ඔවුන් මේ බව අවධාරණය කළේ ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “පාත් ඔෆ් ෆ්‍රීඩම්” (Path of Freedom) කෘතිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
"IMF ක්‍රියා කරන්නේ ණය හිමියන්ගේ ආරක්ෂකයා ලෙසයි" - මහාචාර්ය සුමනසිරි ලියනගේ
මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ මහාචාර්ය සුමනසිරි ලියනගේ සඳහන් කළේ, 1970 දශකයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ භූමිකාව දැඩි ලෙස වෙනස් වී ඇති බවයි.
"IMF පිහිටුවීමේදී තිබූ සැබෑ අරමුණු අද ඉටු වෙන්නේ නැහැ. අද ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ ණය ගැති රටවල් සංවර්ධනය කිරීම නොව, බහුජාතික ණය හිමියන්ගේ ප්‍රතිලාභ සහ ඔවුන්ගේ ප්‍රාග්ධනය ආරක්ෂා කර දීම පමණයි."
ගයන්ත දෙහිවත්ත ගේ කෘතිය පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකානු ඩොලර් මත පදනම් වූ ණය උගුලක සිරවී සිටින බවයි. ඉන් මිදීම සඳහා "පාත් ඔෆ් ෆ්‍රීඩම්" කෘතියේ යෝජනා කර ඇති පරිදි, තිරසාර සංවර්ධනයක් සහ සමාජ සාධාරණත්වයක් සහිත විකල්ප ආර්ථික රාමුවක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
නව මහා බැංකු පනතෙන් රජයේ බලය අහෝසියි: ලංකාව 'අධි-නව ලිබරල්වාදී' අදියරකට!
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ප රාජපක්ෂ පෙන්වා දුන්නේ, IMF අනුග්‍රහය ඇතිව සිදුකරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ‘අධි-නව ලිබරල්වාදී’ (Ultra-Neoliberal) භයානක අදියරකට තල්ලු වී ඇති බවයි.
විශේෂයෙන්ම 2023 නව මහ බැංකු පනත හරහා මහ බැංකුවේ භූමිකාව මුළුමනින්ම වෙනස් කර ඇතැයි ඔහු චෝදනා කළේය.
රාජ්‍ය බලපෑම සීමා කිරීම:
මිල ස්ථායීතාව, උද්ධමනය ඉලක්ක කිරීම සහ ආයතනික ස්වාධීනත්වය යන ලේබල් යටතේ, මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි රජයට තිබූ සෘජු මැදිහත්වීමේ බලය අහිමි කර ඇත.
වොෂින්ටන් එකඟතාව (Washington Consensus):
මහ බැංකුවේ වත්මන් ආර්ථික තර්කනය සකස් වී ඇත්තේ ජාතික සංවර්ධනය වෙනුවෙන් නොව, IMF සහ වොෂින්ටන් එකඟතාවලට අනුකූලව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ සහ එක්තරා විශේෂිත ධනපති පන්තියක වරප්‍රසාද සුරැකීම වෙනුවෙන් පමණි.
ඕනෑම මොහොතක පුපුරා යා හැකි ලංකාවේ "මූල්‍ය බෝම්බ 3"
මෙහිදී සභාව ඇමතූ ආර්ථික විශ්ලේෂක සහ කෘතියේ කතුවර ගයන්ත දෙහිවත්ත පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ මේ වන විට අතිශයින්ම බිඳෙනසුලු (Fragile) මට්ටමක පවතින බවයි. ඕනෑම මොහොතක මූල්‍ය පද්ධතිය තුළ අර්බුදයක් ඇති කළ හැකි ප්‍රධාන ආතති සහගත කරුණු නැතිනම් තීරණාත්මක සන්ධිස්ථාන තුනක් හදුනාගත හැකි බව ඔහු කීවේය.
විනිමය වෙළෙඳපොළ, වත්කම් වෙළෙඳපොළ (කොටස්ල බැඳුම්කර සහ දේපළ වෙළෙඳාම් ඇතුළුව) සහ ණය වෙළෙඳපොළ (විදේශීය ණය සහ දේශීය පෞද්ගලික ණය ඇතුළත්) ඒ තුන බවද ඔහු කීවේය.

මේ ඕනෑම එක් ක්ෂේත්‍රයකින් අර්බුදයක් ආරම්භ වී පසුව අනෙකුත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත විය හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මුදලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණය වීම සහ වත්කම්වල අගය පහත වැටීම මඟින් සංලක්ෂිත පුළුල් මූල්‍ය බිඳවැටීමක් සිදුවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. විශේෂයෙන්මල මෑතකදී සිදු කරන ලද පොලී අනුපාත ඉහළ නැංවීම මගින් රුපියල් ට්‍රිලියන 11.9ක් වන දේශීය පෞද්ගලික ණය මත අධික පීඩනයක් එල්ල කළ හැකි අතර එමඟින් ණය වෙළෙඳපොළේ බිඳෙනසුලු බව තවත් වැඩි වනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මෙම ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික IMF වට්ටෝරු මතම යැපෙමින් ජනතාව මත බදු බර පැටවීම වෙනුවට, දේශීය නිෂ්පාදනය සහ සමාජ සාධාරණත්වය මුල් කරගත් ස්වාධීන ආර්ථික දැක්මක් රටට කඩිනමින් අවශ්‍ය බවයි.
මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි, ඇයගේ උත්තමාවී පැට්‍රීෂියා ලාසාරා පේගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) , ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මොජ්තබා බර්ගන්දාන් (Mojtaba Barghandan) , හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද වූහ.






