දේශපාලන බලධාරීන්ගේ පැවති මැදිහත් වීම් පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා අල්ලස් කොමිසම ඉදිරියටත් විමර්ශන සිදුකරන අතර, හිටපු ලේකම්වරයාගෙන් ලබාගත් ප්‍රකාශ ඊට ඉවහල් කරගැනීමට නියමිතය.




