leader s

ඇඳිරි නීති සමය තුල යාපනයේ නිවසකට කඩාවැදී තරුණයකුට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා ලබන පොලිස් නිලධාරීන් කණ්ඩායමක්

සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

බටහිර අරාලි වාසී මුත්තුරාසා කන්නදාසන් නමැති 23 හැවිරිදි ධීවරයකුට සිහි නැතිවනතුරු පහරදුන් බවට චෝදනා ලබන වඩුක්කෝඩෙයි පොලිසියේ හය දෙනකු සම්බන්ධයෙන් ගන්නා ලද පියවර කවරේදැයි මානව හිමිකම් කොමිසම යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානීන්ගෙන් විමසා ඇත.

“තත්වය සමනය කිරීම සඳහා ගන්නා පියවර සහ මේතාක් ගෙන ඇති පියවර දක්වන වාර්තාවක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි,” යි දිස්ත්‍රික්කයේ මානව හිමිකම් කොමසාරිස් ටී කනගරාජා විසින් අප්‍රේල් 20 දා යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ නියෝජ්‍ය පොලිස්පතිට යවා ඇති ලිපියේ සඳහන් වේ.

මුහුදු ගොස් ආපසු පැමිණි කන්නදාසන් තවත් තරුණයන් දෙදෙනකු සමග අප්‍රේල් 19 දා නිවසේ කතාබස් කරමින් සිටියදී බීමතින් කඩා වැදුණු සිවිල් හා නිල ඇඳුමින් යුත් පොලිස් නිලධාරීන් ඇඳිරි නීතිය කඩකළ වගට  චෝදනා නගා පහර දීම ගැන ඥාතීන් පැමිණිලි කළ බව මානව හිමිකම් කොමිසම පවසයි.

Arali assault house

“මගේ පුතාට සිහි නැතිවෙලා වැටෙනකල්ම ගැහුවා,” යි පහර කෑ තරුණයාගේ මව රංජනී හඬා වැටෙමින් මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.

“ඒ අය පොලිසියෙන් කියා මම මුලින් දැන හිටියේ නෑ. ඒගොල්ලන් ආවේ ක්‍රිකට් බැට් අරගෙන. ගෙට කඩා වැදිලා පුටුමේස කඩලා දැම්මා. මම එලියට ගිහින් පින්තූර ගන්න හදනකොට මගේ ෆෝන් එක කඩලා දැම්මා.”

අනික් තරුණයන්ටද බැටන් පොලු සහ මුගුරු වලින් බැට දුන් බව කන්නදාසන්ගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

කලබලය ඇසී පැමිණි අසල්වාසීන් පලවා හැර නිවසේ සිටි කාන්තාවන්ගේත් ඇඳුම් ඉරා දැමූ බවටද කොමිසමට කරන ලද පැමිණිල්ලෙන් කියා තිබේ. ඊට අදාළ වීඩියෝ පටද තමන් වෙත ලැබී ඇති බව කොමසාරිස්වරයා පොලිසියට දන්වා ඇත.

පහර දී අත් අඩංගුවට ගන්නා ලද කන්නදාසන් එදින රාත්‍රියේ වඩුක්කෝඩෙයි පොලිස් ස්ථානයට ගෙනගොස්   නිදහස් කර එවා ඇත්තේ පසුවදාය.

පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් මේතාක් ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ද දැනුම් දෙන ලෙසද ඉල්ලන යාපනයේ මානව හිමිකම් කොමසාරිස්ගේ ලිපියේ පිටපත් උතුරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන සහ පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෙතද යවා තිබේ.

මානව හිමිකම් කොමිසම විසින් යවන ලද ලිපියට පොලිසිය තවම පිළිතුරක් දී ඇති බවක් ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට වාර්තාවී නැත.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්