මහ බැංකු දර්ශකවලට අනුව නිෂ්පාදන වේගය මැයි මාසයට වඩා ජූනි මාසයේදී පහළට; නව ඇණවුම් ලැබීම සීමා වෙද්දී මැදපෙරදිග නොසන්සුන්තාවය බාධාවක් වෙයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය පසුගිය ජූනි මාසයේදී ද යම් ප්‍රගතියක් පෙන්වා තිබුණ ද, මෙරට කාර්මික අංශයේ පුනර්ජීවනය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිකුත් කළ අලුත්ම දත්ත මඟින් අනාවරණය වේ. දැඩි වෙමින් පවතින ශ්‍රම හිඟය, ඉහළ යන වැටුප් පිරිවැය සහ ජාත්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය මෙලෙස දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ වේගය බාල වීමට ප්‍රධානතම හේතු වී තිබේ.
කර්මාන්ත අංශයේ ගාමක බලවේගය මැන බලන ප්‍රධාන දර්ශකයක් වන 'මිලදී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය' (PMI) අනුව, මැයි මාසයේ 56.6ක් ලෙස සටහන් වූ නිෂ්පාදන අගය ජූනි මාසය වන විට 53ක් දක්වා පහත වැටී ඇත. ආර්ථික විද්‍යාත්මකව මෙම අගය 50ට වඩා ඉහළින් පැවතීම වර්ධනයක් ලෙස සැලකුණ ද, දර්ශකය පහළ යාමෙන් පැහැදිලි වන්නේ වර්ධනය වීමේ වේගය (Pace of Growth) කලින් මාසවලට වඩා බාල වී ඇති බවයි. මෙය ඉදිරි ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි.
ඇණවුම් සීමා වීම සහ ආහාර පාන ක්ෂේත්‍රයේ දායකත්වය
මහ බැංකු වාර්තාවලට අනුව, පසුගිය ජූනි මාසය තුළ දේශීය කර්මාන්ත සඳහා ලැබුණු නව ඇණවුම්වල (New Orders) කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී නැත. එය ස්ථාවර මට්ටමක පැවතීමෙන් හැඟවෙන්නේ පසුගිය මාසවල නිෂ්පාදන අංශයට ලැබුණු දැවැන්ත ඉල්ලුමේ රැල්ල මේ වන විට යම් දුරකට සීමා වී ඇති බවයි.
කෙසේ වෙතත්, දේශීය ආහාර හා පාන වර්ග නිෂ්පාදන ක්ෂේත්‍රය (Food and Beverages Industry) තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගිය බැවින්, අනෙකුත් අංශවල පැවති දුර්වලතා මකා දමා සමස්ත නිෂ්පාදන අංශය ධනාත්මක මට්ටමක රඳවා ගැනීමට හැකි වී තිබේ.
ශ්‍රම වෙළඳපොළේ අර්බුදය සහ සැපයුම් දාම ප්‍රමාදයන්
වත්මන් නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම ව්‍යූහාත්මක ගැටලුවක් වන්නේ දක්ෂ හා පුහුණු ශ්‍රමිකයන්ගේ පවතින දැඩි හිඟයයි. මීට අමතරව, ජීවන වියදම ඉහළ යාමත් සමඟ ශ්‍රම පිරිවැය සහ වැටුප් ඉහළ දැමීමට සිදුවීම කර්මාන්තශාලාවල ඵලදායීතාවයට මෙන්ම ලාභදායීත්වයට (Profitability) දැඩි පීඩනයක් එල්ල කර ඇත. මේ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් අලුතින් සේවකයන් බඳවා ගැනීමට වඩා සීමිත සේවක පිරිසක් කළමනාකරණය කරගැනීමේ පරීක්ෂාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.
අනෙක් අතට, ජාත්‍යන්තර සැපයුම් දාමයන්හි (Supply Chain) පවතින අවිශ්වාසී වටපිටාව හේතුවෙන්, බොහෝ කර්මාන්තකරුවන් අමුද්‍රව්‍ය තොග රැස්කර තබා ගැනීමට පෙළඹී ඇත. එහෙත්, ගෝලීය ප්‍රවාහන අර්බුද හේතුවෙන් අමුද්‍රව්‍ය ලංකාවට ළඟා වීමට ගතවන කාලය (Suppliers' Delivery Time) වෙනදාට වඩා දික් ගැස්සී තිබේ.
මැදපෙරදිග අර්බුදය සහ ජාත්‍යන්තර බලපෑම
දේශීය ව්‍යාපාරිකයන් ඉදිරි මාස පිළිබඳව තවමත් බලාපොරොත්තු සහගතව පසුවුවද, ඔවුන්ගේ විශ්වාසය පෙර මාසවලට වඩා යම් දුරකට සෙලවී ඇත. දේශපාලන හා ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මෙරට කර්මාන්තකරුවන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි. භූ-දේශපාලනික ගැටලු නිසා ගෝලීය නාවික සහ වෙළඳ මාර්ග අවහිර වුවහොත්, නැව් ගාස්තු ඉහළ යාම සහ ආනයන මත යැපෙන දේශීය කර්මාන්තශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟ වීම වැළැක්විය නොහැක.
ආර්ථික විශ්ලේෂකයින් පවසන පරිදි, ජූනි මාසයේ PMI දර්ශකය මඟින් රටට පණිවිඩ දෙකක් ලබා දෙයි. නිෂ්පාදන ක්ෂේත්‍රය තවමත් කඩා වැටී නැති මුත්, එහි ඉදිරි ගමන තීරණය වන්නේ හුදෙක් වෙළඳපොළ ඉල්ලුම මතම නොවේ. ශ්‍රම හිඟය, සැපයුම් ප්‍රමාදයන් සහ ගෝලීය දේශපාලන අවදානම් වැනි ව්‍යූහාත්මක ප්‍රශ්නවලට රජය සහ ව්‍යාපාරික අංශ එක්ව කඩිනම් විසඳුම් සෙවුවහොත් පමණක් ඉදිරි මාසවලදී මෙම වර්ධනය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වනු ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Factory Growth Slows Despite Expansion as Labour Shortages Threaten Manufacturing




