අන්තර් ජාලයෙ සැරිසරද්දි දැනට මාසෙකට එකහමාරකට විතර කලින් ඉතා වටිනා වීඩියෝවක් නරඹන්න අවස්ථාව ලැබුණ. ඒක නම් කරල තිබුණෙ ‘‘සන්නාට රංග දසනායක සහ හර්ෂ බුලත්සිංහල සම්මුඛ වීම’’ කියල.
මං අන්තර්ජාලෙ තියෙන කිසිම YouTube චැනල් එකක් පස්සෙ හඹාගෙන ගිහින් බලන්නෙ නෑ. හැබැයි මොකක් හරි වුවමනාවකට අන්තර්ජාලෙ සැරිසරද්දි ‘ආ.. මේක නං බලන්න ඕන’ කියල හිතෙන විඩියෝවක් තිබුනොත් ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලනව. ඔන්න ඔය විදියට තමයි මං මේ විඩියෝවත් බැලුවෙ. මේ ලිපියෙ මුඛ්‍ය අරමුණ ඒ වීඩියෝව ගැන ලියන්න නොවුනත් ලිපිය ලියන්න අදහස හිතට එන්න බලපෑවෙ මේ වීඩියෝව නිසා ඒ ගැනත් කෙටියෙන් හරි යමක් ලියන්න ඕන.
ඉස්සෙල්ල ම කියන්න ඕන ඒ වීඩියෝව ඉතාම වටින වීඩියෝවක් බව. මොකද ඒ වීඩියෝවෙ සාකච්ඡා කරන්නෙ අපි හුඟක් දෙනෙක් නොදැන හිටපු වගේ ම ඒ තරම් අවධානය යොමු නොකරපු විෂය පථයක් ගැන. ඒ කියන්නෙ බුද්ධිමය දේපළ අයිතිය (Intellectual Property Rights) පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබෙන විඩියෝවක්. හැබැයි මේ වීඩියෝවෙ දි වැඩිපුර ම සාකච්ඡා වුණේ ගීතයක අයිතිය සම්බන්ධයෙන්. එතනදිත් වැඩිපුර ම කතා කරේ: පද රචනය, තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය (ඇතැම් ගීතයක තනුව සහ සංගීතය එක් පුද්ගලයෙකුගෙ වෙන අතර සමහර වෙලාවට දෙන්නෙකුගෙත් වෙන්න පුළුවන්) යන අංශ තුන සම්බන්ධයෙන් විතරයි. ගීතය ගයන ගායකයා හෝ ගායිකාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙලා තිබුණෙ නැහැ වගේ තමයි මට දැනුණෙ. ඒ කොහොම වුණත් ඒ විඩියෝව නොබලපු අය ඉන්නව නම් https://youtu.be/nAWvt9lXqj4 ලින්ක් එකට ගිහින් ඒක බලන්න කියල ආරාධනා කරන අතර ම මට ලියන්න වුවමනා දේ ලියන්න පටන් ගන්නම්.
මම වැඩිපුර ම නියැළෙන්නෙ ලේඛන කටයුත්තෙ නිසා ශ්‍රී ලංකාවෙ ලේඛක ලේඛයො සහ ප්‍රකාශන ආයතන අතර පවතින, නමුත් මේ දෙපාර්ශ්වය ම වැඩිපුර අවධානය යොමු නොකරන කරුණු කිහිපයක් පිළිබඳ ලියන්නයි මේ සූදානම් වෙන්නෙ. මෙතනදි මේ දෙපාර්ශවයෙන් ම වගකීම් සහ යුතුකම් ඉටු වෙන්න තියෙනව. නමුත් ලංකාවෙ ඉන්න මේ දෙපාර්ශවයෙ ම ඇතැම් අය (සියලු දෙනා ම නෙවෙයි) මේ වගකීම් සහ යුතුකම් ගැන පයිසෙකට මායිං කරන්නෙ නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වෙ.
ලේඛක, ලේඛිකා භුමිකාව
ලංකාවෙ වගේ ම ලෝකෙ වෙනත් රටවලත් ප්‍රකාශන ආයතනයකට තමන් ලියපු කෘතියක් බාර දෙන ලේඛක ලේඛිකාවො වගේ ම තමන් ම තමන්ගෙ කෘති ප්‍රකාශයට පත්කරපු සහ පත්කරන (කර්තෘ ප්‍රකාශන - Author Publications) අවස්ථා තියෙනව. ඒ දෙකෙන් මං ලියන්න යන්නෙ පළමු පිරිස පිළිබදව. ඒ කියන්නෙ ප්‍රකාශන සමාගමක් වෙත තමන්ගෙ කෘතිය බාරදෙන ලේඛක ලේඛිකාවො ගැන. ඇත්තට ම එබඳු ලේඛකයෙකුගෙ හරි ලේඛිකාවකගෙ හරි වගකීම් සහ යුතුකම් මොනව ද (මේ මට හැඟෙන විදිය. මීට වඩා වෙනස් වැඩපිළිවෙළක් තියෙනව නම් යෝජනා කරන්න පුළුවන්) කියල බලමු.
මට නම් හිතෙන්නෙ ලේඛකයෙකුගෙ හරි ලේඛිකාවකගෙ හරි ප්‍රධාන ම වැඩේ වෙන්න ඕන යම් කෘතියක් ලියන එක. දෙවනුව කළ යුත්තේ ඒ කෘතිය ප්‍රකාශනය කිරීම ඔහුට හෝ ඇයට අපහසු නම්, ඒ කියන්නෙ පොත ප්‍රකාශනයට පත්කරන්න මුදල් නැත්නම් (ලිවීමෙන් පසු පොත වෙළඳ පොළට නිකුත් කර, ඊට අදාළ ප්‍රචාරක කටයුතු කිරීම දක්වා) ප්‍රකාශන ආයතනයක් වෙත තමන්ගෙ අත් පිටපත (ඉස්සර ‘අත් පිටපත’ කියන්නෙ අතින් ලියපු පිටපත. මේ වෙද්දි ඒක පරිගණක අකුරු ඇමුණූ (Type Setting) පිටපත දක්වා පැමිණ තිබෙණවා) බාරදීම. එතනින් එහාට තියෙන එක ම වගකීම තමයි පොත මුද්‍රණයට යන්න ඉස්සරවෙලා එක වතාවක් හෝ එහි වැරැදි නිවැරැදිතාව තහවුරු කිරීම. මම මේ කියන්නෙ සෝදු පත් කියවීම ම නෙවෙයි. ප්‍රකාශන ආයතනයෙන් සෝදුපත් කියෙව්වටත් පස්සෙ නැවත වතාවක් ලේඛකයා හෝ ලේඛිකාව එහි වැරැදි නිවැරැදිතාව තහවුරු කිරීම. හැබැයි අපේ සමහර ලේඛක ලේඛිකාවො ඉන්නව පොතේ අත් පිටපත් ප්‍රකාශන ආයතනයකට බාර දුන්නට පස්සෙ ඒ ගැන කිසිම දෙයක් නොසොයන. ඒ අය කරන්නෙ අත් පිටපත බාර දීල තමන්ට හිමි පොත් දහය ලැබෙනකන් බලාගෙන ඉන්න එක විතරයි. ඒක එයාල ම ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදි පවා කියන අවස්ථා මම දැකල තියෙනවා. සමහර විට මේ ලිපිය කියවන ඔයාලත් දැකල ඇති. අන්න එතනදි ඔහු හෝ ඇය කරන්නෙ ‘‘යුතුකම්’’ පැහැර හැරීමක්. හැබැයි ඉතිං යුතුකම් පැහැර හැරිය කියල මහා ලොකු විරුද්ධත්වයක් පාන්නත් බැහැනෙ. ඒ නිසා දිගින් දිගට ම මේ දේවල් මේ විදියට ම සිද්ධ වෙනව.
ඊළඟට මට හිතෙනව පොතේ කවරෙ ගැනත් ලේඛකයා හෝ ලේඛිකාව උනන්දු වෙනව නම් හොඳයි කියල. ඒකත් ඔහුට හෝ ඇයට පැවරෙන ‘‘වගකීමක්’’ ම නෙවෙයි. ඒ නිසා අර මං කලින් සඳහන් කරපු ලේඛක ලේඛිකාවො පොතේ කවරය ගැන හොයන්නෙත් නෑ. නමුත් මගේ පුද්ගලික අදහස නම් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තමන්ගෙ කෘතියක් ප්‍රකාශන ආයතනයකට බාර දිල ඒක ප්‍රකාශයට පත්වෙන කාලෙ ඇතුළත මේ කියපු ‘‘යුතුකම්’’ දෙකත් යුතුකම් නෙවෙයි ‘‘වගකීමක්’’ විදියට බාර අරගෙන කටයුතු කරන්න ඕන කියල. එහෙම වුනොත් තමයි පාඨක ප්‍රජාව අතට අංග සම්පූර්ණ කෘතියක් ලැබෙන්නෙ. හැබැයි ලංකාවෙ මේ ක්‍රියාදාමෙ මෙහෙම ම වෙන්නෙ නෑ. ඒක තමයි ප්‍රකාශන ක්ෂේත්‍රයෙ තියෙන ලොකු ම දුර්වලතාව.
ප්‍රකාශන භූමිකාව
යම් ලේඛකයෙකුගෙ හරි ලේඛිකාවකගෙ හරි කෘතියක අත් පිටපත බාරගත්තු මොහොතෙ ඉඳල ඒක මුද්‍රිත කෘතියක් විදියට වෙළඳ පොළට නිකුත් කිරීම සහ ඊට අදාළ ප්‍රචාරක කටයුතු යනාදි සියල්ලේ වගකීම පැවරිලා තියෙන්නෙ ප්‍රකාශන ආයතනයට. මොකද ඇත්ත ම තත්ත්වය නම් කෘතිය අලෙවි කිරීමෙන් ලැබෙන ලාබයෙන් ලේඛකයට හරි ලේඛිකාවට හරි ලැබෙන කොටසට වඩා වැඩි කොටසක් ලැබෙන්නෙ ප්‍රකාශන ආයතනයට. ඒක එහෙම නෙවෙයි කියල ඔළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ. ප්‍රකාශන ආයතන පවත්වාගෙන යන්නෙ ලාබයක් ලබන නිසා නෙ.
දැන් අපි බලමු ලංකාවෙ පොත් ප්‍රකාශනය පත් කෙරෙන විදිය. මෙතන දි බොහෝ ප්‍රකාශන ආයතන ‘‘ප්‍රකාශන කාර්ය’’ සම්පුර්ණයෙන් ම බාර අරගෙන කටයුතු කරාට ඇතැම් ප්‍රකාශන ආයතන එහෙම නෑ. ලංකාවෙ ප්‍රසිද්ධ ම ප්‍රකාශන ආයතන තුළත් ලේඛක ලේඛිකාවන්ට අසාධාරණ සිද්ධ වෙනව. මෙතනදි වඩාත් පීඩනයට පත්වෙන්නෙ ‘‘ආධුනික’’ කියල නම් කරපු ලේඛක ලේඛිකාවො සහ කෙටිකතා පොතක්, කවි පොතක්, පර්යේෂණ කෘතියක් හරි විචාර කෘතියක් හරි ලියපු ලේඛක ලේඛිකාවො. ඒ අතරිනුත් කවි පොතක් හරි කෙටිකතා පොතක් හරි ලියපු ලේඛිකාව හරි ලේඛකය හරි පුදුම විදියට අසරණයි.
මං ආයෙත් ලියන්නෙ මගේ මේ ලිපියෙ සියලු කරුණු සාපේක්ෂයි; මං ගේන විවේචනය සියලු දෙනාට ම අදාළ නෑ. මොකද සමහර ආයතන තියෙනව නිසියාකාරයෙන් වැඩ කරන. ඒ වගේ ම සමහර ප්‍රසිද්ධ ආයතන පවා ලේඛක ලේඛිකාවො පීඩනයට පත්වෙන ආකාරයේ වැඩ කරනව. ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ වගේ ම ප්‍රකාශන ආයතනයේ නම් සඳහන් නොකර මං ඒකට උදාහරණ දෙකක් විතරක් ලියන්නං.
01. ලංකාවෙ හිටපු ප්‍රසිද්ධ: වේදිකා. සිනමා සහ ටෙලි නළුවෙක් (දැන් ඔහු ජීවතුන් අතර නැහැ) තමන්ගෙ ජීවන අත්දැකිම් පිළිබද ලියපු කෘති දෙකක් 2004 අවුරුද්දෙ මම එක්තරා ප්‍රදර්ශනයකින් මිලදි ගත්තෙ එකක් රුපියල් පනහ ගාණෙ. එක පොතක මිල රුපියල් 150යි. ප්‍රකාශයට පත්කරල තිබුණෙ 1996 අවුරුද්දෙ. පොත් දෙක ම කියවල මං අර නළුවට කතා කරා පොත ගැන මගේ අදහස කියන්න. එතකොට දැන් වගේ මට ලියන්න තැනක් තිබුණෙ ම නෑ. ඒ නිසා තමයි මේ විදියට ලේඛක ලේඛිකාවන්ට කතා කරල මගේ අදහස කියන්නෙ. මේ කියන දවස්වල Facebook එක තිබුණෙත් නෑ. ඉතිං මේ ලේඛකයට මං පොත ගත්තු විදිය යි පොතේ රසය යි දෙක ම කිව්ව. ඒ අද්විතීය නළුව ඉතාම කනගාටුවෙන් මට කිව්වෙ හරි පුදුම කතාවක්.
එයා කිව්වෙ ඒ ආයතනය මුද්‍රණය කරනව කිව්වෙ පොත් දාහ ගානෙ වුනාට ඊට වැඩිය මුද්‍රණය කරපු බව එයාට දැනගන්න ලැබුණ කියල. මොකද පොත මුද්‍රණය කරපු දවස්වල ම එයා දන්න හඳුනන අයටත් සැහෙන පොත් ප්‍රමාණයක් වික්කලු, ලංකාවෙ ම පුස්තකාලවලටත් ඒ පොත ගත්තලු. ඉතිං මෙච්චර කාලයක් යනතුරු මෙච්චර පොත් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන් ද කියල එයා අහනව. ඒ වගේ ම අදාළ ආයතනය මේ ලේඛකයට, නළුවට එදා මම එයාට කතා කරන කාලෙ වෙද්දිත් කීයක්වත් ම දීල තිබුණෙ නෑ.
02. මං මේ කියන සිද්ධිය මං දැනගත්තු විදිය ඉස්සසෙල්ලම පැහැදිලි කරන්නම්. 2011 අවුරුද්දෙ කොළඹ මහජන පුස්තකාලෙ තිබුණු පොත් ප්‍රදර්ශනයකින් මං රංගවේදය පිළිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් පුද්ගලයෙකුගෙ කෘතියක් 90% වට්ටමකට මිලදී ගන්නව. ඒ කියන්නෙ පොතේ මිල රුපියල් 350යි. මං ගත්තෙ රුපියල් 35ට. මේ පොත ප්‍රකාශයට පත්කරල තිබුනෙ 2008 වසරෙ. මේ සිද්දධිය වෙන කාලෙදිත්, දැනුත් මේ ලේඛකය ජීවත්වෙන්නෙ වෙනත් රටක. පොත කියවපු මම Facebook එකේ කරක්ගහල කරක්ගහල මේ ලේඛකයව හොයාගෙන එයාට ස්තුති කරල පොත ගත්තු විදිය යි ගත්තු මිල යි කියනව. ඊට පස්සෙ එයා මට දීර්ඝ විස්තරයක් කියනව.
ඒ පර්යේෂණ කෘතිය ප්‍රකාශනය කරන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ ම ප්‍රකාශන ආයතනයක්. හැබැයි මේ කෘතිය ප්‍රකාශනයට වැය වෙන සියලු ම මුදල් කතුවරය ප්‍රකාශන ආයතනේට දෙනව. පොත ජනගත කරන උත්සවේටත් (උත්සවය පවත්වල තියෙන්නෙ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙ) වියදං කරනව. ප්‍රකාශන ආයතනය ලේඛකයට කියන්නෙ මුද්‍රණය කරේ පොත් 500යි කියල. හැබැයි ලේඛකය කියනව පොත ජනගත කරන දවසෙ ම පොත් තුන්සීයකට වඩා අළෙවි වුණු බව එයා දන්නව කියල. මම පොත ගන්නෙ ප්‍රකාශනයට පත් කරල අවුරුදු තුනකට පස්සෙ. මං පොත ගන්න වෙලාවෙ එතන ම පොත් තුන්හාරසියක් තිබුණ.
කවර නිරමාණය
පොත් ප්‍රකාශනය කියන්නෙ කර්මාන්තයක් නෙ. ඒක ලාබ ද අලාබ ද කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕන. එහෙම නම් මේ පොත් ප්‍රකාශනය කියන කර්මාන්තයෙන් නිකුත් කරන අලෙවි භාණ්ඩයට මිලක් නියම කරද්දි ඒකෙ මිල නියම කරන්නෙ අදාළ භාණ්ඩෙට වියදම් වෙච්ච මුදලයි, බෙදාහරින්නට හරි සිල්ලර වෙළෙන්දට හරි දෙන කොමිස් මුදලයි, අදාල ආයතනයෙ ලාබෙයි එකතු කරලනෙ. ඒ නිසා නෙ ලංකාවෙ පොත් මිල කිරීමේ සුත්‍රයක් තියෙන්නෙ. ඒ කියන්නෙ වියදම තුනෙන් වැඩි කරල මිල නියම කරන්නෙ. එහෙම නම් පොත කියන භාණ්ඩෙ නිෂ්පාදනය කරද්දි ඒකට අවශ්‍ය අනෙක් සියලු දේවල් වෙනුවෙන් ඒ ඒ අංශවලට අදාළ ගෙවීම් කරන්න ම ඕන නෙ. ඒ කියන්නෙ පොතක් මුද්‍රණය කරන කාල වකවානුවෙ වෙළඳ පොළේ පවතින කඩදාසි මිලේ ඉඳල අනෙක් සියල්ල ම ගෙවන්න ඕන නෙ. එහෙම ගෙවන බහුතරයක් ප්‍රකාශකයො පොත් කවරෙට මුදලක් වියදම් කරන්න ලෝබයි. ඇයි එහෙම වෙන්නෙ...? පොතේ මිල නියම කරන්නෙ සියලු වියදම් එකතු කරල නම්: එතන දි පරිගණක අකුරු ඇමුණුම (Type Setting), පිටු සැලසුම කියන හැම දේකට ම නිර්ලෝභිව (සමහර ප්‍රකාශන ආයතන නම් ඒවටත් ලෝබයි) ගෙවනව නම් ඇයි කවර නිර්මාණ ශිල්පියට ඔහුගේ හෝ ඇගේ බුද්ධිමය වටිනාකම වගේ ම නිර්මාණශිලි වටිනාකම නොගෙවන්නෙ? අපි දන්නව ඉතා කලාතුරකින් ආයතනයක් දෙකක් තියෙනව කවරය නිර්මාණය කරන පුද්ගලයට සාධාරණ මුදලක් ගෙවන. නමුත් ඒ අතළොස්සයි. සමහර ආයතන කවරෙට වියදම් කරන්නෙ මෙච්චරයි කියල ඒ අය මිලක් නියම කරගෙන ඉන්නව. ඒක කවරෙකට රුපියල් දාහක් තරම් අඩු මුදලක්. ඒ මුදලට කවර කරන කෙනෙකුට විතරයි කවර දෙන්න. හැබැයි ඒව ‘‘පොත් කරවර ද?’’ කියන ප්‍රශ්නෙ ඉතුරු වෙනව. සමහර අවස්ථාවල ගෙවන්නෙ ඊටත් අඩුවෙන්. මේක ඛේදවාචකයක් නෙවෙයිද? ඒ එක්ක ම අමතක කරන්න බෑ සමහර ආයතන තියෙනව කවරෙකට විතරක් රුපියල් විසිපන් දහසක් ගෙවන. හැබැයි එබඳු ආයතන ප්‍රකාශයට පත්කරන පොත් ටිකක් මිල වැඩි වෙන්න පුළුවන්. එහෙම වුනත් ඒ ආයතන ගැන අපි සතුටු වෙන්න ඕන.
අපි අත් පිටපත් තරගයකට හුඟක් වෙලාවට තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරන්නෙ ‘‘ආධුනික’’ කියල හඳුන්වන ලේඛක ලේඛිකාවො. මේ විදියට අත් පිටපත් තරග පවත්වන ඇතැම් ප්‍රකාශන ආයතන ඉතාම නිර්ලජ්ජිත විදියට මේ අසරණ ලේඛක ලේඛිකාවො සුරා කනව. හැබැයි එහෙම සූරා කෑමට ලක්වෙන ලේඛක ලේඛිකාවොත් මං මෙහෙම ලියනවට අකමැති ඇති. ඇයි...? එයාල හිතන්නෙ ‘අනේ අපේ නිර්මාණයක් සමාජගතවෙනව නෙ’ කියල. ඒ අයගෙ පැත්තෙන් බැලුවම ඒකත් ඇත්ත. මොකද වෙනත් කිසිම ආයතනයක් සාහිත්‍ය ක්ෂේත්‍රයට අනග්‍රහය දක්වන්නෙ නැහැනෙ. හැම චැනල් එකක් ම අනුග්‍රහය දක්වන්නෙ ගායන තරග, නැටුම් තරග වගේ ම තවත් ඔය එක එක ජාතියෙ තරගවලට නෙ. ඒ ආයතන අනුග්‍රහයෙන් සාහිත්‍ය තරගත් පවත්වනව නම් මේ ලේඛක ලේඛිකාවො මේ තරම් අසරණ වෙන්නෙ නෑ.
ලේඛක ලේඛිකාවො අසරණ වෙන්නෙ කොහාම ද කියල මේ ලිපිය කියවන ඔයාලට හිතෙන්න පුළුවන්. විශේෂ ස්ථානයක් නොලැබුණත් මේ වගේ අත්පිටපත් තරගයකින් අවම වශයෙන් ‘‘මුද්‍රණයට සුදුසුයි’’ කියන ස්ථානය හරි ලැබුණොත් එතන ඉඳල හුඟක් වෙලාවට පොතේ පිටු සැලසුමට, කවරයට, සෝදු පත් කියවන්න යනාදි හැම දේකට ම වියදම් කරන්න වෙන්නෙ මේ ලේඛක ලේඛිකාවන්ට ම යි. තවත් සමහර වෙලාවට කතුවරයගේ අනුමැතිය ඇතුව ඒ ඒ ආයතන ම ඔවුන්ගෙ කවර නිර්මාණ ශිල්පියෙක්ට කියල කවරෙ නිර්මාණය කරනව. එහෙමත් නැතිනම් කතුවරය හෝ කතුවරය කැමති පිංතුරයක් භාවිත කරල කවරෙ හදනව. නියම ‘‘කවරයක්’’ පිටතින් කරවගන්නව නම් ඒ වියදම දරන්න ඕන කතුවරය හෝ කතුවරිය. මේ අයත් ඒ හැම කටයුත්තක් ම තමන්ගෙ වියදමෙන් අදාළ ප්‍රකාශන ආයතනයට කරල දෙන්නෙ තමන්ගෙ නිර්මාණය සමාජ ගතකරන්න තියෙන කැමැත්ත නිසා. හරි එහෙමත් කරා කියමුකො. ඒ විදියට නිර්දේශ වුණ පොත් පිටපත් කීය ද මුද්‍රණය වෙන්නෙ. උපරිම පිටපත් 250යි. මෙතන දි කතුවරයට හරි කතුවරියට හරි කර්තෘ භාගෙට අදාල මුදල ලැබෙනව ද? ඇත්තට ම නෑ. කර්තෘ භාගෙ විදියට ලැබෙන්නෙත් පොත් ටිකක්. ඒකත් මෙහෙම යි.
අපි හිතමු එක පොතක මිල රුපියල් 250යි කියල. එතකොට එක පොතකින් රුපියල් 25යි. මුද්‍රණය කරේ පිටපත් 250යි නම් කර්තෘ භාගෙ වටිනාකම රුපියල් 6250යි. ඇත්තට ම මේක මුදල්වලින් ගෙවනව නම් කතුවරයට හරි කතුවරියට හරි අඩුම ගානෙ කවරෙටයි Tipe Setting වලටයි පිටු සැලසුමටයි වියදම් වුණ මුදලෙන් කොටසක් හරි පියවන්න පුළුවන්නෙ. ඒ වුනාට ලැබෙන්නෙ සල්ලි නෙවෙයි නෙ; පොත් නෙ. ඒක ලැබෙන්නෙත් මෙහෙම යි.
පොතේ මිල 250 නම් ඒ මුලෙන් 40%ක් අඩු කරා ම එක පොතක වටිනාකම වෙන්නෙ රුපියල් 150යි. දැන් ප්‍රකාශන ආයතනය මොක ද කරන්නෙ...? කතුවරයට හෝ කතුවරියට දෙන්න තියෙන 6250 150න් බෙදනව. එතකොට උත්තරේ කිය ද? උත්තරේ එන්නෙ 41යි දශම ගාණක්. එතකොට කතුවරයට හෝ කතුවරියට පොත් ලැබෙන්නෙ 41යි හෝ උපරිම පොත් හතළිස් පහයි. කතුවරයට දෙන පොත් දහයත් එක්ක ම ගත්තොත් උපරිම පොත් 55යි. පොත් 55ම කිසිම කෙනෙක් විකුණන්නෙ නෑ. කතුවරයගේ හෝ කතුවරියගෙ ළඟම ඥාතින්ට, මිතුරු මිතුරියන්ට වගේ ම පත්තරේකට දෙන්නෙත් අර පොත් දහයෙන්. ඒ නිසා කතුවරයට හෝ කතුවරියට ඉතුරු වෙන්නෙ අර කලින් සඳහන් කරපු පොත් (උපරිම) 45යි. මේ පොත් 45 විකුණුම් වටිනාකම 11250යි. ඒ මුදලෙන් 40% අඩු කරාම ලැබෙන වටිනාකම 6750යි. ඔයාල හිතනව ද මේ කතුවරයට හෝ කතුවරියට මේ පොත් 250 ඉක්මනින් ම අලෙවි කරල මේ මුදල හොයන්න පුළුවන් කියල. ඇත්තට ම බෑ. මොකද එයාල පොත් වෙළෙන්දො නෙවෙයි. එයාලට මේ පොත් අරගෙන අලෙවි කරන්න ක්‍රමයක් නෑ. ඔන්න රාජ්‍ය අනුග්‍රහයෙන් අවම වශයෙන් එහෙම තේරෙන පොත්වලින් පිටපත් ප්‍රමාණයක් ගන්න වැඩ පිළිවෙළක් තිබුණ නම් ටිකක් හරි සහනයක් වෙනව. අවසානෙ දි ලේඛකයට ඉතුරු වෙන්නෙ ‘‘මගේ පොතක් ප්‍රාශයට පත්වුණා නෙ’’ කියන මානසික තෘප්තිය විතරයි. ඔහුට හෝ ඇයට ඒ තෘප්තිය හිමිවෙද්දි අදාළ ප්‍රකාශන ආයතන තමන් ළඟ තියෙන පොත් ටික වෙනත් උපක්‍රම මගින් (මවිසින් ලියා ඇති ‘‘හොඳ පොත් අලෙවි කරන්නේ මෙහෙමයි’’ ලිපිය කියවන්න) අලෙවි කරගන්නව.
‘‘අතින් සල්ලි දිල හරක් බලනව’’ කියල කතාවක් අපි හැමෝ ම අහල තියෙනවනෙ. මේ ‘‘ආධුනික’’ කියල හඳුන්වන ලේඛ ලේඛිකාවොත් බොහෝ විට මුහුණ දෙන්නෙ මෙන්න මේ අත්දැකීමට. මෑතක ක්ෂේත්‍රයට ආපු අලුත් ප්‍රකාශන ආයතනවලින් ප්‍රකාශයට පත්කරපු හුඟක් කවි පොත් කෙටි කතා පොත් විතරක් නෙවෙයි නවකතා ප්‍රකාශ කරල තියෙන්නෙත් කතුවරයගෙ හරි කතුවරියගෙ මුදල් යොදවල. මහා පරිමාණයේ ප්‍රකාශන ආයතනවලත් මේ දේ සිද්ධ වෙනව නම් අලුත් ප්‍රකාශන ආයතන ගැන මොන කතා ද නේද? වැඩේ තියෙන්නෙ මේ ප්‍රකාශන ආයතන අතරින් සමහර ආයතන කතුවරයට හෝ කතුවරියට හිමි පොත් දහය හැර කිසිම මුදලක් ගෙවා නොතිබීම. ඒ අතින් බලද්දි එයාල ප්‍රකාශන ආයතනයෙන් ඉටු වෙන්න ඕන වගකීම් ඉටු කරල ම නැහැ නෙ නේද?
ප්‍රකාශන ආයතන මේ විදියට ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් ඉටු කරන්න ඕන වගකීම් ඉටු නොකරන අතර සමහර ලේඛක ලේඛිකාවො ඉන්නව ප්‍රකාශන ආයතනයෙ කනෙනුත් රිංගන. ඇත්තට ම ඒ අයට ල්ඛක ලේඛිකාවො කියන්න බෑ. එයාල සම්පූර්ණයෙන් ම කූට වෙළෙන්දො. මේ අය කරන්නෙ පොත සල්ලිවලට ම විකුණනව. ඒකත් ප්‍රකාශන ආයතනයට ලාබයි නේද කියල ඔයාල අහන්න පුළුවන්. ඔවු... ලාබයි තමයි. හැබැයි මේ ලේඛක ලේඛිකාවො තව සදාචාරාත්මක නොවෙන වැඩක් කරනව. ඒ තමයි එකම පොතේ පොඩි පොඩි වෙනස්කම් කරල ආයතන කිහිපයකට ම විකිණීම. විශ්වාස කරනව ද මෙහෙම ලේඛක ලේඛිකාවො අතර පාසල් ගුරුවරු විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, මාධ්‍යෙව්දියො, නිදහස් ලේඛකයො පවා ඉන්න බව. ඇත්තට ම ඉන්නව. එක් වතාවක් මට ප්‍රකාශන ආයතනයකින් එ වගේ කෙනෙක් ගැන කියල අහවල් පොත අහවල ප්‍රකාශන ආයතනයෙන් කරල තියෙනව ද බලන්න කියල කිව්ව. ඔවු... ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරය එක ම පොත ආයතන දෙකට විකුණල. මට කතා කරේ තුන්වන ආයතනයෙන්. එහෙම ලේඛක ලේඛිකාවන්ට කියන්න තියෙන්නෙ ‘කැතයි... එහෙම කරන්න එපා’’ කියල.
මේ ලිපිය කියවන කිසිම ලේඛකයෙක්, ලේඛිකාවක් හරි ප්‍රකාශන ආයතනයක් හරි මගෙත් එක්ක අමනාප වෙන්න එපා. මගේ ලිපියෙ මුඛ්‍ය අරමුණ වෙන්නෙ රංග දසනායකයි හර්ෂ බුලත් සිංහලයි මූලික වෙලා ආරම්භ කරල තියෙන ආයතනය (ඒ ආයතනය කටයුතු කරන්නෙ ගීත රචනා, තනු සහ සංගීත නිර්මාණ සඳහා විතරයි) වගේ ආයතනයක් ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි නේද කියන අදහස සමාජ ගතකරන්න. ඉතිං මේ ලිපිය කියවන අය මේ ඇත්ත කියවල මාත් එක්ක අමනාප වෙන්නෙ නැතුව නිවැරැදි යමක් කරන්න උත්සාහ කරමු. ඒක තමයි ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු ම උදව්ව.
ජයසිරි අලවත්ත
2021/11/06