වර්තමාන සිංහල වේදිකාවේ දිගු නාට්‍ය කලාව පිළිබඳව විද්වත්, සාධාරණ, අපක්ෂපාති විචාරයක් තවමත් සිදු නොවන බව මගේ නිරීක්ෂණයට

හසු වී තිබේ. එ’නිසා ඒ පිළිබඳ දීර්ඝව යමක් සාකච්ඡා කිරීමට මා පොළඹවා ගැනීම මගේ යුතුකමක් බව මට හැඟෙයි.

වර්තමාන සිංහල දිගු වේදිකා නාට්‍ය කලාව පිළිබඳව සාධාරණ අපක්ෂපාතී විනිශ්චයක් සිදු නොවීමට බලපාන විශේෂ හේතු කීපයක් ඉතා හොඳින් දකින්නට ඇති බව නො කියා ම බැරිය.

(01) එම නාට්‍යවල අධ්‍යක්ෂකවරු සහ නළු නිළියන් ඇතුළු අනෙක් පිරිස තමන්ගේ හිතමිතුරන් නිසා ඔවුන්ගේ හොඳ මිසක් අඩුපාඩුවක් පෙන්වා දීම නො හොබී යැයි සිතීම.

(02) තමා සමග යම් කිසිවෙකු අමනාප වෙතැ’යි සිතා ඒ ගැන කතා නො කිරීම.

(03) හිතවතුන් සමඟ ඉන් බොක්ස් අදහස් හුවමාරු කරගෙන එළිපිට නො කියා සිටීම. (එමඟින් කිසිවෙකු අමනාප නොවන නිසා )

 

image 2cc56405b2
(04) හිතවතුන්ට ‘‘හෝයියා’’ කියා හිතවත් නැති අය ගැන අංශුමාත්‍ර වශයෙන් හෝ කතා නොකර සිටීම.

(05) පෞරුෂවලට බියෙන් නිහඬ වීම.

(06) නාට්‍යයක් විචාරය කර ගැනීමට නො හැකි වීම.

(07) චන්ද්‍රසිරි බෝගමුව බඳු පුද්ගලයන්ගේ දූෂිත වැඩ පිළිවෙළ.

යන කරුණු කාරණා ඊට බලපාන බව මට ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත.

මේ දිනවල රංගගත වන වේදිකා නාට්‍ය අතර: මායාදැල, හරිම බඩු තුනක්, Mr. ප්‍රසිඩන්ට්, සෙක්කුව, මැටි කරත්තය, සඳුදා වැටෙන්න සිකුරාදාට, ඇප්‍රොඩයිට් මල්කොල්ලය, සෙල්ලම් ගෙදර දෙක, එයයි සහෝදරයා, සක්වළ රිය, හීන ආරන් පාරෙ හිටං, ගරු කටානායකතුමනි, රජා මං වහලා, ඉන්ද්‍රජාලික පෙම්වතිය, 2019 ජූලි මාසෙ දවසක්, සුපර්ණකා, මාරක ළිදේ සවාරියක්, කොටු, අයියා මලෝ, මං කෙළින් මිනිහෙක්, රෝමියෝ ජුලියට් යන වශයෙන් දිගු නාට්‍ය රැසක් වේදිකාගත වේ. ඉදිරියේ මංගල දර්ශනය පැවැත්වීමට නියමිත දිගු නාට්‍ය ප්‍රමාණය ද මීට දෙවැනි නැත.

 

රජා මං වහලා

මේ නාටක අතුරින් ඉතා විශිෂ්ටතම නාටකය වන්නේ චාලක රණසුරියගේ ‘‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’’ යන නාටකය යි. ඒ හැර යම් අහුපෑවතක් ඇති වේදිකා නාට්‍ය ඇත්තේ කිහිපයක් පමණි. ඒ, රාජිතගේ  ‘‘2019 ජුලි මාසයේ දවසක්’’ සහ අසංක සායක්කාරගේ ‘‘කොටු’’ යන වේදිකා නාට්‍ය දෙක පමණක් යැයි මට සිතේ. මඳක් පැරණි වුව ද, චාමික ගේ රජා මං වහලා යන අපූරු කෘතිය තවමත් ඉඳහිට ප්‍රදර්ශනය වීම මහඟු කාර්යය කි. Brother size, අපි අතර ඌ යන නාටක නරඹන්නට අවස්ථාවක් උදා නො වූයෙන් ඒ ගැන කතා කිරීමට බැරිවීම කනගාටුවට කරුණකි.

සායක්කාරගේ ‘‘කොටු’’ නාට්‍ය රංගගත වූයේ එක් වරක් පමණි. ඒ මංගල දර්ශනය පමණි. ‘‘2019 ජුලි මාසේ දවසක්’’ රාජිතගේ අපූරු කතා වින්‍යාසයක් සහිත අතිශය කාලීන දේශපාලන තේමාවක් රැගත්, ඉතා ඉහළ රංග කුසලතා පෙන්නුම් කරන නාටකයකි. එහෙත් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී එයට අත් වූයේ, අසාධාරණ ඛේදනීය ඉරණමකි.

 

2019 ජූලි මාසේ දවසක්" ලයනල් වෙන්ඩ්ට් රඟහලට....2019 ජුලි මාසේ දවසක්
එහි: ජයනි සේනානායක, සම්පත් ජයවීර, නලීන් ලුසේනා, සුලෝචනා වීරසිංහ අද්විතිය රංගනයක නිරත වූ අතර වර්තමානයේ අනුරාධ ද මහත් ආලෝකයක් විය.  

‘‘මායා දැල’’ 1950 ගණන්වල දක්නට ලැබුණු ඕලාරික රැඟුම් සහිත අවර ගණයේ නාටකයකි. ඒ ගැන ඒ හැර වෙන කිවයුතු දෙයක් නැත.

‘‘හරිම බඩු තුනක්’’ සහ ‘‘Mr. ප්‍රසිඩන්ට්’’ එකම පිටපත නාට්‍යකරුවන් දෙදෙනෙකු අත ඉතාම අසාර්ථක ලෙස පච වෙන නාටක දෙකකි. ඇත්තට ම ඒවා නාටක දැයි සැක සිතේ.

‘‘හරිම බඩු තුනක්’’ හි අසාර්ථක රංගනයක නියැළෙන නළුවන් තිදෙනකු, අයාලේ යන පිටපතකට අනුව අයාලේ යමින් එහා මෙහා යමින් අයාලේ හැසිරෙනවා හැර වෙන යමක් එහි නැත. ඔවුන්ගේ රැඟුම් බලා සිටීමට බැරි තරම් අජූව යැයි කීම සාධාරණ ය . හරිම බඩු තුනක් නාටකය නරඹා, එක්තරා ප්‍රවීණ සම්මානලාභී නාට්‍යවේදියෙකු මා සමග පැවසූ පරුෂ වචන ප්‍රමාණය මෙහි ලිවිය නො හැකී තරම් ය.

 

 

‘‘Mr. ප්‍රසිඩන්ට්’’ නාටකයේ රංගනයෙන් දායක වූවෝ: ප්‍රවීණ, සම්මානලාභී නළුවෝ ය. ඒ අතරින් රොෂාන් රවින්ද්‍ර තිරයේ රංගනයත්, වේදිකා රංගනයත් බොහෝ සේ පටලවාගෙන ඇත. ප්‍රියන්ත සිරිකුමාරට එම පිටපතේ කළ හැකි දෙයක් නො මැත. එබැවින් ඒ අසහාය රූපණවේදියා අතරමං වී එහා මෙහා ඇවිඳිනවා හැර වෙන කරන දෙයක් නැත. කලණ ගුණසේකර ගැන ද කිව හැක්කේ ඔහු ද තිරයේ රංගනයත් වේදිකා රංගනයත් බොහෝ සෙයින් පටලවාගෙන ඇති බව යි. සේවියර් කනිෂ්ක එම නාටකයේ මුළුමනින් ම විහිළුවකි.

අධිතක්සේරුව විනාශයට මුල බව මේ හතර දෙනාගෙන් ම පැහැදිලි වන කාරණාවකි. විදෙස් ටුවර් සඳහා රඟ දැක්වීමට මොනවා හෝ ලියා එකතු කරගත් වල්බූත, මේ රටට නො ගැළපෙන බවට හොඳ ම උදාහරණය Mr. ප්‍රසිඩන්ට් ය.

සිවු දෙනෙක් අරක්කු බිබී, පැය දෙකක් පිස්සු කතා කරනවා හැරෙන්නට එහි කිසිදු නාට්‍යමය සිදුවීමක් (නාට්‍යෝචිත සිද්ධියක්) නොමැත. එබඳු නාටකයක් වැටෙන්නේ කුමන ශානරයකට දැයි නො වැටහේ. එබදු ශානරයකට වැටීම අත්‍යශවශ්‍ය ද නැත. එහෙත් නො වැටීමේ දී අර්ථයක් ද තිබිය යුතු ය. නව ශානර උත්පාදනය කළ හැකි ය. එහෙත් ඒවා සාධාරණ මෙන් ම, නිවැරදි විය යුතු ය. Mr. ප්‍රසිඩන්ට් නාට්‍යයේ අන්තර්ගතය පුරා ඇති අයාලේ යන තර්ක විතර්ක ගැන දුක සිතේ.


උදාහරණ :- එකයි + එකයි = දෙකයි. කියලා කිව්වේ කවුද කියලා හදන ගොං වල් බූරු තර්කය එබඳු තැනකි. එය රචනා කරපු අයත්, රඟපෑ අයත්, එකයි + එකයි = දෙක හෝ දෙක නොවේ යැයි තර්ක කළ ද: අනුකලනය, අවකලනය සංකීර්ණ සංඛ්‍යා, ත්‍රිකෝණමිතික අනුපාත, න්‍යාස සහ අයිගන් වැලිව්ස් ගැන තර්ක නො කරන්නේ මන් ද ..? වල්බූරු පිටපත් යනු මේවා ය.

 

356938839 829483108843189 5032683661518840941 n‘‘හරිම බඩු තුනක්’
ඒක ම ‘‘හරිම බඩු තුනක්’’ නාටකයට ද පොදු ය. එහි තිදෙනෙක් රා ඔඩමක් පැය දෙකක් පුරා බොති. බහුබූත කතා කරති. එම මාතෘකා තෝරා ගන්නේ ගහෙන් ගෙඩි එන්නා සේ ය.

‘‘සුද්දෙක් ඔබ අමතයි’’ සාර්ථක වූ පළියට තවදුරටත් ඒ ගණයේ මළ විකාර කිරීමෙන් සුද්දාගේ ජයග්‍රහණය ද අන්ත දුක්ඛිත පරාජයක් බවට පත් වේ. වික්‍රමරත්න එය ගැන සිතිය යුතු ය. කුසල් මධුරංග අති දක්ෂ නළුවෙකි. ඔහු ‘‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’’ නාට්‍යයේ කරන අතිවිශේෂිත, අතිදක්ෂ රංගනය සහ හරිම බඩු තුනක් හී නාන නෑම අදහා ගත නො හැකි ය. මට හිතෙන විදියට ඒ පිටපත් වල ඇති දුර්වලතාව සහ අධ්‍යක්ෂකවරයා ඒවා අතහැර දමා ඇති නිසා සිදුවූ ඛේදවාචක ය. අනෙක් දෙදෙනා කට අරිනකොට ම නැගිටලා යන්නට හිතෙන ගානට ඒ රැඟුම් අතිශය අසාර්ථක ය. අති ප්‍රවීණ නාට්‍යවේදියෙකු වන ප්‍රසාද් සූරියාරච්චි ද නාට්‍ය බලන අතර නිදාගන්නවා මම දුටිමි. මම ද සිටියේ ඉතා අයාසයෙන් ය.

 

සදුදා වැටෙන්නේ සිකුරාදාට' : පෙබ. 11 එල්ෆින්ස්ටන් හිදී
Mr. ප්‍රසිඩන්ට් හී රංග වින්‍යාසය පාසල් නාටකයකට තරම් හෝ ප්‍රමාණවත් නො වන විහිළු සහගත ය. stand up comedy ය මේ රටින් ද තුරන් වූයේ ඉතාම පිළිකුල් සහගතව ය. එබඳු වේදිකා නාටක ද , අප්‍රසන්න; අජූව ය. ප්‍රේක්ෂකයා ඉන් බැහැර වීම නිරායාසයෙන් ම සිදුවේ. ඒවා කරන්නට ප්‍රියන්ත සිරිකුමාරට ලැජ්ජා නො සිතුණේ ද යන්න මා තුළ ඇති කුකුසකි. කිසිදාක නළුවන්ගේ ප්‍රතිරූප සහ දක්ෂතාවලින් රැඟුමක්, නාට්‍යයක්, විනිශ්චය නො කළ යුතු බව මට ප්‍රත්‍යක්ෂ වූයේ Mr. ප්‍රසිඩන්ට් නැරඹීමෙන් පසුව ය.

හරිම බඩු තුනක් නාට්‍යයෙහි: චන්ද්‍රලේඛා, රූකාන්ත, වින්ඩි සහ සනුක, මෙන් ම ජෝතිපාල අල්ලාගෙන කරන්නට කියන්නට තැත් කරන තර්ක විතර්ක අපහාසාත්මක ය; නීරස ය. අමු අවජාතක සංස්කෘතියක් නිර්මාණය කරන්නට හදන ගීත සංස්කෘතිය සහ මෙය සමාන ය.

 

sara 02 04 Pg26 cwa 1

මෙහි දී, මට: උත්තමාවී, මාඝාත, වරෙන්තු, සාක්කි, ගැලිලියෝ, අහසින් වැටුණු මිනිස්සු, හුණුවටයේ කතාව, දිරිය මව සහ ඇගේ දරුවෝ, රඟහල, ඔබ අමතයි, සුභසාධක, දැති කියත, සත්‍යාංගනාවී, දෝර්දණ්ඩා, දුක්ගන්නාරාළ, ට්‍රෝජන් කාන්තාවෝ, යක්ෂාගමනය, පුන්තිලා, ඇතුළු ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ නාට්‍ය, ජයලත් මනෝරත්න මහතාගේ නාට්‍ය පොකුර, කේ. බී. හේරත් මහතාගේ නාට්‍ය වල්ල, රාජිත දිසානායකගේ නාට්‍ය සමූහය සිහිවී 21වන සියවසේ තෙවැනි දශකයේ දී පවා මේ කරන බහුරු කෝලම් විසූක දස්සන ගැන කණගාටුවක් මෙන් ම කෝපයක් ද ඇති වේ.

වර්තමාන නාට්‍ය කලාව මේ ජරා ජීර්ණ තත්ත්වයට ඇද දැමීමට වගකිව යුත්තෝ නම්: *කැලණි විශ්වවිද්‍යාලය , *කොළඹ විශ්වවිද්‍යාලයේ බටහිර මණ්ඩපය, * සෞන්දර්ය විශ්වවිද්‍යාලය, * පේරාදෙණිය විශ්වවිද්‍යාලය, * ටවර්හෝල් රඟහල පදනම යන ආයතන වේ. ඒ බව පේරාදෙණියේ සුපර්ණකා වැනි බහුරු ද, කැලණිය ග්‍රීක ජහුටා ද , බටහිර මණ්ඩපයේ මළ විකාර ද, සෞන්දර්ය යේ සුම්මා නාටක ද, නැරඹීමෙන් ප්‍රත්‍යක්ෂ වේ. ටවර් රඟහල පදනම ද ඊට අවශ්‍ය සක්ක කෑලි එකතු කර දෙන බවක් පෙනේ.

මේ විශ්වවිද්‍යාල වල සහ සංවිධානවල ස්පෙෂල් ඩ්‍රාමා (Special Drama) කරන අය, සම්මාන උත්සවවල දී සහ තම නාට්‍ය රඟ දක්වන Curtian call (තිර සමුගැනීම්)වල දී හැසිරෙන ආකාරයෙන් ඒ බව පෙනෙන්නට තිබේ. එනම් තමන්ගේ කණ්ඩායමේ කාට හෝ පුංචි සම්මාන කැබැල්ලක් ලැබුණු බව නිවේදනය කළ මොහොතේ සිට හූ තබමින් කෑ කෝ ගසමින් ඔහු සමඟ සියලු ම දෙනා වේදිකාවට පැමිණ රංචු ගැසී කරන මළ විකාරවලින් ද එය පැහැදිලි වේ.

 

Romeo Juliet 3
ජයනාත්ත් බණ්ඩාරගේ රෝමියෝ ජුලියටි හී ඉතා ම ප්‍රබල අසාර්ථකතාව නම් නළුවරණය යි. එපමණක් නො ව අතිශය ප්‍රාථමික රංගනයන්ගෙන් පිරුණු එය මෑත කාලයක වේදිකාවට ආ දුර්වලතම අසාර්ථක ම නාට්‍යවලින් එකකි. මොන්ටේගු ලා සහ කැපියුලට්ලා එහෙම ද ...? ඔවුන් එම චරිතවලට සාධාරණයක් කළා ද...? පෙනුමින් පවා ඔවුන් එම චරිතවලට නොගැළපෙති. (මනමේ කුමරාට මා තෝරා ගත්තා සේ ය). එයාලාගේ ආර්යාවන් ‘‘විහිළු නැත්නම් හොඳයි’’ යන සංකල්පයට මනාසේ ගැළපේ. නිහාරිලා මනමේ/ සිංහබාහු නාටකවල විකාර නට නටා ඉඳ, ඇවිදීම අතපය එහා මෙහා කිරීම, නතරවීම පවා ඒ වාගේ ම මේ නාටකවලත් කරන්නට යාමෙන් ඇතිවන්නේ විහිළුවකි.

විශාලතම ඛේදවාචකය ජුලියට්ගේ භූමිකාවයි. එය කිසිසේත් ම ප්‍රමාණවත් තෝරා ගැනීමක් ද, සාර්ථක රංගනයක් ද නො වේ. රෝමියෝගේ මිත්‍රයින්ගේ ශරීරවලට සර්පිලාකාර දුනු සවි කර තිබීම මහත් ඛේදවාචකයකි. ඒ රංග වින්‍යාස සහ මහා සංගීත වේදනියගේ සංගීතයට හා පුහුණුවට අවුට් sing කිරීම ද විහිළුවකි. එබඳු රංග වින්‍යාස 1970 ගණන්වල සිට ම නරඹා වෙහෙසකර ය; අතිශය දුර්වල ය. ලක්ෂ්මන් මෙන්ඩිස් පමණක් ම යාන්තමට ජාම බේරා ගනියි. රෝමියෝගේ නළුවරණය ප්‍රමාණවත් යැයි හැඟුණ ද, ඔහු එහා මෙහා ඇවිද ඇවිද සංවාද උච්චාරණය කළා පමණකි.

වේදිකා පසුතලවල යම් හුරු බුහුටි බවක් තිබුණ ද, ඒවා නාට්‍ය සාර්ථක කර ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. කණ්ඩායම් - කණ්ඩායම් රංචු ගැසී ජාලර අස්සේ සිට කොඩි කණු සේ ඉදිරියට පැමිණ එක් තැනක සිටගෙන මොන මොනවා දෝ දොඩවා, නැවතත් ඉටිපන්දම් සේ ඒ ජාලර අස්සට වැදී නොපෙනී යති. මොන්ටේගු සහ කැපයුලට් පවුල් දෙක ම එසේ ය; රෝමියෝගේ මිතුරන් ද එසේ ය.

 

ජූලි මාසෙ දවසක් අගෝස්තු මාසෙ දවසක - (චින්තන ධර්මදාස)2019 ජුනි මාසයේ දවසක්

රාජිතගේ ‘‘2019 ජුනි මාසයේ දවසක්’’ නාටකයේ නළු නිළි ප්‍රවේශවීම් සහ නික්මයාම් ද, චාලකගේ ‘‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’’ හී නළු නිළියන්ගේ ප්‍රවේශ වීම් සහ නික්ම යෑම් ද නරඹා යමක් උගෙන ගත යුතුව ඇත.

ජයනාත් බණ්ඩාර අති දක්ෂ රූපණ ශිල්පියකි. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැත. අත්දැකීම් බහුල, සම්මානයට නිතර නිතර පාත්‍ර වූ ජයනත් බණ්ඩාර පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා ය. ඒ නිසා ම මෙම නිර්මාණය ජයනාත්ගේ නාට්‍ය දිවියට කැළැලකි. මට සිතෙන අන්දමට මම මෙම නාටකය නිර්මාණය කරන බව දන්නා පළමුවර ම මෙය කරන්නට එපා යැයි මම මගේ වෝලයේ සඳහන් කළෙමි.

මාලි ජයවීරගේ නැමැති අති දක්ෂ රූපණ වේදිණිය ‘‘ඇයි මෙහෙම අප්‍රසන්න කොමඩි’’ තත්ත්වයට වැටෙන්නේ යැයි මට සිතුණ වාර අනන්ත ය.

 

රාජ්‍ය නාට්‍ය උළෙලට පනහයි - අවසාන වටයට තේරුණු දිගු නාට්‍ය මෙන්නසුපර්ණකා
මැටිකරත්තය මැටිම ගොඩකි. එයයි සහෝදරයා බුද්ධිකට අවනම්බුවකි. සුපර්ණකා ජංගිකඩයකි. සක්වල රිය එක් මොහොතක නාට්‍යයක් වන අතර, ඊළඟ මොහොතේ නාට්‍යයක් නො වෙයි. නැවත නාටකයකට සූදානම් වන අතර, නැවතත් විනාශ වී අපාගත වේ. එහි යම් පමණකට හෝ සාර්ථක වූයේ, වතු කම්කරුවා සමඟ සිටි කංකානිගේ චරිතය පමණි. රාවණා රජු සහ රාම කුමරු මුළුමනින් ම ජංජාලයකි. ඉන්ද්‍රජාලික පෙමේවතිය විනාඩි විස්සක කෙටි නාටකයක් දෙපසින් ඇද තැනූ විකාරයකි.

ඩේසිඩෙරාටා ගැන පවසන්නට ඇත්තේ, එය පියල් කාරියවසම්, ඉන්දික, ප්‍රසන්නලා සහ එහි කථිකාචාර්ය කෙල්ලන් අතේ විනාශ වූ, තරුණ පරම්පරාවක බහුරු කෝලමක් බවයි. ඩේසිඩෙරාටා නාට්‍ය විද්‍යාර්තීන්ගේ කෘතියක් නොවේ. එය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු පෙළ රචනා කර, අධ්‍යක්ෂවරු කීපදෙනෙකුගේ ම (ශිෂ්‍යයින්) නම්වලින් වරින් වර ඉදිරිපත් කර, අනාගත්, අසාර්ථක, අජූව නාටකයකි. එහි භාවිත කළ රූපණ ක්‍රමවේදය අති අසාර්ථක ය.

ඔගස්ටෝ බොආල්, මයිකල් චෙකෝව්ෆ්, ජාක් ෆෝකෝ, බර්ටෝල්ඩ් බ්‍රෙහ්ට්, මෙයර්හෝල්ඩ්, ස්ටැනිස්ලවිකි, හෙන්රික් ඉබ්සන්, එමිලි සෝලා, අයනෙස්කෝ, බෙකට්, ජෙසී ග්‍රොටෝව්ස්කි, අන්ටෝනින් ආර්ටෝ යන විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති රංග සම්ප්‍රදා සහ රූපණ විධික්‍රම මෙන් ම දැනට භාවිත වන නාට්‍ය ධර්මී සහ ලෝකධර්මී රංග ශෛලි භාවිත කිරීමේ දී ඒවාට වහල් විය යුතු බව හෝ නො වීම නූතන නාට්‍යවේදියා සතු අයිතියකි. එහෙත් ඒවා බිඳගෙන ඒ තුළට වැදීම හෝ ඉන් පිටතට යාම කළ යුත්තේ බහුරු කෝලම් පාමින් නොව විද්‍යාත්මකව තර්කඥානය මෙහෙයවමින් ය.

කිචි -බිචි ගගා පිස්සු කෙළින නර්ස්ලා, විල්බැරෝවලින් වඩින දොස්තර නෝනලා සහ ලෙඩ්ඩු, උඩ පනින පිනුම් ගහන ලෙඩ්ඩු සහ කස්තිරම් අල්ලන හමුදා නිලධාරීන්, ඇඳක් මත සර්කස් පෙන්වන අඹු සැමියන්, හාස්‍යජනක ඩිවෝස් පේපර්ස් සහ සහේතුක නො වන හැසිරීම් රටාවලට ඒ අයට හේතු ඉදිරිපත් කළ හැකි ද.?

‘‘දැන් අපි මේක මෙහෙම කරමු. මේකට ඕඩියන්ස් එක හිනා වේවි. ඒ නිසා මෙහෙම කරමු.’’ ආදී දර්ශන නාට්‍යයකට අන්තර්ගත විය නො හැකි ය.

 

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල වසර තුනකට පසුව
චන්ද්‍රරසිරි බෝගමුව මේ වසරේ නාට්‍ය 20000 ක් නරඹා ඇති අමුතු ම ප්‍රේක්ෂකයෙකි. ඒත් ඔහු මේ ගැන වචනයක්වත් නො ලියා ඉන්නේ එයාට ඒවා ගැන ලියන්න බය නිසා ද...? එසේත් නොවේ නම් බැරි නිසා ද...? මම ලියන්නේ බය නැති නිසා නො වේ. මෙය මගේ යුතුකමක් ලෙස සිතා ය. ඒ නිසා කවුරුත් මා සමග අමනාප නො වේ යැයි සිතමි. ඇතැම් නාටක රාජ්‍ය නාට්‍ය උළෙලින් පසුව සහ මංගල දර්ශනයෙන් පසුව නැවත දකින්නට නො ලැබීම ඛේදවාචකය කි. ඊට වගකිවයුතුතෝ කවරහු ද. ?

‘‘හරිම බඩු තුනක්’’ සහ Mr. ප්‍රසිඩන්ට් යන අවර ගණයේ නාටකවල අන්තර්ගතය ම ජනක් ප්‍රේමලාල්ගේ ‘‘ආඬි හතයි කැඳ හැළියයි’’ නාට්‍යයේ ද ඇතුළත් ය. එහෙත් එහි නැටුම්, ගැයුම්, වැයුම් සමග බොහෝ සුන්දර අංගෝපාංග එකතු කර ප්‍රකාශ කරන්නට උත්සාහ කර ඇති නිසා ඕලාරික නො වේ. එහෙත් අබුද්ධස්ස කෝලම, රජගහේ නාඩගම, රාජකපුරු යන නාටකවල අන්තර්ගත වූ තේමාව සහ අන්තර්ගතය ම වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නට උත්සාහ දරනු විනා, වෙනත් පංකාදුවක් එහි නැත.

 

ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" - ලයනල් වෙන්ට්ඩ් රඟහලටඇප්‍රොඩයිට් මල්කොල්ලය

‘‘ඇප්‍රොඩයිට් මල්කොල්ලය’’ වෙන ම කතා කළ යුතු නාටකයෙකි. ඒ නාටකය බලන්නට බැරි ය. ප්‍රේක්ෂාගාරය ඉතා ම අවිනීත ය. නිළියන් හිටගත්ත ද, වාඩි වුව ද, කතා කළ ද ඒ අවිනීත මූසල ප්‍රේක්ෂාකාගාරය කොක්හඬලා සිනාසෙයි; හූ කියයි. කෑකෝ ගසති. මුන්ට ගහන්නට කෙනෙක් නැති දැයි සිතෙන තරමට කෝපක් ඇති කරවයි. එහි වරද කා අත ද ..?

‘‘ඇප්‍රොඩයිට් මල්කොල්ලය’’ නාටකයේ අන්තර්ගතය ඉතාම දුර්වල ය. පොත් පිර වූ බෑගයක් සහ ඒ තරම්ම මළ මිනියක් දැමූ බෑගයක් සිදුරකින් පහළට ගැනීමේ දී එක ම ආකාරයට පහළට එයි ද...? එය දැනෙන්නේ එක ම ආකාරයකට ද..?

බැංකු මංකොල්ලයක් සංවිධානය කරන වයස්ගත කාන්තාවන් සහ මැදි වයසේ කාන්තාවන් නම දෙනෙක් සංවිධානය වී, එය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය බැංකුවේ දී නො ව තම නේවාසිකාගාරයේ දී රඟ දක්වා පෙන්වන අයුරු විහිළුවකි . එය එම නාටකයේ අන්තර්ගතය යි. එහි දී සමාධි ලක්සිරී නම් නිළිය දෑත ඉහළට ඔසවාගෙන යටිගිරියෙන් බෙරිහන් දෙනු විනා එහි ගතයුතු රඟපෑමක් නැත. සුජානි මේනකා තිරය ඉදිරියේ කළ රැඟුම්, සජීවී වේදිකාවක් තුළ කළ නො හැකි බව මැනවින් සනාථ කරන්නී ය. අමා විජේසේකර ඉතාමත් ම අසාර්ථක රංගනය ඉදිරිපත් කරන්නිය යි. එය සැබෑවට ම අතිශය ප්‍රාථමික ය. නමුත් ඇය අසංක සායක්කාරගේ ‘‘කොටු’’ නාටකයේ ඉතා සාර්ථක ලෙස තම චරිතය සහ භූමිකාව නිරූපණය කරන්නී ය.

 



නිල්මිනි සිගේරා විකෘති නාට්‍යයේ කළ රංගනයෙන් පසුව වේදිකා නාට්‍ය සීමිත ප්‍රමාණයක රංගනය කළ අසාර්ථක නිළියකි. ‘‘වෙන්දේසියේ විකිණේ’’ නම් වූ චෙරි වත්තේ ඇය රැනවෙස්කයා ආර්යාව ලෙස පෙනී සිටියා ය. එහි දී ඇය රැණවෙස්‌කයා ආර්යාව ලෙස නො ව, මීගමුවේ මාළු වෙළෙන්දියක් දැයි සැක සිතෙන තරමට අවුල් ජාලයක පැටලී සිටියා ය. දැනුදු ඇප්‍රොඩයිට් මල්කොල්ලයේ ඉතා අසාර්ථක රංගනයක නිරත වන්නී ය.

චාන්දනී සෙනවිරත්න සහ කෞශල්‍යා ප්‍රනාන්දු අපට සිටින අති ප්‍රවීණ, අතිදක්ෂ, අපූරු රූපණවේදිනියන් දෙදෙනෙකි. සැබවින් ම ඒ දෙදෙනාට එහි රඟන්නට දෙයක් ඉතිරි වී නොතිබුණි. තැන තැන වාඩි වෙමින්, ලගිමින් නිකමට මෙන් ඔහේ වචන ඇදබාන ඒ චරිත වේදිකාව මත විශ්වසනීයත්වය තහවුරු කළ අපූර්වත්වයක් තිබුණේ නැත. මේ දෙදෙනාට සිය මුඛ විවෘත කරන්නට ඉඩ නො දී, පිස්සු අවිනීත ප්‍රේක්ෂාගාරය හූ තබමින්, හඬ තළමින් සිනහ බෝ කරනු හැර වෙන කළ යමක් නැත.

මොවුන් බැංකුව මංකොල්ලා කෑමට තීරණය ගන්නට පෙලඹීම පිළිබඳ හේතු හාස්‍ය ජනක ය. එකියට පිරිමියෙක් වන්නට උවමනා ය. තව එකියට වයස්ගත වී සිටිය ද තම පෙම්වතා විවාහ කර ගන්නට වෙනත් රටකට යන්නට වුවමනා ය. ඔය ආදී වශයෙන් ඒවා ඉතා විහිළු සහගත ය. සමරිසි කාන්තාවන් මෙන් ම Transfer Gender අවශ්‍යතා ඇත්තියන් පිළිබඳ සාධාරණ, සමාජ ප්‍රශ්න කොතෙකුත් පවතින දේශපාලන, සමාජ, සංස්කෘතික තත්ත්ව අමතක කොට, ඒවා මතුපිටින් අල්ලා, ප්‍රේක්ෂාගාරය බොළඳ හාස්‍යයකට පත් කරවා, හෝයියා කියන්නට උත්තේජනය සපයන අතර අවර ගණයේ අකීකරු ප්‍රේක්ෂකයාට ැන්ට රිසි සේ හූ තබමින් දඟලන්නට ඉඩ සලසා ඇත.

නව නාරි බෝම්බය : ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය - (චින්තන ධර්මදාස)සැබැවින් ම චාන්දනී සහ කෞශල්‍යා පසු කාලයක දී මේ ගැන දුක් වනු ඇත. එහි ඡායාරූප ශිල්පියාගේ අතිශය කලාත්මක, කතා කරන නිශ්චල ඡායාරූප බලා, එම නාටකය නරඹන්නට එන ප්‍රේක්ෂකයා දකින්නේ ඊට වඩා දුප්පත් භාවයක අතර මං වන කාන්තාවන් නම දෙනෙකි. Mr. ප්‍රසිඩන්ට් නාටකය මෙන් ම මෙය අයාලයේ ගමන් කරන මුසාවාදයකි. ප්‍රලාපයකි; බඒ හැර කිසිසේත් ම නාටකයක් නම් නො වේ.

චන්දනී, කෞශල්‍යා යන ප්‍රවීණයන් රගපෑ පමණින් නාට්‍යයක් නිර්මාණය නොවන බවට මෙය ද කදිම නිදසුනකි. චාන්දනී මීට පෙර පෑ ප්‍රතිභා සම්පන්න රැගුම් අතර මෙය හැබෑවට ම විසූකදස්සනයකි. එනම්: යෙර්මා නාට්‍යයේ යෙර්මා, වරෙන්තු හි මිස් පෙළැති, බර්නාඩාහි අංගුෂ්ටියා, පුත්‍ර සමාගමේ අධිකරණ සේවිකාව, සොක්‍රටීස් හී සැන්තපී ඈ පෑ ප්‍රතිභා අතුරෙන් කිහිපයකි. ඒ ප්‍රාතිහාර්ය සමග මේ රංගනය ඒ අසලකින් හෝ තැබීමට හෝ නොහැකි ය.

 

1111විකෘති
කෞශල්‍යා මෙරට සිංහල වේදිකාවේ හත් අට වරක් ම හොඳ ම නිළියට හිමි සම්මානය දිනාගත් අභීත, අපූරු, ප්‍රවීණ, අතිදක්ෂ රූපණ වේදිනියකි. ඒ බව ඈ රඟපෑ: ධවල භීෂණ හී විප්ලවවාදිනිය, The trial of dedan kimathi හි අප්‍රිකානු කාන්තාව, එහි ම සිංහල පරිවර්තනය වන ‘‘යදම්’’ නාටකයේ එම චරිතය, විලාසිනියකගේ ප්‍රේමයෙහි කළු ගණිකාව, විකෘති නාට්‍යයේ මව, මරා සාද් හී චාලට් කෝර්දේ, මවකගේ සංග්‍රාමයේ මව, සඳ ළඟ මරණයේ පරිවර්තිකාව මෙන්ම නිර්මාණ ශිල්පිනිය ද, මවගේ චරිතය ද, මරණය සහ කන්‍යාවිය හී කාන්තාව ද, හිම කුමරියෙ නාට්‍යයෙහි දුෂ්ට කුඩම්මා ද ඉන් සමහරකි.

මේ පමණට ම කළ සාර්ථක රැගුම් අතර, ඇය මෑතක දී කළ අසාර්ථක රංගන දෙකකි. එකක් සඟ වෙද ගුරු ගොවි කම්කරු නාට්‍යයේ අවිවාහක අක්කාගේ චරිතය ද, අනෙක ඇප්‍රොඩයිට් මංකොල්ලයේ වයසක කාන්තාවගේ චරිතය ද වේ. මේ චරිත දෙක ම එක සේ අසාර්ථක ය. ඇයට අසාධාරණයක්, අපරාධයක් වී තිබේ. එයට එක ම හේතුව අධ්‍යක්ෂණයේ දුර්වලතා මෙන් ම පිටපතේ ද ඇති දුර්වලතා ය. එබැවින් එහි රඟපෑ අනෙක් කාන්තාවන් ගැන කුමන කතා ද...?

 

පරාක්‍රම නිරිඇල්ලගේ 'සෙක්කුව' මැයි 26 එලිෆින්ස්ටන් හිදී

නූතන නාට්‍යකරුවන් අතර වඩාත් අතරමං වන නාට්‍යකරුවා වන්නේ ප්‍රවීණ, අභිත, ප්‍රතිභා පූර්ණ, පිටපත් රචකයෙක්, පරිවර්තකයෙක් මෙන් ම නිර්මාණ ශිල්පියෙක් වන පරාක්‍රම නිරිඇල්ල ය. ඔහුගේ සෙක්කුව ඊට හොඳම නිදසුන වන අතර එය පරණ සෙක්කු අසලකින් හෝ තැබිය නොහැකි අවර ගණයේ කෘතියකි. සුබුද්ධි ලක්මාලි අතිදක්ෂ ගායිකාවකි; රංගන ශිල්පිනියෙකි. ඇයගෙන් ගතයුතුව තිබුණේ, එහි පූරකට යොදවා ඇය වෙහෙසකට පත්කර අතරමං කර වීමට වඩා ප්‍රබල කර්තව්‍යයකි.

උඩරට, පහතරට නැටුම් නටන්නට නාට්‍යයක් කළයුතු නැත. නාට්‍යයේ රංග වින්‍යාසයට ඒවා භාවිත කළ යුතු ය. එහි රංග වින්‍යාසයට ඇතුළත් විය යුත්තේ එය යි. එහි රංගනය නම් අතිශය දුර්වල ය. කෝරසය සහ එහි රංග වින්‍යාසය ප්‍රබල විහිළුවකි. එය රංගයෙන් ඉවත් කළ ද, නාට්‍යයට හානියක් සිදු නො වේ. ඒ අනුව සෙක්කුව සහ මැටිකරත්තය නිසා පරාක්‍රම නිරිඇල්ල නම් පතාක යෝධයා අගුටුමිට්ටෙකු, වාමනයෙකු බවට පත් වී තිබේ.

උත්තමාවී, වරෙන්තු , ගැලීලියෝ, විනිශ්චය, යනාදි අසහාය කෘති ද, මෑතන් වන තුරු ම විකල්ප නාට්‍ය ක්ෂේත්‍රයේ මහා බලසම්පන්න, ජවසම්පන්න බලවේගය වූ, ජනකරළිය බිහිකළ පරාක්‍රම නිරිඇල්ල ගැන අතිශයින් ම කණගාටුවක් ඇති වේ. වලහා නාට්‍ය තුළින් ද ඒ බව ප්‍රත්‍යක්ෂ ය. වලහා නාට්‍යයෙන් ද එය දෙගුණ තෙගුණ වූවා මිස සහනයක් ඇති නො වී ය.

‘‘ හීන අරන් පාරෙ හිටන්’’ නාටකය පිළිබඳව ද කිව යුත්තේ, වත්මන් තරුණ නාට්‍යකරුවන් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න අල්ලාගෙන ඇත්තේ වැරදි කොනකින් බවයි. එමෙන් ම ඔවුනට ඒවා සාර්ථක සහ නිවැරදි නිර්මාණයක් බවට පත් කරන්නට හැකියාවක් ලැබී වී නැත. එම නාටකය යන්නං වාලේ අයාලේ යන අන්තර්ගතයක් ඇති කෘතියක් වී ඇත්තේ ඒ නිසා ය.

මෙකී කරුණු සලකා බලද්දී, වර්තමාන වේදිකාවේ යම් අහුපෑවතක් ඇති කෘති ඇත්තේ දෙක තුනක් පමණක් බව කිව යුතු මය. ඒ: ‘‘ සඳුදා වැටෙන්නෙ සිකුරාදා’’ ‘‘මාරක ළිඳේ සවාරියක්’’  ‘‘සෙල්ලම් ගෙදර දෙක’’ සහ ‘‘කොටු’’ යනාදි කෘති ය.

 

සදුදා වැටෙන්නේ සිකුරාදාට' : පෙබ. 11 එල්ෆින්ස්ටන් හිදී

ඒ අතරින් ‘‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’’ රට පුරා යම් වේගයකින් රඟ දැක්වීම සතුටට කරුණකි. ‘‘මාරක ළිඳේ සවාරියක්’’ ඉඳහිට රංග ගතවීම කනගාටුවට කරුණකි. එය නව විද්‍යාර්ථීන්ට පෙන්විය යුතු රංගයකි. ‘‘සෙල්ලම් ගෙදර දෙක’’ රාජ්‍ය නාට්‍ය උළෙලින් පසු රංගගත නො වී ය. ‘‘කොටු’’ නමැති අනර්ඝ කෘතිය මංගල දර්ශනයට පමණක් සීමා වීම අභාග්‍යයකි. එබැවින් ඒ නම්වලින් නාට්‍ය දෙකක් සිංහල වේදිකාවේ නැතැයි ද කිව හැකි ය. තෙරුණි ආසංසා බඳු ශිල්පිනියන් රට හැර යාම ද නූතන පරපුරට වේදිකාවේ බොහෝ දේ අහිමිවීම කි.

 

චාමික හත්ළහවත්ත ගේ ‘‘රජා මං වහලා’’ ගහක් ගලක් ගානේ පෙන්විය හැකි නම් එය ද නව නාට්‍ය කාර්යයේ නියැළෙන, අතරමන් තරුණ ජවයට නව ප්‍රාණයක් ලබා දිය හැකි කෘතියකි. එහෙත් තෙරුණි ආසංසා සහ උමයංගනා හැර වෙනත් ශිල්පිනියන් නිසා එහි රංග කාර්යයට ප්‍රබල හානියක් සිදුවී ඇත.

අම්බලන්ගොඩ ධීවර වරාය පරිශ්‍රයේ එම නාටකය නොමිලේ රඟ දැක්වූ මොහොතක උමයංගනා වික්‍රමසිංහ අසනීප වී ඇති නිසා ඇයගේ චරිතය ද, ඇයගේ භූමිකා ද, තෙරුණි ආසංසාගේ චරිතය ද ඇයගේ භූමිකා ද යන චරිත සහ ඒවායේ එකිනෙකට පරස්පර භූමිකා ද, ඉතා අපූරුවට තෙරුණි ආසංසා විසින් නිරූපණය කරන ලදී. චාමික හත්ලවත්තට වත් ඒවා තෝරා බේරා ගත නො හැකි තරමට ඇය එම භූමිකා අති සුන්දර හැඩයකට සම්මිශ්‍රණය කළා ය. ඇය අහිමි වීම නූතන වේදිකාවට මරු පහරක් එල්ල වීමකි.

‘‘අසමා’’ හෙවත් අකිල සපුමල් ගැන ද යමක් කිව යුතු ම ය . ඔහුගේ කර්තව්‍ය අගය කළ යුතු ය. ඈත ගම්වල සහ නගරවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් ගෙන්වා ඔවුනට යම් දැනුමක් ලබා දෙන්නට ඔහු දරණ උත්සාහයට ආචාර කළ යුතු යුතු ය. එහෙත් එම නාටක ඒ ආකාරයට දමා ගැසීම පිළිබඳ මා තුළ ඇත්තේ කනස්සල්ලකි.

 

sihalaඅකිල සපුමල්
ඔහුගේ ‘‘ඊඩිපස්’’ නාටකය ඉතා ම අසාර්ථක කෘතියකි. එහි ඊඩිපස් ලෙස අකිල කරන රංගනය මෑතක මා දුටු ඉතා ම අසාර්ථක ම රංගනයකි. එහි අනෙකුත් චරිත ද ගත යුත්තකට නැත. එහි ඇති එක ම වැදගත්කම නම් විද්‍යාර්ථීන් ට පෙළ පොත ගැන අවබෝධයක් ලැබිය හැකි වීම පමණි.

අසමා ‘‘ජුලියස් සීසර්’’ තවත් අසමා ඛේදවාචකයකි. එය නො කළ යුතුව තිබුණේ යැයි එය නැරඹීමෙන් අනතුරුව මට සිතුණි.

ලංකාවේ: චෙරි වත්තට, සෙල්ලම් ගෙදරට ක්ෂේශ්පියර්ට තරම් අපහාස උපහාස කළ වෙනත් නාට්‍යයක් නො මැති තරම් ය. එම නාටක උස්සා පොළොවේ ගැසීම නො කළ යුතු ය. ඊට ඉඩදිය යුතු ද නො වේ. අසමාහි ‘‘ජුලියස් සීසර්’’ ද, ‘‘රෝමියෝ ජුලියට්’’ නාටකයට දෙවැනි නැත. ගොඩෝ සහ පැංසතු නේ කතාව ද, ඒ ආකාරයට ම, ‘‘තිබ්බ ගැහුවා’’ පන්නයේ වංචා ය. ජපන් නාට්‍ය ද අගයකළ යුතු දෙයක් ඇති කෘති නොවේ.

මෑත දිනක දී නාට්‍ය පුහුණු වන තැනක කිසියම් දෙයක් වැරදී ගිය විටක එහි අධ්‍යක්ෂවරයා ‘‘මොනවද බං... උඹේ වැඩ හරියට අඛිල සපුමල් නාට්‍ය කරනවා වගේ... උඹේ වැඩ  යැයී කීමෙන් එය පැහැදිලි නොවන්නේ ද..?

මට මතක හැටියට බටහිර මණ්ඩපයේ ශිෂ්‍ය නිෂ්පාදනයක් නාමල් ජයසිංහ අතින් රෝමියෝ ජුලියට් ලෙස එළිදැක්වී ය. එයට නාමල් ඉතා අපූරු නිර්මාණාත්මක දෙයක් එකතු කර තිබුණි. එහි සිදුවන සෑම ඝාතනයකට ම පසුව, පිරිසිදු කරන්නියන් පිරිසක් පැමිණ, ඒ භූමිය පිරිසිදු කරති. එය එම නාටකයේ මුල් පිටපතේ නැති, නාමල් විසින් එකතු කරන ලද , අපූරු ජවනිකා පෙළකි. එය අර්ථපූර්ණ ය. ක්ෂේශ්පියර් ද ප්‍රේක්ෂාගාරයේ සිටියේ නම්, නැගිට ඔහු ද අත්පොළසන් දෙනු ඇත. එහෙත් ජයනාත් බණ්ඩාරගේ රෝමියෝ ජුලියට් පිටපතේ කපා කොටා සංස්කරණය කර ඇති ආකාරය දරුණු අපරාධයකි. එපමණක් නොව: එහි නළුවරණය, රංග වින්‍යාසය, රංග වස්ත්‍රාභරණ නිර්මාණය පමණක් නො ව, රඟපෑම් ද අතිශය දුර්වල වීමෙන් මහා හානියක් සිදුකරගෙන ඇත.

විශේෂයෙන් මගේ මේ ලියවිල්ල ගැන සියලු දෙනා නැවත සිතන්න. මට අවි අමෝරා ගෙන නො එන්න. මා මේ කරන්නේ මාගේ යුතුකමකි. සමහරු තම තමන්ගේ හිතවතුන් අමනාප වෙතැ’යි සත්‍ය වසන් කර ඒ නාට්‍යකරුවන් සහ නළු නිළියන් මුරුංගා අතුවල තබා ඇති බව මුහුණු පොතෙන් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවලින් පෙනේ.

 

Forinto
වර්තමානයේ පත්තර, සඟරා නැති තරම් ය. තිබුණත් ඒවා කවුරුත් බලන බවක් නො හැඟේ. ප්‍රධානතම සන්නිවේදන මාධ්‍ය Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ය. එබැවින් මා මෙම මාධ්‍ය තෝරාගෙන වැඩිහිටියෙක් ලෙස ද, චන්දරසිරි බෝගමුව මෙන් නාට්‍ය විසිදාහක් නො බැලුවත් බොහෝ නාට්‍ය නරඹන කෙනෙක් ලෙස ද, ප්‍රමාණික දැනුමක් ඇති කෙනෙක් ලෙස ද , ගුරුවරයෙක් ලෙස ද , මෙලෙස පෙන්වා දෙන්නේ මෙය නිවැරදි මාවතකට යොමු කරවා ගැනීමට පිණිස ම ය.

ගහක්, ගලක් ගානේ නාට්‍ය වැඩමුළු පවත්වා, මුදල් ගසා කෑම ගජ රාමයට සිදුවන මේ මොහොතේ එක ම නළුවෙක් හෝ නිළියක් ඒ වැඩමුළුවලින් හෝ විශ්වවිද්‍යාලවලින් බිහිවී නැති බව මම එඩිතරව ම ප්‍රකාශ කරමි.

උදාහරණ :-

සරත් කරුණාරත්න , කුසල් මදුරංග, සරත් කොතලාවල, මහෙන්ද්‍ර පෙරේරා, ජයනාත් බණ්ඩාර, ගිහාන් ප්‍රනාන්දු ,ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, නලින් ලුසේනා, ප්‍රියන්ත සිරි කුමාර, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්න විට්ටච්චි ජැක්සන් ඇන්තනී, කමල් අද්දරාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, යන රූපණ ශිල්පීන් කිසිවෙක් විශ්වවිද්‍යාලවල රංගන පාඨමාලා හෝ උපාධි හරහා රංගයට පැමිණි අය නො වේ. එසේ ම: චාන්දනී සෙනවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, චමිලා පීරිස්, හෂිනිකා කරලියක්ද, මාදනී මල්වත්ත, ජයනි සේනානායක, තෙරුණි ආසංසා, (ඇය විශ්වවිද්‍යාලය යන්නටත් පෙර හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් රූපණවේදිනියකි.) දුලීකා මාරපන, මල්කාන්ති ජයසිංහ, ගංගා ජීවනී වැලිවත්ත මෙන්ම ඊට පෙර සිටි, චන්ද්‍රා කළුආරච්චි, රත්මලී ගුණසේකර, අනුලා බුලත් සිංහල, සුවිනීතා කෝංගහගේ, ප්‍රේමා ගනේගොඩ, සුනේත්‍රා සරච්චන්ද්‍ර ආදී සියලු ම රූපණ ශිල්පී - ශිල්පිනියන් විශ්වවිද්‍යාල හරහා රංගයට පැමිණි අය නො වේ.

විශ්වවිද්‍යාලවලින් වර්තමාන නාට්‍ය කලාවට එන අය නැතැ’යි මම තරයේ ම නො කියමි. අතළොස්සක් සිටිති . එහෙත් ඒ අයට මේ ඉහත කී පිරිස සමතික්‍රමණය කිරීමට තබා ඒ අසලකින් හෝ යන්නට නො හැකි වී ඇත. වහ වහා මේ ගැන අවධානය යොමුකළ යුතුව ඇත. නාට්‍ය වැඩමුළු කළාට ද කම් නැත; මුදල් ගසා කෑවාට ද කම් නැත. එසේම ගන්ජා බොන්නට, රා අරක්කු බොන්නට, දුම් බොන්නට පුරුදු පුහුණු කළාට ද, කම් නැත. ලිවින් ටු ගෙදර් ඉන්නට පුරුදු පුහුණු කළාට ද කම් නැත. ලෙසිබියන්ලා සහ ගේස්ලා පුරුදු කළාට ද කම් නැත. ඒහෙත් නාට්‍ය රචකයෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක්, කලා අධ්‍යක්ෂවරයෙක්, වේදිකා පරිපාලකවරයෙක්, නළුවෙක්, නිළියෙක්, නැත්නම් හොඳ ප්‍රේක්ෂකයෙක්, එකෙක් දෙන්නෙක් වත් බිහි කිරීමට ද කටයුතු කළ යුතු ය. එසේ කළා නම් අද රට මේ තරම් ජරා ජීර්ණ නො වන්නට ඉඩ තිබුණි.

විශ්වවිද්‍යාලවලින් අතරමං කරට, උපාධි සහතිකයක් කර මත පටවා එළියට දාන අතර ගොඩ පනහට කුණු තක්කාලි විකුණන්නා සේ ගුරු පත්වීම් ලබා දී, එතැන් සිට කරන අපරාධය සුළු පටු නො වේ. එය පළාත් විභාගවලට ඉදිරිපත් කර ඇති ප්‍රශ්න පත්තරවලින් ද මනාව පැහැදිලි වේ.

උදාහරණ :-

stage 78
1.විකෘති නාට්‍යයේ දුර්වල චරිත දෙකක් නම් කරන්න.

2. සිංහල ඉංග්‍රීසි වේදිකා දෙකෙහි ම රැඟූ ශිල්පිනිය තෝරන්න. ඒ වෙනුවෙන් ලබා දී ඇති පිළිතුරු මෙසේ ය.

1. අයිරාංගනී සේරසිංහ

2. සෝමලතා සුභසිංහ

3. කෞශල්‍යා ප්‍රනාන්දු

4. මානෙල් ජයසේන

මෙහි නිවැරදි පිළිතුර ලෙස දී ඇත්තේ අයිරාංගනී සේරසිංහ ය.

සෝමලතා සුභසිංහ මහත්මියත්, කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මියත් යන දෙදෙනා ම සිංහල නාට්‍යවල ද, ඉංග්‍රීසි නාට්‍යවල  රඟපෑ බව මම හොඳින් ම දනිමි. මන් ද මම ඒවා නරඹා ඇත්තෙමි. එවිට යට කී ප්‍රශ්නයට පිළිතුර අයිරාංගනී සේරසිංහ පමණ ද..? තවත් මෙ බඳු වැරදි බොහෝ ය. මේ නිසා බල්ලොත් එක්ක බෑ 1, 2 , චරිතේ හොරු අරන් එක දෙක, පැන්ඩෝරා, නරි බුරති එක දෙක, මල් වඩම් අනවශ්‍ය යි ,කෑම ලෑස්තියි, රූකඩ රාජ්‍ජේ, 361, ගරු කටානායකතුමනි, ඇතුළු අවර ගණයේ ජනප්‍රිය නාටක රැල්ලක් ද වර්තමානයේ දැකිය හැකි ය. එහෙත්, ඒවා නරඹන්නට ප්‍රේක්ෂාගාර පිරී ඉතිරී යති. එය ව්‍යාපාරයක් පමණකි. ඒ වායේ රඟන රූපණ ශිල්පීන්ගේ සිවිල් ප්‍රතිරූප අලෙවි කර, බොළඳ, හාස්‍ය සහ විනෝදය සොයන ජනතාවගේ පොකට් එකට තට්ටු කරන මෙබඳු නාටක එකල ද තිබුණි.

 

මනමේ කුමරු නික්ම යයිමනමේ
එනම්: රැල්ල, වල්ල, කොක්ක, වැලිකඩ සුදා, සිකිවුරිටි සින්නතම්බි, සාජන් නල්ලතම්බි , කුරුල්ලා, රැළිය, සුළිය යනු එබඳු නාටක වේ. එහෙත්, ඒවා යටපත් කරගෙන: පුන්තිලා, සෙනෙහෙබර ඩොලී, පුත්‍ර සමාගම, උත්තමාවි විනිශ්චය, වරෙන්තු, සාක්කි, ජයලත් මනෝරත්න, කේ. බි. හේරත්, රාජිත දිසානායක, බුද්ධික දමයන්තගේ (ඇතැම් නාට්‍ය), බන්ධුල විතානගේ, ධර්මසිරි බණ්ඩාරනායක, එදිරිවීර සරත්චද්‍ර, සුගතපාල ද සිල්වා, යනාදි නාට්‍යවේදීන්ගේ නාට්‍ය ජයකෙහෙළි නංගමින් කරළියට පැමිණ අවර ගණයේ නාට්‍ය රැල්ල පලවා හැරියේ ය.

වර්තමානයේ අවරගනයේ, බොළඳ හාස්‍ය වපුරන නාට්‍ය රැල්ලට අනෙකුත් නාට්‍යකරුවන් වඩ වඩාත් හොඳින් මාවත විවෘත කරමින් ඉඩ ලබා දී ඇත. මහත් ම ඛේදවාචකය එය යි. ප්‍රවීණ යැයි, ප්‍රබුද්ධ යැයි, කියාගන්නා, සම්මාන ලබාගත් නාට්‍යකරුවන් යැයි නම දිනා ගත් අය පවා ගජරාමෙට බොළඳ හාස්‍ය නාට්‍ය නිර්මාණය කරන බව පෙනෙන්නට තිබේ. නාට්‍ය දෙක තුනක් හැර අන් සියලුම නාට්‍ය සේවය කරනුයේ එතැනට ය. ප්‍රසාද් සූරියාරච්චි, ‘‘හරිම බඩු තුනක්’’ නාට්‍ය නරඹා මා සමග පැවසූ ආකාරයට අනාගතයේ නාට්‍ය නරඹන්නට කිසිවෙකු රංගශාලාවලට නො එනු ඇත. මෙය වහා ම වෙනස් කළ යුතුව ඇත. අර්ථපතියන් ද, අධ්‍යක්ෂකවරුන් ද, දක්ෂ මෙන් ම ප්‍රවීණ රූපණවේදීන් සහ වේදිනියන් ද මෙය සිතට ගත යුතු ය.

මෙය වර්තමාණයේ කලා මාධ්‍ය සියල්ලෙහි ම දක්නට ලැබෙන අවපාතයකි. ගීත සාහිත්‍යය විනාශ වී අවසන් ය. චිත්‍රපටය ද වරදවා ගෙන ඇත. නවකතාවට ද, කවියට ද, ටෙලිනාටකයට ද මේ සංතෑසිය ම සිදුවී ඇති බව මා විශේෂයෙන් කිව යුතු නො වේ. එබැවින්, මේ ලියවිල්ල බලා මට අවි අමෝරාගෙන නො පැමිණ, මේ ගැන සිතා බැලීම යෙහෙකි.

නිර්මාණවල බංකොලොත් භාවයට වඩා භයානක තත්ත්වය වන්නේ ඒවා පිළිබඳ නියම බරකින්, අපක්ෂපාතී ලෙස කෙරෙන විචාරයක් නො මැති වීම ය. විචාරකයින් නිහඬ ය. ඒ අය පිට කැසීම හෝ ඕනෑ ම දෙයක් වන්නට, ඇඟිලි දම දමා, හාට් ලකුණු දම දමා, ‘‘නියමයි’’ ‘‘ෂෝක්’’ ‘‘ ඒකනං මරු’’ යනාදි පිළිතුරු සහ හෝයියා කමෙන්ට් දමමින්, ඒවා අගය කරණු විනා වරදක් පෙන්වා දෙන්නට උත්සාහ නො කිරීමෙන් සමහර අයගේ දෙවන, තුන්වන නිර්මාණ පවා එක තැන පල්වෙන අවර ගණයේ නිර්මාණ බවට පත් වී තිබේ. ඒ බැවින් අපක්ෂපාතී විචාරකයිනි, ඔබගේ විචාරය අපක්ෂපාතීව සඳහන් කරන්නට තරම් අවංක වෙන්න.

උදාහරණ :- කිසිදු නාට්‍යමය ගුණයක් නොමැති නාටකවලට ඔවුන්ගේ හිතවතුන් ‘‘ඒකනං නියමයි’’ ‘‘මරු’’, ‘‘ මරේ මරු’’, යනාදි වශයෙන් කමෙන්ට් දමා මුරුන්ගා අතුවල නග්ගවා ඇත.

එබැවින් මේ අවස්ථාවේ ම කරන්නේ ම’විසින් කළ යුතු යුතුකමකි. නාට්‍යකරුවන් සියලු දෙනා, මට වෛර කිරීම අතහැර වඩා නිවැරදි මගක් සෙවීම කළ යුතු නොවේ ද...?

කමන්න, වඩා හොඳ ලෝකයක් තනාගැනීමට මඟ තැනිය හැක්කේ, කලාකරුවාට ය. ඒ අතරින් ප්‍රධානතම කලාකරුවා වන්නේ නාට්‍යකරුවා ය.


මුදු රංජි 02(මු.දූ. රංජිත් ද සිල්වා)
ප්‍රවීණ නාට්‍යවේදී

2024. 02. 24

(මු. දු. රංජිත්  සිල්වාගේ ෆේස්බුක් පිටුවෙන් )


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්