වෙල්යායක නිහඬ වූ සද්දන්ත ජීවිතය
දින ගණනාවක් පුරා දැඩි රෝගාබාධයකින් පීඩා විඳිමින් සිටි කාවන්තිස්ස ඇතා, අද (16) පෙරවරුවේ සියඹලන්ගමුව - තඹුත්තේගම නීරාවිය ප්රදේශයේ කුඹුරක ඇදවැටී සිටියදී සොයා ගැනිණි.
පශු වෛද්ය කණ්ඩායම් පැමිණ දැඩි වෙහෙසක් දරමින් ජීවිතය බේරාගැනීමට ප්රතිකාර ලබාදුන්නද, සවස් භාගයේදී එම සද්දන්ත ශරීරයෙන් පණනළ සදහටම සමුගත් බව වාර්තා විය.
තුවක්කු බඳිනය සහ නිදන්ගත වූ රෝගී තත්ත්වය
ගල්ගමුව, මහව සහ ගැටදිවුල්වැව ආශ්රිත වනාන්තරවල සැරිසැරූ මේ මහා ඇතු පසුගිය සැප්තැම්බර් මස මුල් සතියේදී නිරීක්ෂණය වූයේ දකුණු ඉදිරි පාදයට එල්ල වූ බඳින තුවක්කු වෙඩි පහරකින් තුවාල ලබා සිටියදීය.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් විසින් නිද්රා නිර්වින්දනයට ලක්කොට, රුධිර සාම්පල පරීක්ෂා කරමින් දින කිහිපයක් ප්රතිකාර කිරීමෙන් පසු පාදයේ තුවාලය සුව අතට හැරී ඇතා චලනය වීමට පටන් ගත්තේය.
එහෙත් ඔක්තෝබර් මුල් සතිය වන විට සත්ත්වයා ආහාර ගැනීම ප්රතික්ෂේප කරමින් අභ්යන්තර ආබාධයක ලක්ෂණ පෙන්වූ අතර, තායිලන්ත විශේෂඥ කණ්ඩායමකගේ සහය ලබාගැනීමට පවා අවධානය යොමුව තිබිණි.
ක්ෂේත්ර නිරීක්ෂණය සහ ප්රතිපත්තිමය විසඳුමක අවශ්යතාව

ඇතා ඇදවැටී සිටින බව සැලවූ විගස එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා, සත්ත්වයාගේ වත්මන් තත්ත්වය සහ වෛද්ය ප්රතිකාර පිළිබඳව ක්ෂේත්රයේ නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය.
කාවන්තිස්ස ඇත් රජුට අත්වූ මෙම ඉරණම අලි–මිනිස් ගැටුමේ තවත් එක් අඳුරු ප්රතිඵලයක් බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා, දිවා රෑ නොබලා ප්රතිකාර කළ පශු වෛද්යවරුන් සහ වනජීවී නිලධාරීන්ගේ කැපවීම අගය කළේය.
මෙරට සීඝ්රයෙන් වඳවී යන මහත ඇත් දළ හිමි ඇතුන් රැකගැනීමට නම් තාවකාලික ප්රතිකාරවලින් ඔබ්බට ගිය, අලි ඇතුන්ට වනාන්තරයත් ගොවි ජනතාවට බියෙන් තොර වගාබිමත් තහවුරු කෙරෙන ජාතික තිරසර සැලැස්මක් කඩිනමින් ක්රියාත්මක විය යුතු බවට නිරීක්ෂකයෝ අවධාරණය කරති.
විපක්ෂනයකවරයාගේ සංචාරයට අදාළ වීඩියෝව නරඹන්න
සබැඳි පුවත් :
කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්
ගල්ගමුවේ කාවන්තිස්ස ඇත් රජුට කඩිනම් පශු වෛද්ය ප්රතිකාර ඇරඹෙයි
කාවන්තිස්ස ඇතාට ප්රතිකාර ඇරඹීම පමා ඇයි ? - ක්ෂේත්ර අර්බුදය මෙන්න



