leader s

සීමා ආරෝපණයන් යටතේ ඇති වන සංරක්ෂණ භූමි සීමා තුළ ඇති ඉඩම් හිටපු ආණ්ඩුකාරවරයකුට සහ ඔහුගේ හිතවතුන් හට

හිමිකාරීත්වය ලබා දී ඇති බව අනාවරණය වෙමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්, චමාල් සයුරංග එබව සඳහන් කර ඇත්තේ, 'ගමකට විදුලිය දෙන කෝටි 12ක ව්‍යාපෘතියට බදුලු දේශපාලකයෙක් හරස් කපයි' යන ශීර්ෂය යටතේ ඊයේ (03) දින TheLeader.lk වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

TheLeader.lk වෙබ් අඩවිය එම පුවත් පලකරනු ලැබුවේ, අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති ලලාජිත් මානවඩු විසින් ජනවාරි 03 දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකර තිබු ලිපියක් පාදක කර ගනිමිනි.

කෙසේවුවද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ඊට ප්‍රතිචාර දක්වමින් TheLeader.lk වෙබ් අඩවිය වෙත යොමුකර ඇති ලිපියක සඳහන් වන්නේ, එම පුවත තුළ අන්තර්ගත නොවූ ප්‍රබල කරුණු කාරණා කිහිපයක් අනාවරණය වෙමින් පවතින බවයි.

මෙම පුවත් වෙබ් අඩවියේ පලවී ඇති යම් ප්‍රවෘත්තියක් මගින් කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයට කිසියම් ම හෝ අගතියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඇති අයිතිය පිළිගනු ලබන TheLeader.lk , වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්, චමාල් සයුරංග ගේ පිළිතුරු ලිපිය කිසිඳු සංශෝධනයකින් තොරව මතු පළකර ඇත.

 

ප්‍රවෘත්ති සංස්කාරක / ප්‍රවෘත්ති අධ්‍යක්ෂක,
පුවත්පත් හා වෙබ් අඩවි,


'ගමකට විදුලිය දෙන කෝටි 12ක ව්‍යාපෘතියට බදුලු දේශපාලකයෙක් හරස් කපයි'
යන ශීර්ෂය යටතේ ඊයේ (03) දින TheLeader.lk වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්


'ගමකට විදුලිය දෙන කෝටි 12ක ව්‍යාපෘතියට බදුලු දේශපාලකයෙක් හරස් කපයි' යන ශීර්ෂය යටතේ ඊයේ (03) දින TheLeader.lk වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කර තිබේ.  

වෙබ් අඩවියේ පළ කර තිබෙන ශීර්ෂය සහ එම පුවත තුළ අන්තර්ගත නොවූ ප්‍රබල කරුණු කාරණා කිහිපයක් අනාවරණය වෙමින් පවතී.

එනම්, විශේෂයෙන්ම මෙම ඉඩම් වන සංරක්ෂණ භූමි සීමාවන් තුළ පිහිටා ඇති අතර, එම ඉඩම් ආරක්ෂාකර තැබීමට නෛතික පදනමක් සහිත බවත්, එම ඉඩම්වල හිමිකාරීත්වය හිටපු ප්‍රබල දේශපාලන හෙංචයියන් කිහිප දෙනකු හට අනීතිකව බෙදා දී ඇති බව එම පුවත්පත වාර්තා නොකිරීමයි


කිනම් ජනාධිපතිවරයකු සමයේ කොතරම් මුදලක් වෙන් කොට ඇතත්, වන රක්ෂිතයේ ඉඩම් සම්බන්ධයෙන් ඇති සුවිශේෂී වූ සීමා ආරෝපණයන් වෙනස් වන්නේ නැත. එම ආරෝපණයන් වෙනස් කළ හැක්කේ දේශපාලන බලපෑම් මත පමණක් බව අපි දනිමු.


පුරවැසියන් විසින් ගෝඨාභය මෙරටින් පළවා හැරීමට ආසන්න සමයේ ආණ්ඩුකාර ධුරයට පත් කළ අයකුට සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකුට මේ සඳහා කිසිදු නෛතික පදනමක් නොමැතිව මෙම ඉඩම් හිමිකාරීත්වය ලැබෙන්නේ කෙසේද?

වන සංරක්ෂණ ඉඩම් යනු ශාක, සත්ත්ව සහ පරිසර පද්ධති සුරක්ෂිත කිරීම සඳහා විශේෂිත ලෙස පැනවූ ආරක්ෂිත භූමිභාග වේ. මෙවන් ඉඩම් අමාත්‍යාංශයෙන් හෝ ආණ්ඩුවේ ආයතන මගින් නෛතික ආරක්ෂාවට අනිවාර්යය ලෙස භාජනය වන අතර, එමගින් පරිසර සම්පත්වලට වඩාත්ම හොඳින් රැකවරණය ලබා දීමේ අරමුණ ඇත.


එවන් සීමා ආරෝපණයන් යටතේ ඇති වන සංරක්ෂණ භූමි සීමා තුළ ඇති ඉඩම් හිටපු ආණ්ඩුකාරවරයකුට සහ ඔහුගේ හිතවතුන් හට හිමිකාරීත්වය ලබා දී ඇති බව අනාවරණය වෙමින් පවතී.


එම තත්වය තුළ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා එතෙක් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම මෙන්ම එම වාර්තාව තුළ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනිවාර්යය සාධකයක් වනු ඇත.

මෙම පුවතෙන් සමාජයට හා ජනතාවට වන බලපෑම් සලකාබලා ඔබගේ මාධ්‍ය ආයතනය මගින් මෙම පුවතේ අන්තර්ගතය නැවත සමාලෝචනය කිරීමටත්, ගෝලීය මට්ටමේ වගකීමක් ඇති ප්‍රවෘත්ති වාර්තාකරණයේ මූලධර්ම අනුව ක්‍රියාකළ යුතු බවත් ඔබගේ අවධානයට යොමු කරන අතර, අවශ්‍ය තොරතුරු ලබා දීමට අපි සූදානම් වෙමු.

චමාල් සයුරංග,
මාධ්‍ය ලේකම් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය,
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්