අධිකරණ පරිශ්‍රයේ ඇති CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය 10වනදා නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු ගැනත් විමර්ශන
ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාලව නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව අදාල ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර ඔහුගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරාම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ සම්බන්ධව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය මතු පළවේ.
ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අදාලව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම - ගල්කිස්ස පොලිස් ස්ථානය
2025.10.10 වන දින ගල්කිස්ස ගරු අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.10.13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම සිදුවීමට අදාල නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව සිද්ධියට අදාල පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම නිරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
PC වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය පෙනී සිටිනවා - පොලිස්පති
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අතර සිදු වූ බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය පෙනී සිටින බවත් ය.
අදාළ නීතිඥයාගේ ක්‍රියා කලාපය වීඩියෝ දර්ශන මඟින් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරනු ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තවදුරටත් ප්‍රකාශ කළේය.
පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට (13) දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව ද පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පැවසිය.
එමෙන්ම එහිදී පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවය.
තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය,
"හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා" යැයි පැවසීය.




