එළැඹෙන මාසයේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ ඊයේ (17) පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේය.

"උරුමය" සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ වැඩසටනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණි.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

''මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි''

''උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලුදෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා. 

පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි. 

 

අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ  එහි ලාභයද සියලුදෙනාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි. ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා. 

 

මෙම වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. ඉඩමක, නිවසක හෝ වාහනයක අයිතිය මේ රටේ ජනතාවට හිමි විය යුතුයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා. වත්මන් ආණ්ඩුවෙන් දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. 

මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට භූමියේ අයිතිය හිමිව නැහැ. ඔවුන්ට බැංකුවට ගොස් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. එක් පරම්පරාවක් නොවෙයි පරම්පරා තුනක් මෙම ගැටළුවට මුහුණ දුන්නා. මෙම ජනතාවට තවදුරටත් දුක් විඳිමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එය මේ රටේ ගොවි ජනතාවට ස්තූති කිරීමක් ද වෙනවා. 

අප ආණ්ඩුව භාරගන්නා විට රටට විදුලිය තිබුණේ නැහැ, ඉන්ධන, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් වින්දා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට පළමුව සිදු වණේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි. 2022 සහ 2023 යල කන්නයේ අප වී නිෂ්පාදනය වැඩි කළා. ගොවි ජනතාව අපට ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට රජය කටයුතු කළා. 

 

ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතුයි. ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා. 

 

ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වන විට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පාර 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.''


urumaya 234urumaya 235

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්