"දූෂණය යන වචනයෙන් වින්දිතයා කිළිටි හෝ අපවිත්‍ර වූ බවක් හැඟවෙනවා" - භාෂා හා නීති විශේෂඥයෝ පෙන්වා දෙති
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳව මාධ්‍ය මඟින් වෘත්තීමය මෙන්ම ගෞරවනීය ලෙස වාර්තා කිරීම ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) පවතින යල්පැන ගිය පාරිභාෂික වචන සංශෝධනය කිරීම ඇතුළු මූලික යෝජනා කිහිපයක් වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයට අයත් වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය විසින් රජය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම විශේෂ යෝජනාවලිය සහ ඊට අදාළ මාධ්‍ය අත්පොත පිළිගැන්වීම සඳහා එම ආයතනයේ නියෝජිත පිරිස පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 16) ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න හමු වූහ.
දණ්ඩ නීති සංග්‍රහයේ පාරිභාෂිතය වෙනස් කිරීමේ යෝජනාව
වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය විසින් මෙහිදී ඉදිරිපත් කරන ලද ප්‍රධානතම ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ යෝජනාවක් වන්නේ, වත්මන් දණ්ඩ නීති සංග්‍රහයේ භාවිත වන යල්පැන ගිය සහ නුසුදුසු යෙදුමක් වන ස්ත්‍රී “දූෂණය” යන වචනය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමයි.
අදාළ සිදුවීමට මුහුණ දුන් වින්දිත පාර්ශවය “කිළිටි” හෝ “අපවිත්‍ර” වූ බවක් එමඟින් නොහැඟවෙන, වඩාත් නිවැරදි සහ ගෞරවනීය විකල්ප පාරිභාෂික වචනයක් නීතිමය ලියකියවිලි සඳහා යොදා ගන්නා ලෙස මෙමඟින් යෝජනා කර ඇත.
ස්වාධීන මාධ්‍ය නිරීක්ෂණ පර්යන්තයක් වන ‘එතික්ස් අයි’ (EthicsEye) ආයතනය විසින් දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු කරන ලද මාධ්‍ය සහ පර්යේෂණ නිරීක්ෂණ, ජ්‍යෙෂ්ඨ සිංහල භාෂා ශාස්ත්‍රාලිකයින් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පවත්වන ලද දීර්ඝ සාකච්ඡා පදනම් කරගනිමින් මෙම ව්‍යවස්ථාදායක සංශෝධන කෙටුම්පත සකස් කර තිබේ. මෙය වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශය විසින් ස්වාධීන අරමුදල් යොදවා සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.
වෘත්තීය පුවත්පත් කලාව සඳහා නව අත්පොතක්
මීට සමගාමීව, නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලයේ මූල්‍ය හා ප්‍රතිපත්තිමය සහයෝගය ඇතිව සකස් කරන ලද, 'වෘත්තීය පුවත්පත් කලාව සඳහා අත්පොතක්: ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳව වාර්තා කිරීම' නමැති විශේෂ මාධ්‍ය අත්පොත ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙමඟින් මෙරට මාධ්‍ය ආවරණ පද්ධතිය තුළ කාන්තාවන් සම්බන්ධයෙන් යළි යළිත් සිදුවන නුසුදුසු වාර්තාකරණ රටාවන් හඳුනා ගැනීමටත්, ප්‍රවෘත්තිකරණයේදී පුද්ගල ගෞරවය, සාධාරණත්වය සහ නිවැරදිභාවය තහවුරු කෙරෙන ශක්තිමත් වෘත්තීය විනිශ්චයක් භාවිතා කිරීමටත් මාධ්‍යවේදීන්ට මඟ පෙන්වීම් ලබා දෙයි.
මෙම නිල හමුව සඳහා වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශයේ ප්‍රධානී දීපාංජලී අබේවර්දන, කණ්ඩායම් නායිකා මහෝෂධී පීරිස් සහ වැඩසටහන් ප්‍රධානී රොෂෙල් කනගසබේ ද සහභාගී වූහ. ඔවුන් සමඟ නෙදර්ලන්ත රාජ්‍ය තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නාමල් පෙරේරා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූපය:
වමේ සිට දකුණට: වැඩසටහන් ප්‍රධානී රොෂෙල් කනගසබේ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, වෙරිටේ මාධ්‍ය සහ දේශපාලන අංශයේ කණ්ඩායම් නායිකා මහෝෂධි පීරිස්, එම අංශයේ ප්‍රධානී දීපංජලී අබේවර්දන සහ නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නාමල් පෙරේරා.




