ඩොලර් මිලියන 2.5 මංකොල්ලය, කන්ටේනර් සහ ගල්අඟුරු වංචා ගැන රජයේ නිහඬතාව ප්‍රශ්න කරයි
"උපරිමාධිකරණ පත්කිරීම් මාස 6ක් පමා කිරීම ජනාධිපතිවරයකුට තරම් නොවේ" - බඳවා ගැනීමේ ගැටලු මතු කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (25) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් 'දිනන දකුණ' සාමූහිකය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ පාලන තන්ත්‍රය විවේචනය කිරීමට සහ විරුද්ධ වීමට විපක්ෂයට ඇති නීත්‍යානුකූල අයිතිය පිළිගැනීම මෙන්ම දූෂණය හා පාතාලය මර්දනයට ජනාධිපතිවරයා පළ කළ කැපවීම අගය කරන නමුත්, එම ප්‍රතිඥාවන් සහ වත්මන් පාලන ආකෘතියේ ප්‍රායෝගික යථාර්ථය අතර බරපතළ පරස්පරතාවක් පවතින බවයි.
රට තුළ වත්මන් පාලනය යටතේ නීතියේ ආධිපත්‍යය දේශපාලන අවියක් ලෙස භාවිත කිරීමේ භයානක ප්‍රවණතාවක් මතුවෙමින් පවතින බව 'දිනන දකුණ' සාමූහිකය චෝදනා කරයි. සුළු වැරදි සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන පසුබිමක, ඉහළ පෙළේ මූල්‍ය වංචා සහ පද්ධතිමය දූෂණ හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය පැහැදිලි නිහඬ පිළිවෙතක් අනුමත කරමින් සිටීම හරහා වරණීය ලෙස යුක්තිය පසිඳලන ක්‍රමවේදයක් නිර්මාණය වී ඇති බව ඔවුන්ගේ මතයයි.
'දිනන දකුණ' සාමූහිකය ප්‍රශ්න කරන ප්‍රධාන කරුණු 3ක්
නොවිසඳුණු දැවැන්ත මූල්‍ය වංචා:
දූෂණය තුරන් කිරීමට රජය අවංකවම කැපවී සිටින්නේ නම්, භාණ්ඩාගාරයේ සිදුවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය සහ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ කන්ටේනර් (බහලුම්) වංචාව සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයා මෙතෙක් නිහඬතාව රැකීම සාධාරණීකරණය කළ නොහැකි බවත්, ඒ පිළිබඳව වහාම විනිවිදභාවයකින් යුතු වගවීමක් මහජනතාවට අනාවරණය කළ යුතු බවත් නිවේදනයේ සඳහන් වේ.
ඉන්ධන සහ ගල්අඟුරු ප්‍රසම්පාදනය:
කිසිදු විනිවිදභාවයකින් තොරව අධික මිලකට ඩීසල් මිලදී ගැනීමේ ආර්ථික බර තවදුරටත් මහජනතාව පිට පටවා ඇති බව පෙන්වා දෙන සාමූහිකය, ගල්අඟුරු මිලදී ගැනීමේ ගැටලුව පරීක්ෂණ කොමිසමකට යොමු කර යටපත් කර ඇති බව පවසයි. එසේම මෑතකදී සිදුවූ ගල්අඟුරු ස්පොට් ටෙන්ඩර් (Spot Tender) ක්‍රියාවලිය හරහා වත්මන් පරිපාලනය සිය හිතවතුන් වෙනුවෙන් කටයුතු කර ඇති බවට ද ඔවුහු චෝදනා කරති.
අධිකරණයේ ස්වාධීනත්වය සහ පත්වීම්:
පහළ උසාවි සඳහා කණිෂ්ඨ විනිසුරුවන් බඳවා ගැනීමට රජයට පවතින පරිපාලනමය දුර්වලතාව, ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ වෘත්තීය ප්‍රගතියට බාධාවක් කර නොගත යුතු බව 'දිනන දකුණ' අවධාරණය කරයි. ජනාධිපතිවරයා උපරිමාධිකරණයේ විනිසුරු උසස්වීම් මාස 06කට වඩා පමා කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා උපුටමින් දැක්වූ හේතු රාජ්‍ය පාලනයක යෙදෙන ජනාධිපතිවරයකුට තරම් නොවන බවත්, ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳව පාර්ලිමේන්තු කතාවේදී අදහස් දැක්වීමෙන් ජනාධිපතිවරයා සිතාමතාම වැළකී සිට ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.




