* 1971 ඉන්දියන් සාගර සාම කලාප යෝජනාව යල්පැන ගිය එකක් බවත්, නව කලාපීය ආරක්ෂක ව්‍යුහයක අවශ්‍යතාවත් අවධාරණය කෙරෙයි
ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය සහ සාමය හුදෙක් ජාත්‍යන්තර ප්‍රකාශන හෝ ලේඛන මඟින් පමණක් ඇති කළ නොහැකි බවත්, එය කලාපීය ආයතන, නීතිමය රාමුව සහ අසල්වැසි රටවල් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව ප්‍රායෝගිකව ගොඩනැගිය යුත්තක් බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිණී කොලොන්නේ ප්‍රකාශ කළාය.
නව දිල්ලියේ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී (IIC) පැවැති සාමය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයේ (Centre for Peace Studies) විශේෂ දේශනයක් පවත්වමින් මහ කොමසාරිස්වරිය මේ බව අවධාරණය කළාය.
'නිසල ජලතල, නැගෙන රළවැල්: ඉන්දියන් සාගරයේ වර්ධනය සඳහා පදනම ස්ථාවරත්වයයි' (Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth) යන තේමාව යටතේ ඇය මෙම වැදගත් දේශනය සිදුකළාය.
ගෝලීය අර්බුද සහ ශ්‍රී ලංකාවට එල්ල වන ආර්ථික බලපෑම
ඇමරිකානු සහ ඉරාන සටන් විරාම ගිවිසුම් බිඳවැටීමත් සමඟ හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන නාවික මාර්ග යළිත් සක්‍රිය ගැටුම් කලාප බවට පත්වෙමින් තිබීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන් පසුවන බව මහ කොමසාරිස්වරිය පැවසුවාය. ලෝකයේ සමස්ත මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන තෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් ගමන් කරන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහාය. මෙම ජලමාර්ග හරහා සිදුවන බලශක්ති සහ වෙළඳ ගමනාගමනය අඩාල වීම ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට හුදෙක් උපායමාර්ගික බලපෑමක් පමණක් නොව, සෘජුවම රටේ ආර්ථික ජීවනාලියට (Economic lifeline) එල්ල වන තර්ජනයක් බව ඇය පෙන්වා දුන්නාය.
රතු මුහුදේ (Red Sea) නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඊජිප්තුවේ සූවස් ඇළ ආදායම 2023 වසරේ ලැබූ ඩොලර් බිලියන 10.25 සිට 2024 වන විට ඩොලර් බිලියන 4ක් දක්වා පහත වැටුණු ආකාරය සිහිපත් කළ මහ කොමසාරිස්වරිය, කලාපීය අස්ථාවරත්වයේ පිරිවැය අවසානයේ ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බව ප්‍රකාශ කළාය. 2026 වසරේදී ඉන්දියාව 6.4%ක වර්ධනයක් සහිතව ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පවතිනු ඇතැයි IMF පුරෝකථනය කර තිබුණද, එම බලාපොරොත්තු පවා සාගර කලාපයේ ස්ථාවරත්වය මත තීරණය වන බව ඇය සඳහන් කළාය.
යල්පැනගිය සාම ප්‍රකාශන සහ ඉන්දියාවේ භූමිකාව
1971 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද "ඉන්දියන් සාගරය සාම කලාපයක් කිරීමේ ප්‍රකාශනය" (Resolution 2832) පිළිබඳව විවෘතව ඇගයීමට ලක්කළ යුතු කාලය එළඹ ඇති බව මහ කොමසාරිස්වරිය මෙහිදී කියා සිටියාය. හිටපු විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් ගේ ලිපියක් උපුටා දක්වමින් ඇය පෙන්වා දුන්නේ, මෙම ප්‍රකාශනය නීතිමය වශයෙන් බැඳී නොමැති, බලාත්මක කිරීමේ යාන්ත්‍රණයක් නොමැති සහ ප්‍රධාන නාවික බලවතුන් පවා ඡන්දය දීමෙන් වැළකී සිටි එකක් බැවින්, යල්පැනගිය ප්‍රතිපත්ති පිටුපස සැඟවී සිටිනු වෙනුවට වත්මන් යථාර්ථයන්ට ගැලපෙන කලාපීය ආරක්ෂක ව්‍යුහයක් (Regional architecture) ගොඩනැගිය යුතු බවයි.
මෙම නව ව්‍යුහය සැකසීමේදී ඉන්දියාව ප්‍රධානතම නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කරන බව ඇය පැවසුවාය. ඉන්දියාවේ 'මහාසාගර්' (MAHASAGAR) දැක්ම සහ කොළඹ ආරක්ෂක සංසදය (Colombo Security Conclave) ස්ථිර ලේකම් කාර්යාලයක් සහිතව කලාපීය ආරක්ෂක සංවිධානයක් බවට පරිවර්තනය වීම මෙහිදී කැපී පෙනෙන ප්‍රගතියක් බව ප්‍රකාශ විය.
ලංකා-ඉන්දියා ආර්ථික හා බලශක්ති බද්ධවීම
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ භූගෝලීය සබඳතාවකට එහා ගිය 'නාගරික නිවුන් සහෝදරත්වයක්' (Civilisational Twins) බව පෙන්වා දුන් මහේෂිනි කොලොන්නේ, 2024 දෙසැම්බර් මස ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම මඟින් මෙම අසල්වැසි වගකීම මැනවින් පිළිබිඹු වන බව පැවසුවාය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේදී අනෙක් පාර්ශවයන් දෙස නොබලා ද්විපාර්ශ්වික ණය සහතිකයන් මුලින්ම පිරිනමමින් ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියන 7.5ක සහයෝගය කලාපීය ස්ථාවරත්වය උදෙසා කළ ආයෝජනයක් බව ඇය අගය කළාය.
කොළඹ වරාය (Port of Colombo) සහ ඉන්දියාවේ විජින්ජම් වරාය (Vizhinjam Port) එකිනෙකා සමඟ තරඟ වදින වරායන් නොවන බවත්, ඒවා එකම කලාපීය නාවික ජාලයක බද්ධ වී පවතින මධ්‍යස්ථාන දෙකක් බවත් ඇය පෙන්වා දුන්නාය. ඉන්දියාවට පැමිණෙන ප්‍රතිසංක්‍රමණ (Transshipment) භාණ්ඩවලින් 70%ක්ම ගමන් කරන්නේ කොළඹ වරාය හරහාය. මීට අමතරව ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම මෙන්ම, දෙරට අතර යෝජිත විදුලිබල පද්ධති බද්ධ කිරීමේ (Power Grid Interconnection) ව්‍යාපෘතිය හරහා 2030 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අතිරික්තය ඉන්දියානු ජාලයට අපනයනය කිරීමට මඟ පෑදෙන බව ද මහ කොමසාරිස්වරිය සිය දේශනයේදී වැඩිදුරටත් සඳහන් කළාය.
සම්පුර්ණ දේශනය :
Speech by Mahishini Colonne, High Commissioner of Sri Lanka to India CALM WATERS, RISING TIDE: Stability as the Foundation for Indian Ocean Growth Centre for Peace Studies India International Centre, New Delhi Friday, 10 July 2026




