ගැසට්ටුව ආවත් පහසුකම් මදි
දිවයිනට ආනයනය කෙරෙන මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ටයර් සඳහා අනිවාර්ය ආරක්ෂක ප්‍රමිතියක් හඳුන්වා දීමට රජය පියවර ගත්තද, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම බරපතළ ආයතනික අර්බුදයකට මුහුණ දී තිබේ.
2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය (ආනයන හා අපනයන පාලන රෙගුලාසි අංක 08/2026) මගින් මෙම නියාමනය පනවා ඇත. ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නිරීක්ෂණ සඳහා ලබාදුන් මාස තුනක කාලයෙන් අනතුරුව, 2027 ජනවාරි සිට ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය අනිවාර්ය කිරීමට නියමිතව තිබුණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ කරුණු දැක්වූ ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක සඳහන් කළේ නව නීතියට අනුගත වීම සඳහා ආනයනකරුවන්ට මාස තුනක කාලයක් හිමිවන අතර, අවශ්‍යතාව අනුව එම කාලය දීර්ඝ කිරීමේ නීතිමය බාධාවක් නොමැති බවයි.
යන්ත්‍ර නැතිව ප්‍රමිතිය මනින්නේ කෙසේද?
නියාමනය ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන බාධාව වී ඇත්තේ අදාළ ප්‍රමිති පරීක්ෂාව පැවරී ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සතුව පූර්ණ තාක්ෂණික පහසුකම් නොමැති වීමයි.
ප්‍රමිති ආයතනයේ රසායනාගාර අධ්‍යක්ෂ සුජීව මහගම රජයේ මුදල් කාරක සභාවේදී අනාවරණය කළේ ටයරයක බාහිර මිනුම් (Dimensional testing) මැනීමේ හැකියාව පැවතියද, ධාවන ශක්තිය, කල්පැවැත්ම, බර දැරීමේ හැකියාව සහ විදීම් ප්‍රතිරෝධය මනින 'ප්ලන්ජර්' (Plunger test) වැනි තීරණාත්මක ක්‍රියාකාරී පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ ආයතනය සතුව නොමැති බවයි.
එවැනි පරීක්ෂණ යන්ත්‍ර සාමාන්‍ය වෙළෙඳපොළෙන් සෘජුව මිලදී ගැනීමට නොමැති බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාර්ථක වී නොමැත. පවතින සීමිත කාලය හමුවේ 2027 ජනවාරි වන විට එම පරීක්ෂණ මෙරට තුළ ආරම්භ කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
පාරිභෝගිකයාගේ කරපිට පැටවෙන අවදානම
පරීක්ෂණ පහසුකම් නොමැති පසුබිමක නීතිය බලාත්මක කළහොත්, විදේශීය නිෂ්පාදකයින්ගේ හෝ ජාත්‍යන්තර ආයතනවල සහතික මත පමණක් යැපීමට බලධාරීන්ට සිදුවේ. එවැනි සහතිකවල නිරවද්‍යතාව සත්‍යාපනය කරගැනීමට ස්වාධීන දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් නොමැති වීමෙන් බාල ප්‍රමිතියේ නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුළුවීමේ ඉඩකඩ පවතී.
විදේශීය ආයතන මගින් පරීක්ෂණ වාර්තා ලබාගැනීමට සිදුවුවහොත්, ඒ සඳහා යන අමතර වියදම සහ ප්‍රමාදය අවසානයේ එකතු වන්නේ පාරිභෝගිකයා මිලදී ගන්නා ටයරයේ මිලටයි. විශේෂයෙන්ම ජීවනෝපාය සඳහා දිනපතා මාර්ගයේ ධාවනය වන ලක්ෂ සංඛ්‍යාත ත්‍රිරෝද රථ හිමියන්ට සහ සාමාන්‍ය රියදුරන්ට මෙය ආර්ථිකමය වශයෙන් මෙන්ම ජීවිත ආරක්ෂාව අතින්ද සෘජුව බලපායි.
නියාමන නීති හඳුන්වා දීමට පෙර රාජ්‍ය ආයතන සතුව ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කර තිබිය යුතුය. එසේ නොවුවහොත් පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ගෙන එන නීති කඩදාසියට පමණක් සීමා වූ නියාමන බවට පත්වීම වැළැක්විය නොහැක.



