ඔහු මේ බව කියා සිටියේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල (Singapore Platts) ශීඝ්‍රයෙන් පහළ යද්දී ලංකාවේ ඩීසල් මිල රුපියල් 403 දක්වා ඉහළ දමා ඇත්තේ ලෝක අර්බුදයක් නිසා නොව, ට්‍රැෆිගියුරා සහ ආදිත්‍ය බීර්ලා වැනි සමාගම් හරහා සිදුවන දැවැන්ත තෙල් සහ ගල්අඟුරු ජාවාරමක් නිසා බව හිටපු අමාත්‍යවරයා එහිදී පැවසිය.
ට්‍රැෆිගියුරා සමාගමෙන් ඩීසල් මිලදී ගැනීමේදී ලීටරයකට රුපියල් 90 ක සහ ආදිත්‍ය බීර්ලා සමාගමෙන් මිලදී ගැනීමේදී රුපියල් 110 ක "පැලවත්ත ඇඩඩ් ටැක්ස්" (Added tax) එකක් අය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු අනාවරණය කළේය.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරට දූෂණ විරෝධී කොන්දේසි නොසලකා ආණ්ඩුවේ ක්‍රියාවලියට ඉඩ දීම පිළිබඳව විපක්ෂයේ විරෝධය පළ කරන බව පැවසූ පාඨලී රණවක, ආණ්ඩුව 8% ක වැනි අධික පොලියකට විදේශ ණය ලබාගනිමින් එදා වේල පිරිමහ ගන්නා බවද පැවසීය.
ආර්ථික දර්ශක බිඳ වැටී ඇති ආකාරය සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන් චම්පික, රටේ වර්ධන වේගය 3% දක්වා අඩු වී ඇති බවත්, මහ බැංකුව ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ ගොස් ව්‍යාපාර බිඳ වැටෙමින් පවතින බවත් සඳහන් කළේය.
2025 සහ 2026 වසරවලදී කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන බිලියන ගණනින් ඉවත් කරගෙන ඇති අතර චීනයෙන් අධිවේගී මාර්ග සඳහා කිසිදු ආයෝජනයක් ලැබී නොමැති බවද ඔහු අවධාරණය කළේය.
රාජ්‍ය පරිපාලනය පිළිබඳ දැනුමක් නොමැති, උද්ධච්ච ලෙස කටයුතු කරන මෙම පාලනයට එරෙහිව සියලු මතභේද පසෙකලා ඒකාබද්ධ විපක්ෂය ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා බව චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේය.




