නවසීලන්තයේ විශාලතම වාණිජ නගරය වන ඕක්ලන්ඩ් හි වීදි, මාර්ග සංඥා පුවරු සහ මහාමාර්ගයේ නවතා ඇති මෝටර් රථ පවා වසා ගනිමින් දැවැන්ත මී මැසි රංචු සැරිසරන්නට පටන් ගෙන තිබේ.
නගර මධ්‍යයේ දෛනික රාජකාරිවල නිරත ජනතාව නොසිතූ මොහොතක මුහුණ දුන් මෙම අමුතු අත්දැකීමත් සමඟ, නගරයේ මීමැසි පාලකයන් වෙත ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
සුපුරුදු නොවන ශීත සෘතුවක අනපේක්ෂිත ප්‍රතිඵලය
පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවර නවසීලන්තය පුරා අත්විඳින්නට ලැබුණු අසාමාන්‍ය මෘදු හා උණුසුම් ශීත කාලගුණය මෙම දැවැන්ත ගහන වර්ධනයට මූලික හේතුව වී ඇති බවයි.
සාමාන්‍යයෙන් දැඩි ශීතල පවතින කාලවලදී මීමැස්සන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්ම බිත්තර දැමීම සීමා වුවද, මෙවර ශීතල අවම වීම සහ මල් ඉක්මනින් පිපීම නිසා උන්ගේ බෝවීම කිසිදු බාධාවකින් තොරව සිදුවී තිබේ.
නගර මධ්‍යයේ තැනින් තැන ලැගුම් ගන්නා රංචු
ජනාකීර්ණ නගරයේ කාර්යාල ගොඩනැගිලි බිත්ති, පදික වේදිකා සහ රථවාහන මත දහස් ගණනින් මී මැස්සන් එක්රොක් වී විශාල පොදි ආකාරයෙන් එල්ලී සිටින අයුරු දක්නට ලැබේ.
දිනකට මෙවැනි මී මැසි රංචු ආරක්ෂිතව ඉවත් කරදෙන ලෙස ඉල්ලා ජනතාවගෙන් ලැබෙන හදිසි ඇමතුම් සංඛ්‍යාව 5 සිට 10 දක්වා ඉහළ ගොස් ඇති බව ඕක්ලන්ඩ් මීමැසි පාලකයන්ගේ සංගමය (Auckland Beekeepers Association) තහවුරු කරයි.
පලවා හරින්න කලබල නොවී ඉවසන්නැයි ඉල්ලීමක්
මෙලෙස නගරය පුරා විසිරී සිටින මී මැස්සන් මිනිසුන්ට පහර දීමට හෝ හානි කිරීමට පැමිණි පිරිසක් නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
පැරණි ජනපදය තුළ ඉඩකඩ මදිවීම නිසා නව රැජිනක සමඟ අලුත් වාසස්ථානයක් සොයා පියාසර කරන අතරමඟ, විවේක ගැනීම සඳහා උන් මෙලෙස තාවකාලිකව තැන්පත් වන බව පැහැදිලි කෙරේ.
උන්ට ගිනි තැබීමෙන් හෝ කෘමිනාශක ඉසීමෙන් වළකින ලෙසත්, මී මැස්සන්ට හානියක් නොවන සේ ආරක්ෂිතව ඉවත් කරගැනීමට පළපුරුදු මීමැසි පාලකයෙකුගේ සහය ලබාගන්නා ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
The Guardian වාර්තාව:
Auckland hit by swarms of bees after milder than usual New Zealand winter



