"අපේ මාධ්‍යවේදීන්, මම හිතන්නේ මාධ්‍යවේදීන් 43 කට වඩා ඝාතනය වෙලා තියනවා. මම හිතන්නේ ඔවුන්ගෙන් 27 කට වඩා, රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදීන් ඝාතනය කරලා තියනවා. අපට පැහැරගත් අය නැහැ, අතුරුදහන් කළඅයත් නැහැ, ඝාතනයට ලක් වූ අයට යුක්තියත් නැහැ. අපි දිගටම හඬ නඟනවා. මේ හේතුව නිසා අපේ රටේ ජනතාවට මේ ආණ්ඩුවේ, මධ්‍යම රජයේ ඒකීය බෞද්ධ ආධිපත්‍යය යටතේ ජීවත් වෙන්න බැහැ. අපට සමාන යුක්තිය ලැබෙන්නේ නැහැ කියන කාරනාව නිසා තමයි අපිව තනි කරන්න කියන තත්වය උදා වූනේ."
ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් ඒ බව සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ හමුදා මුරපොලක් අසලදී වෙඩි පහරින් දිවි තොර කරන ලද ජ්‍යෙෂ්ට මාධ්‍යවේදි අයියතුරෙයි නඩේසන්ගේ විසි දෙවැනි අනුස්මරණයට මඩකලපුවේදී එක්වෙමිනි.
2004 මැයි 31 වැනදා උදෑසන මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත යමින් සිටියදී අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් (HRW) චෝදනා කර තිබුනේ පසු කලෙක මහින්ද රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුරයක්ද දැරූ විනයාගමුර්ති මුරලිදරන්ගේ නායකත්වයෙන් යුත් කරුණා පාර්ශවයටයි.
කොළඹින් පලකෙරෙන වීරකේසරී පුවත්පතේ ලියුම්කරුවකු මෙන්ම දෙමළ මාධ්‍ය සංසදයේ (TMA) හිටපු උප සභාපතිද වූ නඩේසන් දකුනේ සැමරීමට දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ ආයතනයක් මෙවරත් කටයුතු කළ බවක් දැනගන්නට නැත.
ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී අයියතුරෙයි නඩේසන්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වු මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය දකුනේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග මැයි 31 වැනිදා දියත් කළ විරෝධතාවයේ දී ශ්‍රී ලංකාවේ ඝාතනය වු සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා තිබුනි.
2004 මැයි 31
‘නෙල්ලෙයි නඩේසන්’ නමින් ප්‍රකටව සිටි අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියා වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2004 මැයි 31 වනදා උදෑසන මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත යමින් සිටියදීය.
දමිල මාධ්‍ය සංසදයේ උප සභාපති නඩේසන් ගේ ඝාතනයෙන් පසු නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් ගණනාවකටම ජීවිතාරක්ෂාව පතා ප්‍රදේශය හැර යාමට හෝ විදේශ ගතවීමට බල කෙරිනි.
ඝාතනයට ලක්වන විට පනස් වියේ පසුවු දෙදරු පියකු වු අයියතුරෛ නඩේෂන් වීරකේසරි පුවත් පත, IBC තමිල් ඇතුළු කැනඩාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සඳහාද වාර්තා සැපයු අයෙකි.
මඩකලපුවේදී වෙඩි තබා ඝාතනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අයියතුරෙයි නඩේසන්ගේ ඝාතන නඩුව නැවත ආරම්භ කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය පසුගිය සමයේ පැවැති ආණ්ඩු වලට දිගින් දිගටම බල කර තිබුනත් අදත් ඒ සම්බන්ධයෙන් නීතිපති පියවර ගත බවක් දැනගන්නට නැත.




