නිවසකට ඉන්දියාවෙන් ලක්ෂ 28ක්; ලංකාවෙන් ලක්ෂ 4ක් - වැවිලි සමාගම් 22ක ඉඩම් නිදහස් කිරීමට තීරණයක්
ඉඩම් වාර්තා කඩිනමින් දෙන්න ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට (NBRI) උපදෙස්
ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර යටතේ මෙරට මලෛයගම් (වතුකරයේ) ප්‍රජාව වෙනුවෙන් ඉදිකරනු ලබන නිවාස 4,700 කින් යුත් නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා නිලධාරීන්ට නියෝග කර ඇත්තේ අදාළ සියලුම ඉදිකිරීම් කටයුතු මෙම වසර (2026) අවසන් වීමට ප්‍රථම මුළුමනින්ම නිම කරන ලෙසයි.
මෙම නිවාස වැඩසටහන යටතේ ඉදිකරන නිවාසවලින් නිවාස 2,026ක්ම වෙන් කරනු ලබන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) විසින් නායයෑම් ඇතුළු ආපදා අවදානම් සහිත කලාපවල ජීවත්වන බවට හඳුනාගෙන ඇති වතුකරයේ පවුල් වෙනුවෙනි. ඉතිරි නිවාස ප්‍රමාණය වතු අංශයේ පදිංචි අනෙකුත් සුදුසුකම් ලත් කම්කරු පවුල් වෙත ලබාදීමට නියමිතය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රධාන පදනම් 3ක්
මූල්‍ය දායකත්වය:
ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සෑම නිවසක් සඳහාම ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 2.8ක (ලක්ෂ 28ක) ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් දායක කරනු ලබයි.
ඉඩම් නිදහස් කිරීම සහ වතු පාලනය:
ප්‍රාදේශීය වැවිලි සමාගම් 22කට (RPCs) අයත් වතු මෙන්ම, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ පවතින වතුවල ජීවත්වන පවුල් සඳහා මෙම නිවාස හිමිවන අතර, ඒ සඳහා හඳුනාගත් ඉඩම් කිසිදු ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට පියවර ගැනේ.
ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීම:
මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. නිවාස ඉදිකිරීමට සුදුසු ආරක්ෂිත ඉඩම් වෙන්කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික වාර්තා කඩිනමින් සැපයීමට NBRI ආයතනයට උපදෙස් දී ඇත.





