ව්යවස්ථාමය අභියෝගය සහ ජනවරම
රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' හරහා මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතිවාසිකම් සීමා වන බව පවසමින් නීතිඥ උදය ගම්මන්පිල ශ්රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත.
නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කළ මෙම පෙත්සමෙන් අවධාරණය කෙරෙන්නේ, අදාළ ප්රශ්නගත වගන්ති සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයක් ද අනිවාර්ය බවයි.
විධායක බලය හමුවේ අධිකරණ බලය සීමා වීම
කෙටුම්පතේ 27 සහ 28 වගන්ති මඟින් ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට අධික විධායක බලතල හිමිවන බව පෙත්සම්කරු පෙන්වා දෙයි. විශේෂයෙන් 27(3) වගන්තිය යටතේ වසරක් දක්වා පුද්ගලයෙකු රඳවා තැබීමට ආරක්ෂක ලේකම්වරයාට අවසර ලැබේ.
ස්වාධීන අධිකරණ විනිසුරුවරයෙකුගේ අධීක්ෂණයකින් තොරව පුද්ගල නිදහස අහිමි කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(2) වගන්තියට පටහැනි බවත්, මහේස්ත්රාත්වරුන් සතු අධිකරණමය බලය මෙයින් බරපතළ ලෙස හකුළුවා ඇති බවත් ඔහු චෝදනා කරයි.
රඳවා ගැනීමේ නියෝග සමාලෝචනය කරන කමිටුවේ සාමාජිකයන් විෂයභාර අමාත්යවරයා විසින්ම පත් කිරීමත්, එහි නිර්දේශ ක්රියාත්මක කිරීමේ අවසන් බලය එකී අමාත්යවරයා සතු වීමත් හරහා මහජන පරමාධිපත්යයේ මූලධර්ම උල්ලංඝනය වන බව පෙත්සමේ තවදුරටත් දැක්වේ.
හමුදා නිලධාරීන්ට සෝදිසි බලතල සහ සැකකරුවන් මාරු කිරීම
අධිචෝදනා පත්ර භාරදුන් සැකකරුවන් සාමාන්ය බන්ධනාගාර ක්රමයෙන් මුදාගෙන ආරක්ෂක ලේකම්වරයා තීරණය කරන වෙනත් ස්ථාන වෙත මාරු කිරීමට ඉඩ සලසන 54 වැනි වගන්තිය ද මෙම පෙත්සම හරහා දැඩි ප්රශ්න කිරීමට ලක්ව තිබේ.
කෙටුම්පතේ 19 සහ 20 වගන්ති ප්රකාරව ත්රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් හා දේපළ පවරා ගැනීම් සඳහා ලබා දී ඇති අසීමිත අවස්ථාවන් හේතුවෙන් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික මිනිස් අයිතිය අහිමි වන බව පෙත්සම්කරු සඳහන් කරයි.
සබැඳි පුවත් වාර්තා දෙකක් :
නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්රයෙන් අනතුරු ඇඟවීමක්
නව ත්රස්ත පනත හකුලාගන්න: ඕස්ට්රේලියානු සහයෝගිතාවෙන් මන්ත්රීන්ට බලපෑම්



