ගල් අගුරු ටෙන්ඩරය ආරම්භ වූ අවධියේ හෝමාගම බැංකුවක ඇති බිරිදගේ මවගේ ගිණුමට මුදල් පැමිණියේ කෙසේද
යන්න සොයාබලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පොලිසිය බාර අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ඉල්ලීමක් කළේය.
මන්ත්‍රීවරයා එම ඉල්ලීම සිදුකරනු ලැබුවේ, නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව, ඊයේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් යෝජනා කිහිපයක් සභාවට ඉදිරිපත් කරමිනි.
ලංකාව පුරා විසිරී සිටින ජවිපේ කාඩර්වරු තුන්දාහක් පමණ සිටින බවත්, ඔවුන් නිශ්චිත විප්ලවීය අරමුණු වෙනුවෙන් පසුගිය කාලය පුරා සිදු කරන ලද කැපකිරීම් සියල්ල පසෙක දමා දැන් මෙතන ඇවිදින් සිටින ආණ්ඩුවේ ටයිකෝට් දමා ගත්ත මහත්වරු ඔබේ කැපකිරීම් මතින් සුරසැප විඳින ආකාරය ගැන මොළෙන් කල්පනා කර බලන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ඩඩ්ලි සිරිසේන රෝල්ස් රොයිස් කාර් එකක් ගෙන එද්දී, නිපුණ හෙලිකොප්ටරයක් ගෙනෙද්දී, නිකමට හරි තිබුණේ අපේ ආණ්ඩුවක් නම්, නාමල් කරුණාරත්නත් ජනාධිපතිතුමාත් මේ පාර්ලිමේන්තුවේ උඩ පැන පැන කෑ ගහන්නට ඉඩ තිබුනද, අද වගේ වගක් නැතුව ඉන්නා බවද ඔහු සඳහන් කළේය.
''මේ හොරකම් එළි කරන එක අපේ වගකීම "
" අද ඓතිහාසික දවසක්. රුපියලක්වත් හොරකම් කරන්නේ නෑ කියලා ජනාධිපතිතුමා පුන පුනා කියනකොට මේ තක්කඩි හොරකම් ටික කොහොමද පේන්නේ නැත්තේ කියලා ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි. අද පැලවත්තේ ඩෝබි බලකාය ලෑස්ති වෙලාඇති. අපි ඒවට බය නෑ. අපේ වගකීම තමයි මේ හොරකම් ටික එළි කරන එක. "
ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා මේ ටෙන්ඩර් එක දාද්දී විගණකාධිපතිවරයා විසින් 2022-09-30 දින දීලා රාජ්‍ය මුදල් කාරක සභාව විසින් 2022-10-04 දින අනුමත කරලා පාර්ලිමේන්තුවට ලබා දීපු දත්ත අනුව ක්‍රියාකළේ නැහැ. 2022 පෝලිම් තියෙනකොට කරන්ට් කපනකොට, හදිසි මිලදී ගැනීම් සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදයම පාවිච්චි කරලා තියෙනවා. Normalize ක්‍රමවේදයක් තුළ පාවිච්චි කරන්න කියලා විගණකාධිපතිවරයා උපදෙස් දීලා තියෙද්දි, ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් අවුරුදු තුනක් ඇතුළත සප්ලයි කරන්න ඕන කියලා තියෙන එක පහට අඩු කෙරුවා.
''කැබිනට් මණ්ඩලය දැනුවත් කර නැහැ''
කිලෝ කැලරි 5900 ට වැඩි ප්‍රමාණයක් ගේන්න ඕන කියන එකේ අත්දැකීම ලක්ෂයට අඩු කෙරුවා. ඒ හරහා දූෂිත සමාගම්වලට මේක ඇතුලට එන්න ඉඩ සැලැස්වූවා. ඒ විතරක් නෙමෙයි පිළිගත් සමාගම් වලට එන්න තියෙන ඉඩ නැති කළා දින හතළිස් දෙකක කාල සීමාව දින විසි එකකට අඩු කරලා. මෙහෙම තමයි සැලසුම් කරලා මේ වැඩේ පටන් ගත්තේ. එහෙම පටන් අරන් මේක කැබිනට් මණ්ඩලයට දැම්මා . ඒත් කැබිනට් මණ්ඩලය දැනුවත් කලේ නැහැ
විගණකාධිපතිවරයාගේ මෙහෙම නිර්දේශයක් තියෙනවා කියලා . කැබිනට් මණ්ඩලයත් නොමග යැව්වා. Lowest ට ටෙන්ඩරය දුන්නා කිව්වා. හැබැයි කොලිටි එක බැලුවේ නැහැ. ඔන්න ඔතන තමයි ඩීල් එක.
හරියටම බැලුවොත් පළවෙනි නැව එන්න ඕනෙ දෙසැම්බර් මාසෙ 14 වැනිදා. හැබැයි මා දන්නා තරමට පළවෙනි නැව ආවේ දෙසැම්බර් මාසයේ තිස් වෙනිදා මෙහෙම නව ආවහම load port, පටවන වරායේ ඉඳලා රිපෝට් එකක් එන්න ඕනි. ලංකා ඉතිහාසයේ මෙන්න මේ සුපිරි සිදු ආණ්ඩුව , පළවෙනි වතාවට ගල් අඟුරු පටවන රටෙන් නැතුව , ගල් අඟුරු පැටෙව්වේ දකුණු අප්‍රිකාවෙන්, රිපෝට් එක එන්නේ ඉන්දුනීසියාවෙන්. එතකොට ඉන්දුනීසියාවට යවපු සාම්පල් මේ පටවපු එකේ සාම්පල්ද කියලා අපේ කමිටුවේදිවත් පිළිගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ.
ටෙන්ඩරයෙන් දූෂණය පටන් ගත්තා. ඒක report එකෙන් ඉදිරියට ගෙනිච්චා. තුන්වෙනියට සාම්පල් පරීක්ෂා කරද්දී , මෙතන ඇවිල්ලා ඇමතිතුමා ලොකුවට මාධ්‍යයටත් කිව්වා ප්‍රශ්න නැහැ කියලා. නමුත් ගල් අඟුරු ෆේල්.
''real time test එක තග දාලා නවත්තල ''
දැන් කියනවා ලක්විජය සමාගමට real time test එක තග දාලා නවත්තන්නෙ.
සුපිරි සුදු භාවයක් තියෙනවා නම් විනිවිදතාවයක් තියෙන්න ඕන . මේක නිකන් දැන් මෙගා ටෙලි නාට්‍යයක් වගේ. සාමාන්‍යයෙන් ලංකාවේ මුහුදට මේ නැව ඇවිල්ලා බෑවහම, බොයිලේරුවට දානවා real time එක බලන්න. ලක්විජය බලාගාරයේ බොයිලේරුවල රියල් ටයිම් report එක අනුව තමයි කොච්චර මෙගාවොට් ප්‍රමාණයක් ජනනය වෙනවාද කියන එක පරීක්ෂා කරන්නේ. මොකද කොහේ මේවා ටෙස්ට් කරත් ලක්විජය බලාගාරයේ බොයිලේරුවට දාලා නේ විදුලිය නිෂ්පාදනය කරන්නේ.
පළවෙනි report එක ෆේල්. තුන්වෙනි පාර්ශ්වය චෙක් කරන ඉන්දියාවට යැව්වා ම පළවෙනි එකේ දෙකම සමපාත වෙනවා. හොරාට කලින් වැට පනිනවා වගේ, මේක ගේන්න කලින් අපි කමිටුවලදි අනතුරු ඇඟවීම් කළා මෙහෙම තත්ත්වයක් මතු වෙන්න පුළුවන් කියලා අමාත්‍යාංශ ලේකම්වරයාට. මං දන් නැහැ ලේකම්තුමාට ඇමතිතුමා වැඩ කරන්න දෙන්නේ නැති හින්දා ඒවා කොමියුනිකේට් උනාද නැද්ද කියලා.
දෙවෙනි නැව එද්දිත් අපි කිව්වා මේක ෆේල් . එතකොටත් මේගොල්ලෝ කිව්වා නෑ එහෙම නෑ. එහෙම ෆේල් නම් අපි දඩ ගහනවා කියලා. මේවා හොඳ වට මේස සාකච්ඡාවල සාකච්ඡා වුන හින්දා තමයි එහෙම පැනලා කියන්නේ.
''පහුගිය ආණ්ඩුවලත් මේ වගේ මහ දවාලේ හොරකම් කරලා නැහැ''
අපි එකක්වත් හිතලු කියන්නේ නැහැ. මේවා නිල රිපෝට්. අද මේ කියන සියලු රිපෝර්ට් සභාගත කරනවා. දෙක තුන හතර ෆේල් වෙනකොට, පිළිගත්තේ නැහැ. හැබැයි පළවෙනි නැවට ඩොලර් මිලියන 2.1 ක දඩයක් ගහනවා කියලා ටක් ගාලා මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. මේගොල්ලෝ හිතාගෙන ඇති මේ ගල් අඟුරු සමාගමේ නිලධාරීන්ව තියලා press conference එකක් තියලා පැලවත්ති ලෝබි බලකාය දාලා ශෝෂල් මීඩියා එකේ ෆේක් ප්‍රොෆයිල් වලින් ගැහුවහම මේ ඔක්කොම හරියයි කියලා.
පුළුවන් නම් තියන්නකො පළාත් සභා ඡන්දෙ. ලිට්මස් පරීක්ෂාව කරගන්න. පහුගිය ආණ්ඩුවලත් හොරකම් වෙලා තියෙනවා. හැබැයි මේ වගේ මහ දවාලේ හොරකම් කරලා නැහැ. මොකද මේක මහ බැංකු බැදුම්කර මංකොල්ලය වගේ දෙතුන් ගුණයක් ගහලා තියෙන්නේ. අනේ පව් මාලිමාවේ මන්ත්‍රීවරු. මං දන්නෑ කීයක් හරි දුන්නද කියලා. කට වහගෙන ඉන්න වෙලා තියෙනවා. අද වෙනදා වගේ මන්ත්‍රීවරු ඇත්තෙත් නෑ මෙතන.
දෙවැනි නැව ආවා. ඒකත් ෆේල්. හැබැයි මට හිතෙනවා දෙවැනි නැව ෆේල් උනහම කූඨ ලේඛන වැඩේකට ගියා කියලා. අද හිනාවෙන්න. අනාගතයේ දවසක දොඩවන්න කියවන්න . පෙරේදා සාකච්ඡාවක් තියලා මේ ටෙන්ඩරය ගැන අද කතා නොකර, previes tenders ගැන කතා කරමු කියලා ප්‍රැක්ටිස් සෙෂන් එකක් දාලා ඇවිල්ල තියෙන්නෙ. මේ සියලු ලිපි ලේඛන අද සභාගත කරලා අද පියවර නොගත්තත් , අද කවුරු කාව රැක්කත්, අනාගතයේ දඬුවම් ලැබෙයි.
මේ ඇමති කොච්චර පාඩු කරලා තියෙනවද?
පළවෙනි නැවෙන් මිලියන 595.1 යි. ඒකට 644ක් අයකරගෙනන තියෙනවා.
දෙවෙනි නැවෙන් මිලියන 288.5 යි.
තුන්වෙනි නැවෙන් මිලියන 1047.4 යි.
හතරවෙනි නැවෙන් මිලියන 865.
පස්වෙනි නැවෙන් මිලියන 1444.2
හයවෙනි නැවෙන් මිලියන 1197.7
හත්වෙනි නැවෙන් මිලියන 974.9
අටවෙනි නැවෙන් මිලියන 1559.3
'' මේ ටික එකතු කරහම මහ බැංකුව මංකොල්ලයට වඩා වැඩියි''
බොයිලේරුව ක්‍රියාත්මක කරන ලක්විජය බලාගාරයේ report එක අනුව ෆේල්. හැබැයි ඉන්දියානු සමාගම අනුව පාස්. ඔන්න කූට ලේඛන.
මා ගාව තියෙන ලක්විජය බලාගාරයේ පළවෙනි නැවේ රිපෝට් එකේ, 5900ට වැඩිය තියෙන්න ඕන එක, 5689 යි. දෙවැනි නැව 5684යි. තුන්වෙනි නැව 5078 යි. හතරවෙනි නැව 5562 යි. පස්වෙනි නැව 5670 යි. හයවෙනි නැව 5415 යි.
මේකත් හැන්සාඩ් ගත කරනවා ඓතිහාසික මහා මංකොල්ලය පිළිබඳව. මාලිමා ආණ්ඩුවේ ලොකුම මංකොල්ලය. මේ එකක්වත් සමගි ජන බලවේගයවත්, මරික්කාර්වත් හදපු ලිය කියවිලි නෙවෙයි. මේවා ලක්විජය බලාගාරයෙන් සහ ලංකා විදුලි බල මණ්ඩලයෙන් හදපු ඒවා.
දැන් කොමිටි එකට එද්දි ඇමති ගෙනල්ලා මීටිමක් තියලා, තගකුත් දාලා එවන්නේ. ඕගොල්ලෝ ඔක්කොමලගේ ෆයිල් මංගාව තියෙනවා කියලා, බය කරලා එවන්නේ. ඒ කාලෙ ඉවරයි. දැන් යුගය වෙනස් සමාජය වෙනස්. ඕගොල්ලෝ බොරු කියලා මේ රටේ ජනතාව තවදුරටත් රවට්ටපු කාලෙ ඉවරයි.
දැන් මේ ගෙනාපු ගල් අඟුරු හොඳ බඩු නම්, සාමාන්‍ය අළු ප්‍රතිශතය තියෙන්න ඕන එකොළහයි. නමුත් මේ හැම නැවකම අළු ප්‍රතිශතය 16% ට වැඩියි.
අළු ප්‍රතිශතයන් ටික මෙන්න මේ විදිහ.
* පළවෙනි නැව : 20.1%
* දෙවෙනි නැව : 21.38%
* තුන්වෙනි නැව : 25.5%
මෙන්න මේ විදිහට දිගට තියෙනවා.
''ඩීසල් මාෆියාව ගේමක් ගහන්න සෙට් වෙලා..''
මම මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මේසා විශාල හොරකමක් දෑස් පනාපිටම ලිඛිතව ඔප්පු වෙලා තියෙද්දි කොහොමද රකින්නේ?
දැන් මේ සැපයුම්කරුවා ගල් අඟුරු සමාගම රවට්ටනවා. ඒගොල්ලන්ට අනුව ලෝඩ් පෝට් රිපෝට් ඔක්කොම පාස්. හැබැයි ලක්විජය බලාගාරයට අනුව, ඒ රිපෝර්ට් ෆේල් . මේකේ තියෙන බරපතලම කාරණය තමයි මෙගාවොට් 300 නිෂ්පාදනය කර ගන්න බැරි උනහම සහ මේ සා විශාල අළු ප්‍රමාණයක් නිෂ්පාදනය වුණහම, මේ බොයිලේරුවලට හානියක් වෙන්නන පුළුවන්. මේ බොයිලේරු හානි වුනොත්, ඒවා රෙපෙයාර් කරන්න මාස හයක කාලයක් යනවා. මාස හයක කාලයක් ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වුණේ නැත්නම්, ලංකාවේ අඛණ්ඩ විදුලි සැපයීම සඳහා ඩීසල් මාෆියාවෙන් විදුලිය ගන්න වෙනවා. ඒක තව ගේමක් ගහන්න සෙට් වෙලාද කොහෙදෝ ඉන්නේ.
අලු ප්‍රමාණය 16%ට වඩා වැඩි නම් මේක කැන්සල් කරන්න ඕන. ඒ වගේම නැව් දෙකක් ප්‍රතික්ෂේපිත නම් ටෙන්ඩරය කැන්සල් කරන්න ඕන.ඒ එකක්වත් කරන්නැතුව වටේවටේ යවනවා.
ඒ කාලෙ හෝමාගම මහජන බැංකුවට wife ගේ අම්මගේ එකවුන්ට් එකට සල්ලි වැටුනද කියලා හොයලා බලන්න. ඔය ටෙන්ඩර් කාලේ, වයිෆ්ගේ අම්මාගේ කවුන්ට් එකට මහජන බැංකුව හෝමාගම සල්ලි වැටුනද කියලා හොයලා බලන්න.
ගල් අඟුරු මික්ස් කරලා ගහන්ඩ යන ගේම !
දැන් අර කලින් ගෙනාපු ගල් අඟුරුයි මේවයි මික්ස් කරලා ගහන්ඩ යන ගේමකුත් යනවා. ඒ කොහොම මික්ස් කරලා ගැහුවත් පෙර ගල් අඟුරු පෙබරවාරි මාසය වෙනකොට ඉවර වෙනවා. ඒ නිසා මාර්තු මාසයේ ඉඳලා මේ ටෙන්ඩරයේ තියෙන බාල ගල් අඟුරු දිගින් දිගටම පාවිච්චි කළොත් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කරන්න බැරි උනහම , අනිවාර්යයෙන්ම එක්කෝ කරන්ට් කපන්න ඕන. එහෙම නැත්නම් ඩීසල් මාෆියාවෙන් විදුලිය මිලදී ගන්න ඕන.
අපිට බලය ගන්න ඕන ඒක ඇත්ත. නමුත් කරන්ට් කපලා ගෑස් පෝලිම් හදලා, මිනිස්සු පෝලිම්වල තියලා ආණ්ඩු ගැනීමේ කාලකන්නි ආසාවක් අපිට නැහැ. මොකද ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මේක පොහොට්ටුව නෙමෙයි. මේක සමගි ජන බලවේගය. අපිට දූෂණ චෝදනා නැහැ. අපිට නඩු නැහැ. අපි හොරා කාලා නැහැ වගේම හිඟා කාලාත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි අනුන්ගේ හිල් ජොක්කු ඇඳලා නැහැ.
මේක මහ දවල් මංකොල්ලයක්. මේක සාධාරණීකරණය කරන්න බැහැ. ඇයි කෑ ගහන්නෙ permit එකක් ඉල්ලුවා. ඔයාගේ අනුර කුමාර දිසානායක පර්මිට් හයක් අරගෙන තියෙනවා. නලින්ද ජයතිස්ස ඇමතිතුමා 2015 පර්මිට් එක ගත්තද? නැද්ද ? ගත්තා.
විජිත හේරත්? , බිමල්? ගත්තද නැද්ද ? ගත්තා.
වැඩිය කතා කෙරුවොත් ඔලුවෙන් හිටවනවා හරිද?
මම ඒ පර්මිට් ඔක්කොම ඊළඟ සභා වාරයේදී සභාගත කරනවා. අනුර කුමාර දිසානායක , නලින්ද ජයතිස්ස , බිමල් රත්නායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති , ගත්තු පර්මිට් ඔක්කොම සභාගත කරන්නම්.
''ජවිපෙ කාඩර් එකේ ඉන්න මිනිස්සු පව්''
ලබන මාසේ ඉඳලා මේ බාල ගල් අඟරු පාවිච්චි කළහම මොකද වෙන්නේ? මෙගාවොට් 300 නිෂ්පාදනය කරන්න බැහැ. එතකොට රුපියල් විසි හතරට ගල් අගුරුවලින් නිපදවන විදුලි ඒකකයක් වෙනුවට, බාල ගල් අඟුරු නිසා රුපියල් 40 විතර එක ඒකකයට වැඩිපුර ගෙවලා, රුපියල් 64 ගානේ ඩීසල් මාෆියාවෙන් මිලදී ගන්නසිද්ධ වෙනවා. එතකොට මේ ගොල්ලෝ හොරකම් කරන ටික විදුලි පාරිභෝගිකයා ගෙවන්න ඕන. 13.5% කින් කරන්ට් බිල වැඩි කරන්න කියලා යෝජනාවකුත් ගේනවා. ඒ නිසා PUSL මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලන්න කැමතියි කවුරුවත් හොරකම් කරන ඒවා මහජනතාව ගෙවන්න ඕන නැහැ.
මම ගරු කරන අනිල් ජයන්ත මැතිතුමා ගැන මට කණගාටුයි. පිරිවැය දරා ගැනීම සඳහාලු ගාන වැඩි කරන්නේ. පිරිවැය නෙමෙයි හොරකම දරා ගැනීම සඳහා. කිව්වේ නම් තුනෙන් එකකින් කරන්ට් බිල්එක අඩු කරනවා කියලා. ජනාධිපතිතුමාම කිව්වා නම දාහේ බිල හය දාහට ගේනවා කියලා. අනේ අර යූටියුබ් එකයි ටික් ටොක් බල බල උයන අම්මලා හිතුවා අම්මට උඩු, අනුර කුමාර ආවහම අපිට මාර සහනයක් ලැබෙයි කියලා. දුන්නා පැනගෙන ගිහිල්ලා ගෙදර මිනිහා කියන දේත් අහන්නේ නැතුව.
මේ විදුලි බිල වැඩි කරන්න උත්සාහ කෙරුවොත් අපි මහජනතාව පාරට ගෙනල්ලා බස්සනවා. දැන් හනිමුන් කාලේ මාස දාසය ඉවරයි. ගමේ ගියොත් අපි නෙමෙයි ගහන්නෙ, පෙරටුගාමීන්ගෙන් ගුටි කන්න බලාගෙන ඉන්න. අපි සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒ නිසා මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා ඔබතුමන්ලා මේවට අනුබල ආධාර දෙන්නඑපා. මේ හොරකමට විරුද්ධ වෙන්න කාටද කොන්දක් තියෙන්නේ කියලා අපි බලන්න ලෑස්තියි. ''







