මිහින්තලා පුදබිමේ මිහිඳු මහ සෑ රඳුන්ගේ ප්රතිසංස්කරණය කරන ලද කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්යෝත්සවය පැවැත්වුණේ ශ්රී ලංකා - තායිලන්ත රාජ්ය තාන්ත්රික හා ආගමික මිත්රත්වය යළිත් ඉස්මතු කරමිනි.
තායිලන්ත රජයේ සහ එරට ජනතාවගේ දායකත්වයෙන් නිමවූ මෙම පුණ්ය කටයුත්තට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දකුණු හා ගිනිකොනදිග ආසියාව වෙළාගත් ථෙරවාද බෞද්ධ උරුමය පිළිබඳ පුළුල් විග්රහයක් ඉදිරිපත් කළේය.
ලෝක ථෙරවාද කේන්ද්රය සහ අනුරාධපුර උරුමය
පාඨලීපුත්රයේ පැවති තෙවන ධර්ම සංගායනාවෙන් පසු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරවීමත් සමග ස්ථාපිත වූ මහා විහාර සම්ප්රදාය, වසර දහසකට අධික කාලයක් මුළුල්ලේ ජාත්යන්තර ධර්ම අධ්යාපන තොටිල්ලක් බවට පත්ව තිබිණි.
කතෝලික බැතිමතුන්ට වතිකානුවත්, ඉස්ලාම් බැතිමතුන්ට ශුද්ධ වූ මක්කමත් සේම, ලොව පුරා විසිරී සිටින සමස්ත ථෙරවාද ප්රජාවගේම මූලස්ථානය හා පූජනීය භූමිය අනුරාධපුරය බව වික්රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
දිඹුලාගල ආරණ්ය සේනාසනය හා ත්රිකුණාමල වරාය කේන්ද්ර කරගනිමින් තායිලන්තයේ සුඛෝතායි සහ කාම්බෝජයේ අංකෝර් වට් දක්වා ථෙරවාද දහම ව්යාප්ත වූ ආකාරයත්, පසුකාලීනව මෙරට උපසම්පදාව අහිමි වූ අවස්ථාවේ තායිලන්තයේ අයුත්ථයා නුවරින් සියම් නිකායික උපසම්පදාව යළි ලබාගත් අයුරුත් මෙහිදී සිහිපත් කෙරිණි.
19 වැනි සියවසේ අනගාරික ධර්මපාලතුමන් බුද්ධගයාව බෞද්ධ අයිතියට ලබාගැනීමේ සටන මෙහෙයවූ අවස්ථාවේ තායිලන්තයේ පස්වන රාම රජු දැක්වූ නොමසුරු මූල්යමය හා සදාචාරාත්මක සහයෝගය බෞද්ධ ලෝකයට අමතක කළ නොහැකි සාධකයකි.
ථෙරවාදී කලාපීය අනන්යතාව සහ නිදහස් වෙළඳාම
ඓතිහාසික ආගමික සහජීවනය නූතන භූ-දේශපාලනික වාසියක් බවට පත්කිරීමේ වැදගත්කම හිටපු ජනාධිපතිවරයාගේ දේශනයේ ප්රධාන තේමාවක් විය.
ශ්රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, ලාඕසය සහ කාම්බෝජය එකම ථෙරවාදී සංස්කෘතික පවුලක් නියෝජනය කරන බැවින්, ඒකාබද්ධ 'ථෙරවාද ආර්ථික කලාපයක්' ගොඩනැගීමේ අවශ්යතාව දිගින් දිගටම මතු වූවකි. තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) එළැඹීමේ ප්රධාන පදනම වූයේ ද මෙම කලාපීය ඒකාබද්ධතාවයි.
ව්යවස්ථාපිත සුරක්ෂිතතාව සහ ආගමික නිදහස
ශ්රී ලංකාවේ මෙන්ම තායිලන්තයේ ද රාජ්ය ව්යවස්ථාව මගින් බුදුදහමට ප්රමුඛත්වය ලබාදෙන අතරම, සියලු පුරවැසියන්ගේ ආගමික නිදහස සමාන අයුරින් තහවුරු කර ඇති බව මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.
මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය ඓතිහාසික සම්මුතීන් මත පදනම් වූවක් සේම, තායිලන්ත ව්යවස්ථාවේ 67 වැනි වගන්තිය මගින් ද රජතුමා බෞද්ධයෙකු ලෙස බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව වික්රමසිංහ මහතා සඳහන් කළේය.
තායිලන්ත නියෝජ්ය අග්රාමාත්යවරිය ප්රමුඛ දූත පිරිසගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු මෙම පුණ්ය කටයුත්ත, රාජ්ය තාන්ත්රික සබඳතාවලින් ඔබ්බට ගිය ආධ්යාත්මික මිත්රත්වයක සංකේතයක් ලෙස දෙරටේම නිරීක්ෂකයින්ගේ ඇගයීමට ලක්ව තිබේ.



