ජපානයේ නිල ආරක්ෂක සහාය (Official Security Assistance - OSA) වැඩසටහන යටතේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාවට ජපන් යෙන් බිලියන 1ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.08ක) ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ.
මෙම ප්‍රදානයට අදාළ ගිවිසුම් හුවමාරු පත්‍රයට (Exchange of Notes) අත්සන් කිරීම අද (10) කොළඹදී සිදුවිය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යප්පෙරුම සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අයිසෝමාටා අකියෝ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

නාවික හමුදාවට නවීන බෝට්ටු 25ක්
මෙම ප්‍රදානය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට දෘඩ බඳ සහිත පිම්බෙන බෝට්ටු (Rigid Hull Inflatable Boats - RHIB) 25ක් ලබාදීමට නියමිතය.
මුහුදුබඩ ආරක්ෂාව තහවුරු කිරීම, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා මෙම බෝට්ටු භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂාව ශක්තිමත් කිරීම තුළින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීමටද මෙම සහාය ඉවහල් වනු ඇත.
විශේෂයෙන් ත්‍රස්තවාදය, මුහුදු කොල්ලකෑම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
දෙරටේ දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ප්‍රදානය ඉවහල් වන බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට පෙර, 2025 වසරේදීද ජපානයේ OSA වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලැබී තිබුණි. එම ප්‍රදානය යටතේද නාවික හමුදාවේ ධාරිතාව වැඩිදියුණු කිරීමට උපකරණ ලබාදී තිබේ.
2026 වසරේ ලැබෙන මෙම නව ප්‍රදානය එම සහයෝගීතාවයේ තවත් ඉදිරි පියවරක් ලෙස සැලකෙන අතර, මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂාව මෙන්ම ආර්ථික ආරක්ෂාවද තහවුරු වන බව බලධාරීහු පවසති.
(සටහන | ජේ. මුණසිංහ)



