බලාපොරොත්තු නොවන බවට මහජන උපයෝගීතා කොමිසම අද (ඔක්තෝම්බර් 14 වැනිදා) පැවති විදුලි ගාස්තු නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදී.
ඒ අනුව වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් පැවසුවේ ය.
මෙම වසරේ ජනවාරි 17 වන දින සිට 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.
ඉන්පසු ජූනි 11 වන දින 15%ක ගාස්තු වැඩි වීමක් නිවේදනය කළ අතර, එය ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වලංගු බවට නිවේදනයේ සඳහන්ව තිබිණි.
එලෙස තිබියදී නැවත වතාවක් මෙලෙස විදුලි ගාස්තු සංශෝධනයක් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණේ විදුලි ගාස්තු ඉහළ දමා මාස 4ක පමණ කාලයක් ගත වන විට ය.
සාමාන්‍යයෙන් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ මාස හයකට වරකි. මාස හයකට වරක් විදුලි ගාස්තු සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කර මහජන උපයෝගීතා කොමිසම විසින් මහජන උපදේශන වැඩසටහන් සිදු කරනු ලබයි. ඉන්පසුව සියලු පාර්ශවයන්ගේ අදහස් සලකා බලා අවසන් විදුලි ගාස්තුව තීරණය කර නිවේදනය කිරීම සිදු කරන්නේ මහජන උපයෝගීතා කොමිසම විසින් ය.
විදුලි බිල වෙනස් නොකළේ ඇයි?
ලංකා විදුලි බල මණ්ඩලය විසින් අගෝස්තු 24 වෙනිදා 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා වන යෝජනාවක් අනුමැතිය ලබා ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබේ.
ඉන්පසුව ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන වැඩසටහන් සැප්තැම්බර් 08 වන දින ආරම්භ කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් විදුලි ගාස්තු සංශෝධනය නොවන බවට පවසමින් ප්‍රකාශ කළේ මෙම තීරණය සමස්ත ආර්ථිකය හා බැඳුණු තීරණයක් බවට ය.
"විදුලි බල මණ්ඩලය 6.8%ක ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා සිටිනු ලැබුවා. විදුලි ගාස්තු සම්බන්ධ තීරණය ඉතාමත් සංකීර්ණ ඉතාමත් වැදගත් තීරණයක්. ඒක එක ආයතනයක ලාභ සහ පාඩු තීරණය කරන තීරණයකට වඩා සමස්ත ආර්ථිකය හා බැඳුනු තීරණයක්," ඔහු පැවසුවේ ය.
"අපනයන කර්මාන්තයේ තරගකාරීත්වයට මොකද වෙන්නේ, සුළු හා මධ්‍යම පරිමාන කර්මාන්තවල පැවැත්මට මොකද වෙන්නේ, මහජනතාවගේ ජීවන තත්ත්වය මේ සියල්ල හා බැඳුණු තීරණයක් තමයි විදුලි ගාස්තු සම්බන්ධ තීරණය."
මහාචාර්යවරයා පැවසුවේ එය මහජන උපයෝගීතා කොමිසමේ ඒකමතික තීරණයක් බව ය.
"ඒ අනුව විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා සිට තිබුණු 6.8% විදුලි ගාස්තුව වැඩි නොකිරීමට අපි ඒකමතික ව තීරණයක් ගනු ලැබුවා."
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන ආකාරයට "2025 අවසන් කාර්තුව සදහා ලංවිම විසින් ඉදිරිපත් කළ විදුලි ජනනය හා බෙදාහැරීමට අදාළ වියදම් වලින් අකාර්යක්ෂම වියදම් කපා හැරීමට කොමිෂන් සභාව තිරණය කර" තිබේ.
2025 මුල් කාර්තුවේදී ලංවිම රු. මිලියන 22,875ක ලාභයක් ලබා ඇති අතර ඉදිරියේදී විදුලි ගාස්තු ස්ථාවරව තබාගැනීම සදහා එම අතිරික්තයෙන් 1/3ක් පමණක්(රු මි. 8,487) 2025 අවසන් කාර්තුව සදහා ගැලපීමටද, ඉතිරි 2/3ක ආදායම් අතිරික්තය (රු.මි. 16,975) 2026 මුල් කාර්තුව සදහා වන විදුලි ගාස්තු සංශෝධනයේදී ගැලපීමටත් කොමිෂන් සභාව මෙහිදී තීරණය කර තිබේ.
මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බලයට කොන්දේසි
විදුලි ජනනය සදහා තරගකාරී මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගැනීමට ලංවිම ක්‍රියාකල යුතු බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මීට පෙර ලංවිමට කොන්දේසි පැනවීය.
| බීබීසී සිංහල




