leader s

පාස්කු ප්‍රහාරක නඩුවක් කඩිනමින් අසා නිම කිරීම සඳහා සතියේ දින පහම උදේ දහයේ සිට සවස පහ දක්වා පවත්වා ගෙන යාමෙන් ඇති වන දුෂ්කරතා නිසා ඉල්ලා අස්වීමට සිදුවූ ශ්‍රී ලංකාවේ ඉහලම පෙලේ නීතිඥවරුන් තිදෙනකු වෙනුවට ඔවුන් පෙනී සිටි සැකකරුවන් සඳහා පළපුරුද්ද අඩු නීතිඥ පිරිසක් පත් කර ගැනීමට දරන උත්සාහයක් හේතුවෙන් සාධාරණ නඩු විභාගයකට ඇති ඉඩකඩ ඇහිරී යාමේ අවදානමක් මතුව තිබේ.  


විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ පවරා තිබෙන එම නඩුවෙන් ඉවත් වුණු ජ්‍යෙෂ්ට නීතිඥවරුන් වෙනුවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා විනිසුරු තුන්කට්ටුවේ මෙහෙයැවීමෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය අයදුම් පත් කැඳවා ඇත්තේ සාපේක්ෂ වශයෙන් මද අත්දැකීම් සහිත කණිෂ්ට නීතිඥවරුන්ගෙනි.

එමගින් ඉහල පෙලේ නඩු විභාගයක් අධ්‍යයනය සඳහා කනිෂ්ට නීතිඥයන්ට මහඟු අවස්ථාවක් උදා කර දීම සංගමය අපේක්ෂා කරයි.

"පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුව මේ දිනවල බුලර්ස් පාරේ ස්ථාවර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරේ. පුද්ගලික නීතිඥ සේවය ලබා ගැනීමට අපහසු චූදිතයන් වෙනුවෙන් පෙනී සිටිම සඳහා කණිෂ්ට නීතිඥයන් හය දෙනකුගේ සහාය අධිකරණයට අවශ්‍ය වී තිබෙන බව ගරු විනිසුරු මඩුල්ල විසින් මා හට දැනුම් දී තිබේ," යනුවෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපතිනිය විසින් ඉංග්‍රීසියෙන් පළ කොට තිබෙන නිවේදනයෙහි දැක්වේ.   

269 දෙනකුට මරු කැඳවමින් 2019 පාස්කු ඉරිදා බෝම්බ මාලාවක් පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම මුල්කොටගත් චෝදනා නගා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ 24 දෙනකුට එරෙහිව පවරා ඇති නඩු විභාග කිරීම ආරම්භ කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ය. ඊට පෙර සතියේ කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු කතෝලික පියවරුන් හා නීතිඥ මණ්ඩලයක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන හා නඩු කටයුතු කඩිනම් කරන ලෙස කළ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ලැබුණු බව කතෝලික සභාව ප්‍රකාශ කළේය.

“ඒ වගේම, මේ සම්බන්ධව කටයුතු කරන්නට විශේෂ කමිටුවක් නම්කරන්නටත් ජනාධිපතිතුමා ඉදිරිපත් වුණා. ඒ කමිටුවත් කාදිනල්තුමා ප්‍රමුඛ උන්වහන්සේ නම් කරන කමිටුවත් අතර නිරන්තර හමුවීමක් තුළ, මේ වන විට විමර්ශන හා වැඩ කටයුතු මේ යුක්තිය සොයාගෙන යන ගමන තවදුරටත් තීව්‍ර කරන්නට අවශ්‍ය පසුබිම සාදා දෙන්නට ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී පොරොන්දු වුණා,” යි සාකච්ඡාවට සහභාගී වූ සමාජ හා සාමයික කේන්ද්‍රයේ රොහාන් සිල්වා පියතුමා ජනමාධ්‍ය හමුවේ කියා තිබුණි.

වෙළුම් 10 ක පිටු 10,000 කින් සමන්විත චෝදනා 23,000 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව දිනපතා පවත්වා ගෙන යාමේ කාල සටහනට අනුව තව දුරටත් තමන් හට එයට සම්බන්ධවීම දුෂ්කර බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි කේ. එස් රත්නවේල්, ගසාලී හුසේන් සහ රුෂ්ඩි හබීබ් යන ජ්‍යෙෂ්ට නීතිඥවරුන් තිදෙනා ජනවාරි 12 දා අධිකරණයට දැනුම් දී තිබුණි.

උසාවිය නීතිඥ ඉල්ලීම ඉවත දමලා ද?

 

rathnawelජ්‍යෙෂ්ට නීතිඥ කේ. එස් රත්නවේල්
"අපි ගරු අධිකරණයෙන් ඉල්ලුවේ මේ නඩුව සතියේ  දින පහම මුළු දවසම අහන එක නතර කරලා අවම වශයෙන් දින තුනකට වත් අඩු කරලා අහන්නයි කියලා. මොකද අපි කාටවත් මුළු දවසක් සතියේ දින පහම ඒ නඩුවට කාලේ දාන්න බෑ," යනුවෙන් අප හා පවසා සිටියේ ජ්‍යෙෂ්ට නීතිඥ කේ. එස් රත්නවේල් ය.

තමන්ට පමණක් නොව කාර්ය බහුල වෙනත්  නීතිඥවරයකුට පවා මෙම නඩුව කැඳවීමේ දින වකවානු සහ කාල සටහන අනුව උසාවි යාම අපහසු විය හැකි බව පවසා සිටියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි තවත් ජ්‍යෙෂ්ට නීතිඥවරයකු වන ගසාලි හුසේන් ය.

" අපි කාටත් මේ විදිහට නඩුවලට පෙනී සිටින්න අපහසුයි. මොකද අපි වෙනත් උසාවීවලත් තව නඩු තියෙනවා. එකම නඩුවට දික පහේම උදේ ඉඳලා හවස් වෙනකම් ඉන්න පුලුවන් කමක් නෑනේ. එතකොට අපි භාර ගත්ත අනික් නඩුවලට මොකද වෙන්නේ? ඒ නිසා මටත් මේ නඩුවෙන් ඉවත් වෙන්න සිදු වුණා," යැයි නීතිඥ හුසේන් පැවසීය.

Ghazali Hussainජ්‍යෙෂ්ට නීතිඥ ගසාලි හුසේන්

සැකකරුවන් 24 දෙනකු වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඇති ලිපි ගොනුවල තිබෙන සියළු කරුණු ඇතුළු වාර්තා අධ්‍යයනය කිරීම සඳහා දිගු කාල වේලාවක් ගතවන බැවින් ඒ සඳහා සාධාරණ ඉඩක් ලැබිය යුතු බවයි නීතිඥ රත්නවේල් විසින් පෙන්වා දෙනු ලැබු‌වේ.

"මේ වාර්තාව පිටු දහදාහකට වැඩියි. වෙළුම් දහයක් තියෙනවා. එක එක සැකකරුවන්ට අදාලව පොලිස් වාර්තා, වෛද්‍ය වාර්තා, උප්පැන්න සහතික, හැඳුනුම්පත් වගේම තවත් ගොඩක් ඇමුණුම් තියෙනවා. ඒවා පරික්ෂා කරලා බලලා තමයි අපිට නඩුවට සුදානම් වෙන්න පුළුවන්. ඒකට කාලයක් ගත වෙනවා. අනෙක මුළු දවසම දිනපතා නඩුව අහද්දි ඒක හරිම වෙහෙසකරයි,"  කී ජ්‍යෙෂ්ට නීතිඥ රත්නවේල් වැඩිදුරටත් පවසා සිටියේ එම සුපරීක්ෂාව අතපසුවීමෙන් නඩු විභාගයටම හානි සිදුවිය හැකි බවයි.

පවතින දුෂ්කරතා සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කරන මතයට විනිසුරුවරුන් එකඟ නොවීම  නිසා එම නීතිඥවරුන් නඩුවෙන් ඉවත්වීමෙන් අනතුරුව අදාල සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සහයක් නොලැබී යාම වැලැක්වීමට විනිසුරන් නියම කොට තිබෙන්නේ දෙදිනක් තුළ පුද්ගලික නීතිඥවරුන් ගේ සේවය සලසා ගන්නා ලෙසයි. නොඑසේ නම් රජයේ නීතිඥවරුන් පත් කිරීමට කටයුතු කරන බවද විනිසුරන් දැනුම් දී තිබේ.

"සැකකරුවන් කියනවා එයාලට පුද්ගලිකව නීතිඥවරුන් සොයා ගන්න බාධාවක් නෑ. නමුත් ගැටලුව තියෙන්නේ ඒ කවුරු නඩුව භාර ගත්තත් ඒ කාටවත් සතියේ දින පහම උදේ ඉඳලා හවස් වෙනකම් ඉන්න පුලුවන්ද කියන ඒකයි. ජ්‍යෙෂ්ට නෙමෙයි කනිෂ්ට වුණත් ඒක තමයි ඇත්ත තත්වය" නීතිඥ රත්නවේල් පැහැදිලි කරනු ලැබුණි.

යුක්ති සහගත නඩු විභාගයක බාධා

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය විසින් නඩුව සඳහා කණිෂ්ට නීතිඥවරුන් පත් කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධ නිවේදනය පළ කර ඇත්තේ විනිසුරුවරුන් ගේ එම දැනුම් දීමෙන්  අනතුරුවය.  

කෙසේ වෙතත්, සැකකරුවන්ගේ නිර්දෝශීභාවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ යුතු හැකි ආකරයේ අය කැඳවනු වෙනුවට නාමික  නීතිඥ නියෝජනයක් ලබා දීමෙන්  සාධාරණ සහ යුක්ති සහගත නඩු විභාගයකට මුහුණ දීමේ ඉඩ ප්‍රස්ථාව සැලසේද යන ගැටලුව මතුවී තිබේ. කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය විසින් නඩුව සඳහා ඉදිරිපත් වන්නැයි කනිෂ්ටයන්ට විශේෂයෙන් ඇරයුම් කොට තිබෙන්නේ ඔවුන්ගේ නීතිඥභාවයෙහි දැනුම වර්ධනය කරගනු පිණිස ය.

"ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග කෙරෙන ප්‍රධාන පෙලේ අපරාධ නඩුවකට සෘජුවම නිරාවරණය වීමේ මහඟු අවස්ථාවක් මේ වෙතින් සැලසේ" යනුවෙන් අදාල නිවේදනයෙහි දැක්වේ.

කොළඹ නීතිඥ සංගමයට  "අදාල නෑ"

විශේෂිත අපරාධ නඩුවක කාල වේලා ගැටලුවක් මත එහි කටයුතු කළ ජ්‍යෙෂ්ට නීතිඥවරුන් සියළු දෙනාම ඉවත් වූ පසු නඩුවට කණිෂ්ට නීතිඥවරුන් කැඳවනු ලැබුවේ කුමක් නිසා දැයි විමසීමේදී කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපතිනිය කියා සිටියේ 'අලුතින් පත් වුණු නීතිඥවරුන්ට අධ්‍යාපනික අවස්ථාවක් ලබා දීමට'  එසේ සිදු කළ බවයි.

" අපිට ඕනේ වුණේ ජූනියර් ලෝයර්ස්ලාට අවස්ථාවක් දෙන්න. ඒ අයට මේක හොඳ අවස්ථාවක් ඉගෙන ගන්න," යැයි සභාපතිනි නීතිඥ ඉනෝකා පෙරේරා පැවසුවාය.

නමුත් නඩුවේ  සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පත් කිරීමේ අරමුණ සාධාරණ සහ යුක්ති සහගත නඩු විභාගයක් පවත්වාගෙන යාම නොවේ දැයි විමසා සිටීමේදි ඇය කියා සිටියේ එය තමන්ගේ කාර්යය හෝ ප්‍රශ්නයක් හෝ නොවන බවකි.

" මට උවමනා වුණේ අධිකරණයට සහයක් වෙන්න කට්ටිය හොයලා දෙන එක විතරයි.  එතනින් එහාට  කිසිම දෙයක්  මට අදාල නෑ," යි නීතිඥ සංගම් සභාපතිනිය දැඩි කොට කියා සිටියාය.

නමුත් නිශ්චිත කොට කණිෂ්ට නීතිඥවරුන්ම කැඳවා ඔවුන්ට මෙම නඩුවෙන් ඉගෙන ගැනීමට සහ අධ්‍යයනය කිරීමට අවස්ථාවක් සැලසෙන බව පැවසීමෙන් ම පෙන්නුම් කෙරෙන්නේ නඩුවට සහාය වීම කෙසේ වෙතත් සැකකාර පුද්ගලයන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අවස්ථාව උදුරා ගැනීම නොවේ දැයි පෙරලා ප්‍රශ්න කිරීමේදී දැඩි ස්වරූපයෙන් ඇය කියා සිටියේ සැකකරුවන් මුහුණ දෙන තත්වය තමන්ට කෙසේවත් අදාල නොවන දෙයක් බවයි.

"මම පැහැදිලිවම කිවුවා ඒක මගේ අවශ්‍යතාවයක් නෙමෙයි. මම පාස්කු නඩුව ගැන දන්නෙත් නෑ. දැන් තියෙන තත්වය අනුව නඩුව ගෙනියන්නයි මම කණිෂ්ට නීතිඥවරුන් සම්බන්ධ කරන්න හැදුවේ. අනෙක ඒක අපේ සංගමය ගත්ත පොදු තීරණයක් " යැයි නීතිඥ  ඉනෝකා පෙරේරා  කීය.

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ දැන්වීමට අනුව කණිෂ්ට නීතිඥවරුන් සය දෙනෙකුගේ සහාය සැකකරුවන් වෙනුවෙන් ඉල්ලා ඇත්තේ නඩුවේ විනිසුරු මඩුල්ල විසිනි. නමුත් නීතිඥ ඉනෝකා පෙරේරා එය ප්‍රතික්ෂේප කළාය.

''චූදිතයන් වෙනුවෙන් පෙනී සිටිම සඳහා කණිෂ්ට නීතිඥයන්  හය දෙනකුගේ සහාය අධිකරණයට අවශ්‍ය වී තිබෙන බව ගරු විනිසුරු මඩුල්ල විසින් මා හට දැනුම් දී තිබේ" යනුවෙන් සභාපතිනිය විසින්ම ප්‍රසිද්ධියේ නිවේදනයක් කොට තිබියදී ඈ අවධාරණයෙන් පවසා සිටියේ " නෑ විනිසුරුතුමන්ලා නෙමෙයි ඉල්ලුවේ. ඒක අපියි තීරණය කෙරුවේ," යනුවෙනි.

ස්වභාවික යුක්ති මූල ධර්ම කෙලෙසීමක්

අති විශේෂ අපරාධ නඩුවක සැකකාර පුද්ගයන් වෙනුවෙන් සේවය ලබා දුන් රටේ ජ්‍යෙෂ්ටතම නීතිඥවරුන් තිදෙනෙකු  ඉන් ඉවත් වූ  පසුව ඒ සඳහා කණ්ෂ්ඨ නීතිඥවරුන්ම පත් කිරීමට දරණ වෑයම පිළිබඳව විමසීමේදී සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලමින් ප්‍රකාශයක් කළ අපරාධ නීතිය පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රකට නීතිඥවරයකු කියා  සිටියේ මෙය ස්වභාවික යුක්ති මූල ධර්මයට සපුරා පටහැනි ක්‍රියාවක් බවයි.

"කනිෂ්ට නීතිඥවරුන් අත්දැකීම් ලබා ගන්න ඕනේ තමයි.  ඒත් මේක එහෙම කරන්න ඕනෑ නඩුවක්  නෙමෙයි. ඒ සැකකාර පුද්ගලයන්ට එරෙහිව තියෙන චෝදනා ඉතාම බරපතලයි. ඒ වගේම ඒ නඩුව, එහි විමර්ශන කටයුතු ඉතාම ප්‍රශ්න සහගතයි. එතකොට ඔවුන්ට තමන්ට යුක්තිය ඉටු කර ගන්න තියෙන අවසාන අවස්ථාව තමයි  සධාරණ නඩු විභාගයක් ලබා ගැනීම කියන්නේ. ඒ තත්වය  මේකෙන් බරපතල විදිහට ඇහිරෙනවා. මේ වගේ නඩුවකට ජූනියර් ලෝයර්ලා දාගෙන සෙල්ලම් කරන්න මේක සෙල්ලම් පිට්ටනියක් නෙමෙයි. අනෙක ඒ ගොල්ලෝ කියන්නේ මේක අධ්‍යයනයට ජුනියර් ලා කැඳවනවා කියලනේ නේද?  එතකොට අර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක හරිම අශිලාචාර ඒ වගේම භයානක  දෙයක්," යනුවෙන් පැවසු එම නීතිඥවරයා  පෙරලා ප්‍රශ්න කර සිටියේ කණිෂ්ට වෛද්‍යවරුන්ට අත්දැකීම් ලබා  දෙන්නට යැයි  පවසා විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිව රෝගීන්ගේ බරපතල ශෛල්‍යකර්ම සිදු කිරීමට ඉඩ දෙන  ක්‍රමයක් ලොව පවතින්නේ ද යනුවෙනි.

‘මැරතන්’

පාස්කු ත්‍රිපුද්ගල විනිසුරු නඩුවෙන් නීතිඥයන් ඉවත් වීමට හේතු සැපයු කාරනාව අන් කිසිවක්ම නොව  'පවතින අධිකරණ  සම්ප්‍රදායෙන් පිට පැන කවර හෝ මැදිහත් වීමක් මත  නඩුව අධිවේගී ආකාරයට පවත්වාගෙන යෑම ම'  යැයි   කාන්තා සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකට ක්‍රියාකාරිණියක් චෝදනා කරයි. ඇය පවසන්නේ මෙය නීතියේ සර්ව සාධාරණ අයිතිවාසිකම් දරුණු ලෙස උදුරා ගැනීමට ලක් වෙන කෙසේ වත් අනුමත කළ නොහැකි ක්‍රියාවලියක් බවයි.

"මේ නඩුව මැරතන් තරගයක් වගේ. පුදුම හදිසියකින් ඉවර කරන්න යන්නේ. ඇයි මේ? මෙහෙම නඩු විසඳන්න පුලුවන්ද? " යි කාන්තා ක්‍රියාකාරී ජාලයේ (WAN) ප්‍රධානී ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩිව විමසා සිටියාය.

එමෙන්ම ඈ ප්‍රශ්න කරනුයේ මේ ආකාරයට කඩි මුඩියේ නඩු විසඳා  කවුරුන් හෝ වරදකරුවන් බවට පත් කළ සැනීන් යුක්තිය සාධාරණය ඉටුවන්නේ ද යන වගයි.  

" මේක හරි පුදුම තත්වයක්. මේ සැකකරුවන් ට අයිතියක්  නැද්ද තමන්ට තියෙන චෝදනාවලට සධාරණ නඩු විභාගයක් ලබා ගන්න. කාටද  මේ නඩුව තදියමට විසඳන්න උවමනා වෙලා තියෙන්නේ; නීතිපතිට ද? අගවිනිසුරුතුමාට ද? රටේ   විධායකයට ද? එහෙමත් නැත්නම් කාදිනල් තුමාට ද? මේක සෙල්ලමක් නෙමෙයි මේ සැකකරුවෝ වුණත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා  තමන්ට කැමති සහ ගැලපෙන නීතිඥ සහායක් ලබා ගන්න.”

2019 සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාරය  සම්බන්ධයෙන් වගකිව යුතු සහ එය වළක්වා නොගැනීමේ චෝදනා මත පුද්ගලයන් ගණනාවකට එරෙහිව මේ වන විටත් අපරාධ නඩු කිහිපයක්ම පවරා තිබෙන අතර, ප්‍රශ්න ගත මෙම  නඩුව 2021 වසරේදී විශේෂ ත්‍රිපුද්ගල නඩුවක් ලෙස නම් කරන ලද්දේ එවකට සිටි නීතිපති සංජය රාජරත්නම් විසින් අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සභාපතිත්වය ඉසිලු එම විනිසුරු මඩුල්ලේ එවකට සිටි සෙසු සමාජිකයන් වූයේ අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යි. පසුව එහි සභාපතිත්වය ට නවරත්න මාරසිංහ පත් කොට සෙසු සමාජික විනිසුරන් ලෙස සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් පත් කරනු ලැබුණි. මුල් විනිසුරු මඩුල්ල සමයේ දී ද භාෂා ගැටලුව දැඩිව මතු වූ අතර අවස්ථා කිහිපයකදීම  විනිසුරු මඩුල්ල ශ්‍රි ලංකා නීතිඥ සංගමයට දැනුම් දෙනු  ලැබුවේ දෙමළ කතාකරන නීතිඥවරුන් නඩුවේ කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි.

 

මාර්ග බාධකවලින් අවහිර කෙරුනු රජයේ මර්මස්ථාන සහ තානාපති කාර්යාල බහුල ප්‍රදේශයක් වන කොළඹ හත බුලර්ස් මාවතේ කෙලවරක පිහිටි හිටපු ඇමැති සනත් නිශාන්ත පදිංචි වී සිටි  නිවස්නයක පවත්වා ගෙන යනු ලබන මෙම විශේෂ නඩුකරය එම බාධක නිසාම බාහිර සමාජයෙන් සැඟවී තිබෙන බවත්, අවම වශයෙන් නීතිඥවරයකුට විවේක ගැනීමට හෝ ඉඩක් නොමැති බවත් කියා සිටි ශ්‍රීන් ශරූර් අවසාන වශයෙන් විමසා සිටියේ නීති සම්ප්‍රදායන් සහ යුක්තියේ මුලධර්ම බිඳ දමිමින් කඩි මුඩියේ නඩු අසා බලාපොරොත්තු වන්නේ කුමක් ද යන වගයි.

කේ. විජේසිංහ
මාධ්‍යවේදී 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්