තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී ඉකුත් සති අන්තයේ සිට නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ අවදානම ගැන

කර තිබු අනතුරු ඇඟවීම නොතකන බලධාරීන්ට එරෙහි විරෝධතාවක් දියත් කළ උතුරේ ධීවරයන් පෙළපාලියෙන් ගොස් යාපනයේ ඉන්දීය දූත මණ්ඩල නියෝජිතයාට පෙත්සමක් බාර දී තිබේ.

දෙමාසයක මාළු බෑමේ තහනමක් අවසානයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී ‘අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක්’ අතුරින් එකක් සමග ධීවරයන් සිව් දෙනකු අල්ලාගන්නා ලද බව නාවික හමුදාව පවසයි.

යාපනයේ ශාන්ත බොස්කෝ පාසල ආසන්නයේ සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දක්වා ජුනි 18 වැනිදා  විරෝධතා පෙළපාලියකින් පැමිණි යාපනය දිස්ත්‍රික් ධීවරයන්ගේ සමුපකාර සමිති සම්මේලනයේ සාමාජිකයන් සිය සංදේශයෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය ධිවරයන් මෙරට මුහුදේ සිදු කරන මසුන් මැරීම නවතාලිමට වහාම කටයුතු කරන ලෙසයි.


ජුනි මාසයේ දෙවැනි සති අන්තයේ සිට සෑම සඳුදා, බදාදා සහ සෙනසුරාදා හවස් උතුරු මුහුදට කඩා වැදීමට නියමිත ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දහස් ගණනක් නවතා ලීමට පියවර ගන්නා ලෙස උතුරේ ධීවර සංගම් හතරක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතවම ඉල්ලා තිබුනි.


එයට ප්‍රතිචාර දක්වමින් රාමේස්වරමේ සමස්ත යාන්ත්‍රික බෝට්ටු හිමියන්ගේ සංගමයේ (AMBOA) සභාපති බී ජේසුරාසා ප්‍රකාශ කර තිබුනේ ජුනි 15 වැනිදා සිට දියඹට වදින ඉන්දීය යාත්‍රා ශ්‍රී ලංකාවේ සාගර කලාපයට ඇතුල් වීම වැලැක්විය නොහැකි බවයි.

කෙසේවෙතත්, රාමේස්වරමේ ධීවර නායකයා සඳහන් කර තිබුනේ තමන් හිතාමතා ලංකාවේ මුහුදු තීරයට ඇතුල් වන්නේ නැති බවයි.

“රටවල් දෙක අතර මුහුදු මායිම බොහොම ලඟින් පිහිටලා තියෙන හින්දා මූදු හුළඟට බෝට්ටු ගහගෙන යන එක හැම වෙලේම සිද්ධවෙන දෙයක්. සමහරවෙලාවට GPS තාක්ෂණයත් වරදිනවා. ඒ වගේම රෑට මූදු යනකොට නොදැනුවත්වම ඒගොල්ලන්ගේ මූදට පාවෙලා යනවා.”

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ 2024 ජුනි මස 18 වන දින අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් සිව් දෙනකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි.

“මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි,” යි නාවික හමුදාව නිවේදනය කර තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයන් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


තමිල්නාඩුවේ බෝට්ටු හිමියන් නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු සඳහා ට්‍රෝලින් දැල් යොදාගන්නා ට්‍රෝලර් යාත්‍රා 2024.06.15 වැනිදා නැවත වතාවක් අපේ සාගර කලාපයට එවනු ඇතැයි ඉකුත් සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන් වු ධිවර නායකයන් බලධාරීන්ගෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලා තිබුනේ ඔවුන්ගේ පැමිනීම වළක්වන්නට උපරිම ශක්තිය යොදන ලෙසයි.


තමිල්නාඩු බලධාරීන් දෙමාසයක ධීවර තහනමක් පනවන්නේ මසුන් බෝවන සමයේ සාගර ජීවීන්ට හානි පැමිණීම වැළක්වීමේ අරමුණිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා විසි හතරක් සහ ඉන්දීය ධීවරයන් එකසිය අසූ දෙදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි.

සියගණනින් ශ්‍රී ලංකා මුහුදු තීරයට කඩාවදින ඉන්දීය යාත්‍රා අත් අඩංගුවට ගැනීම දේශපාලන අර්බුදයකට තුඩු දෙනු ඇතැයි නාවික හමුදාපතිවරයා පවසයි.


iuzdo4543d

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්