වසරේ ඉතිරි මාස කිහිපයට තවත් ලක්ෂ 18ක් ඕනේ; චීනය ඉදිරියට එද්දී රුසියාව පස්සට යයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධානතම මෙවලම වන සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය විසින් තබා ඇති ඉලක්ක සහ පොළොවේ පවතින සැබෑ සංචාරක පැමිණීම් (Visitor arrivals) අතර පරතරය 2026 දෙවැනි අර්ධය ආරම්භ වන විට තවදුරටත් පුළුල් වෙමින් පවතී.
ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ මුල් දින කිහිපය තුළ යම් ප්‍රගතියක් පෙන්නුම් කළද, එය පසුගිය වසරේ (2025) සාර්ථකත්වයට වඩා අඩු මට්ටමක පැවතීම නිසා වසර අවසාන ඉලක්ක සපුරා ගැනීම දැඩි අවදානමකට ලක්ව ඇත.
සංඛ්‍යාලේඛන පෙන්වන සැබෑ චිත්‍රය
ජූලි මාසයේ මුල් දින 6 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශීය සංචාරකයන් ප්‍රමාණය 34,721කි.
දෛනික සාමාන්‍යය:
ජූනි මාසයේ මුල් සතියේ වාර්තා වූ 3,889ක දෛනික සාමාන්‍යය, ජූලි මාසයේදී 5,786 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
පසුගිය වසරට වඩා අඩුයි:
මෙම වර්ධනය පැවතුණද, පසුගිය වසරේ (2025) අදාළ කාල සීමාවේ වාර්තා වූ දෛනික සංචාරකයන් 6,000ක සීමාවට ළඟා වීමට ලංකාව සමත් වී නැත. එය 2025ට වඩා 3.6%ක පිරිහීමකි.
ලක්ෂ 18ක හිඩැස:
මේ වන විට වසරේ සමස්ත සංචාරක පැමිණීම මිලියන 1.18ක් (1.18 million) වන නමුත්, එය පසුගිය වසරට වඩා 2%ක පසුබෑමකි. රජයේ වසර අවසාන ඉලක්කය වන මිලියන 3 (ලක්ෂ 30) සපුරා ගැනීමට නම්, ඉදිරි මාස කිහිපය තුළ තවත් සංචාරකයන් මිලියන 1.8ක් ලංකාවට ගෙන්වා ගත යුතුය.
වෙළෙඳපොළ වෙනස්වීම් සහ රටවල් වල බලපෑම
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තවමත් රටවල් කිහිපයක් මතම පමණක් යැපීම (Dependence on a handful of markets) විශාල අවදානමක් නිර්මාණය කර ඇත.
ඉන්දියාව පෙරමුණේ:
මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් එවන ප්‍රධානතම රට ලෙස ඉන්දියාව තවදුරටත් සිය ආධිපත්‍යය තහවුරු කරගෙන සිටී. මේ වසරේදී පමණක් ඉන්දියාවෙන් සංචාරකයන් 301,875ක් පැමිණ ඇති අතර එය සමස්ත පැමිණීම්වලින් 26%කි.
චීනයේ පෙරළිය:
දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යය (111,703) ලබාගෙන ඇති අතර, තෙවැනි ස්ථානයේ පසු වූ රුසියාව අභිබවා යමින් චීනය වේගයෙන් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
ප්‍රමාණයට වඩා වටින්නේ ඩොලර් බිලියන 4ක ආදායමයි
ආණ්ඩුව සංචාරකයන්ගේ හිස් ගෙඩි ගණන් කරමින් මිලියන 3ක ඉලක්කයක් හඹා ගියද, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ වඩාත්ම වැදගත් වන්නේ රට තුළට එන ආදායම බවයි. රජයේ ඉලක්කය වන ඩොලර් බිලියන 4ක සංචාරක ආදායම (US$ 4 billion revenue) උපයා ගැනීමට නම්, මුහුදු වෙරළේ ලැග සිටින බජට් සංචාරකයන් වෙනුවට, රට තුළ වැඩිපුර මුදල් වියදම් කරන ඉහළ පෙළේ ධනවත් සංචාරකයන් (Higher-spending travellers) ආකර්ෂණය කරගත යුතුය.
තායිලන්තය, වියට්නාමය වැනි කලාපීය තරඟකරුවන් අඩු මිලට ගුවන් ගමන් සහ පැකේජ ලබාදෙද්දී, ලංකාව සාම්ප්‍රදායික මුහුදු වෙරළෙන් ඔබ්බට ගිය නව සංචාරක නිපැයුම් සහ ගමනාන්ත ප්‍රවර්ධනයන් (Destination marketing) කඩිනම් කළ යුතුය.
සංචාරක ඉලක්ක ලේඛනවලට පමණක් සීමා වීමේ දැඩි අනතුරක්..
ඉදිරියට පැමිණෙන ශීත ඍතු සංචාරක සමය (Peak winter season) ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉරණම තීරණය කරනු ඇත. සාම්ප්‍රදායික යුරෝපා වෙළෙඳපොළ මත පමණක් බලාපොරොත්තු තබා නොසිට, ඉදිරි සති කිහිපය තුළ නව ගුවන් සේවා සම්බන්ධතා පුළුල් නොකළහොත්, මෙවරද සංචාරක ඉලක්ක ලේඛනවලට පමණක් සීමා වීමේ දැඩි අනතුරක් පවතී.
(සටහන | සම්පත් ධීරසේකර)
මුලාශ්‍රය
Tourism Targets under Pressure as Arrivals Continue Missing Expectations




