"මේවා ආයතනයෙන්ම පිටවුණාද නැතහොත් වෙනත් පාර්ශවයක් මුද්‍රණය කළාද?" - මුදල් කාරක සභාවෙන් ප්‍රශ්න
මත්පැන් බෝතල් සඳහා යොදනු ලබන ආරක්ෂිත QR කේත සහිත සුරාබදු ස්ටිකර් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම සහ භාවිත කිරීම හේතුවෙන් රජයට අතිවිශාල බදු ආදායමක් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අනාවරණය කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම මහා පරිමාණ දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් භාණ්ඩාගාරයට අහිමි වන බදු මුදල, 'සුවසැරිය' ගිලන්රථ සේවාව සඳහා වසරකට රජය වෙන් කරන සමස්ත පිරිවැය මෙන් අට ගුණයකටත් වඩා වැඩි අගයක් ගන්නා බවයි.
මාලඹේ වැටලීම සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාවරය
රජයට හිමිවිය යුතු බදු ආදායම් සුරක්ෂිත කිරීම සහ නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් මෙම ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වා දුන් බව සිහිපත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා, මෑතකදී මාලඹේ ප්‍රදේශයේදී ව්‍යාජ QR කේත සහිත ආරක්ෂිත ස්ටිකර් අලවන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් බන්ධනාගාර හා පොලිස් විශේෂ විමර්ශන ඒකක මඟින් වැටලීමත් සමඟ මෙම ජාවාරමේ බරපතලකම තහවුරු වී ඇති බව ප්‍රකාශ කළේය.
"මේ මගඩිය ගැන මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරන කොට ඔවුන් ප්‍රකාශ කළේ මෙවැනි විශාල ගැටලුවක් නැති බවත්, සියල්ල නිවැරදිව සිදුවන බවත්ය. නමුත් එම ප්‍රකාශයෙන් දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් මාලඹේ ප්‍රදේශයෙන් ව්‍යාජ ස්ටිකර් සහිත මහා පරිමාණ මත්පැන් තොගයක් අත්අඩංගුවට පත්වුණා. දැන් මතුවන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, මෙතරම් ආරක්ෂිත යැයි කියන ස්ටිකර් ජාවාරම්කරුවන් අතට පත්වූයේ කෙසේද යන්නයි. මේවා අදාළ වගකිවයුතු ආයතනයෙන්ම පිටවූ හොර ක්‍රමවේදයක් ද, නැතහොත් වෙනත් කවුරුන් හෝ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඒවාද යන්න වහාම සෙවිය යුතුයි" මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
භාණ්ඩාගාරයට සිදුවන දැවැන්ත බලපෑම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ට පෙනෙන ප්‍රධානතම ගැටලුව වන්නේ රටට හිමිවිය යුතු රාජ්‍ය ආදායම් (State Revenue) ක්‍රමානුකූලව අහිමි වීම බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම දූෂිත ක්‍රමවේදයන් හරහා භාණ්ඩාගාරයට ලැබිය යුතු බදු මුදල් අහිමිවීම ජාතික ආර්ථිකයට දැවැන්ත පාඩුවක් බවත්, අනීතික සහ දූෂිත ක්‍රියාවන් වහාම නැවැත්වීමට රජය දැඩි මෙන්ම සෘජු ක්‍රියාමාර්ග ගත යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියා සිටියේය.




