අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම සමූහ මිනීවළක් ලෙස සැකකොට විමර්ශන සිදු කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද නැගෙනහිර පළාතේ භුමියකින් මානවයන් ගේ බවට සැක කෙරන අස්ථි කොටස් මතු කර ගැනීමට කැනීම් විමර්ශකයන්ට හැකිව තිබේ.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්යවේදීන්ට දැනුම් දී ඇත්තේ කුරුක්කල්මඩම් භුමියේ කැනීම් කටයුතු සිදු කළ මහාචාර්යවරයාගේ සහ අධිකරණ වෛද්ය නිලධාරියාගේ වාර්තා සති දෙකක පමණ කාලයකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් ඉන් අනතුරුව වැඩි දුර තොරතුරු අනාවරණය කිරීමට හැකි බවයි.
හිස්කබල් සහ කැපුම් කැළැල් සහිත ඇටසැකිලි කොටස්
නීතිඥවරයා එම සොයාගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය:
"එහිදී මිනිස් ඇටසැකිලි ලෙස විශ්වාස කරන්න පුළුවන් බොහෝ ද්රව්ය, මිනිස් හිස් කබල් ඇතුළුව බොහෝ ඇටසැකිලි ඇතුළත්ව බොහෝ ද්රව්ය කැපීම් කැළැල් සහිතව සොයාගෙන තියෙනවා. ඒවා ගරු අධිකරණයේ සාක්ෂි භාණ්ඩ ලෙස ඉදිරිපත් කරලා, අධිකරණ වෛද්ය නිලධාරින් විසින් වැඩිදුර පර්යේෂණ සඳහා රැගෙන ගොස් තිබෙනවා. ඉදිරි කාලයේදී මේ කැණීම් කටයුතු සිදු කරපු පුරාවිද්යා මහචාර්ය රාජ් සෝමදේව මහතාගේ වාර්තාව සහ අධිකරණ වෛද්ය නිලධාරියාගේ වාර්තාව ලැබුණට පස්සේ මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර අපිට මාධ්ය හරහා කියන්න පුළුවන්."
සමුහ මිනීවළක් සෙවීම සඳහා අහම්බෙන් ඇටසැකිලි හමු නොවී අධිකරණ අධීක්ෂණයෙන් කැනීම් ආරම්භ කළ ශ්රී ලංකාවේ පළමු ස්ථානය වන්නේ මඩකලපුවේ කුරුක්කල්මඩමයි.
LTTE සංවිධානය විසින් මරා වල දමන ලද බවට චෝදනා කෙරුණු 150කට අධික මුස්ලිම් හජ්ජි වන්දනාකරුවන් පිරිසක සිරුරු ඇති බව පැවසුණු එම භුමියේ විමර්ශන කටයුතු සඳහා ඇස්තමේන්තු කර තිබු මුදල ලක්ෂ විසි අටකි.
පළමු අදියරේ බාධා සහ දෙවැනි අදියරේ මෙහෙයුම
2026 වසරේ මාර්තු මස 30 වැනිදා සිට අප්රේල් 1 දක්වා දින තුනක් තුළ මඩකලපුවේ කුරුක්කල්මඩමෙහි ආරම්භ කළ පළමු අදියරේ කටයුතු සුවිශේෂී යමක් සොයා ගැනීමකින් තොරවම අවසන් කළේය. ඒ කැනීම් කටයුතු සදහා හදුනාගත් භුමිය අඩි හයක් පමණ ගැඹුරට හෑරීමේදී මුහුදු ජලය මතු වීමත් සමගයි.
ඉන් අනතුරුව පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් අධිකරනයෙන් කළ ඉල්ලීමට අනුව ඒ සමීපයේම භුමියක 2026 ඔක්තෝබර් මස 6 වැනිදා සිට 14 වැනිදා දක්වා දින නමයක කාලයක් දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කර ඇත්තේ කලුවන්චිකුඩි මහේස්ත්රාත් ධර්මලිංගම් ප්රදීපන්ගේ අධීක්ෂණය යටතේය.

අහඹු හමුවීමකින් තොරව ඇරඹි ඓතිහාසික විමර්ශනය
ශ්රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී සමූහ මිනීවලක් පාදා ගැනීමට කැනීම් ආරම්භ කළ පළමු ස්ථානය මෙය වන්නේය. මීට ඉහතදී උතුරේත්, කොළඹත්, සාම්පුර්හිත්, මාතලේත් එවැනි විමර්ශන ආරම්භ කෙරුනේ අහම්බයකින් මිනිස් ඇටකටු මතුවීමෙන් අනතුරුවයි.
සමුහ මිනී වළක් ඇති බව පැවසෙන එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුනි.
දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.



