ඕනෑම කලා කටයුත්තක යෙදෙන පුද්ගලයකු විසින් නිර්මාණය කරනු ලබන ඕනෑම කලා නිර්මාණයක් සඳහා සුවිශේෂී කරුණු තුනක් බලපාන බව අභිනව ගුප්ත නමැති පඬිවරයා පවසා ඇති බව මා මෙන් ම ඔබ ද කියවා ඇතුවාට සැකයක් නොමැත.
ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලැබ ඇත්තේ වෙසෙසින් ම කාව්‍යකරණය පිළිබඳ වුව ද එය කාව්‍යකරණයට පමණක් සීමා නොවන බව මගේ පුද්ගලික අදහස ය.
මෙම ලිපිය ආරම්භයේ දී ම ‘‘ඕනෑම කලා කටයුත්තක යෙදෙන පුද්ගලයකු විසින් නිර්මාණය කරනු ලබන ඕනෑම කලා නිර්මාණයක් සඳහා සුවිශේෂී කරුණු තුනක්’’ යනුවෙන් මා සඳහන් කළේ එබැවිනි.
මෙම කරුණු තුන කුමක් ද යන්න විවිධ ලිපි ලේඛන තුළ ඔබ කියවා ඇතුවාට ද සැක නොමැත. නමුදු එය යළිත් සිහිපත් කරන්නේ නම්: ප්‍රතිභාව ලෙස හඳුන්වා ඇත්තේ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය ම විඳි අත්දැකීමක් ඇසුරෙන් හෝ ඔහු හෝ ඇය ඇසු-දුටු අත් දැකීමක් සඳහා තම පරිකල්පන ශක්තිය ද යොදවමින් කිසියම් නිර්මාණයක් බිහි කිරීම ය.
ව්‍යුත්පත්තිය යනුවෙන් හැඳින්වෙන්නේ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය සතුව පවත්නා විවිධ ශාස්ත්‍ර ඇතුළු විවිධ විෂය සම්බන්ධ පරිණත අවබෝධය යි.
සතතාභ්‍යාසය යනු නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය අදාළ නිර්මාණ ක්ෂේත්‍රය තුළ නිරන්තරව ම ගැවසෙමින්, නිර්මාණකරණයේ යෙදෙමින් ලබාගන්නා අභ්‍යාසය හෙවත් ප්‍රාගුණ්‍යය යි.
මගේ පුද්ගලික අත්දැකීම් සහ අදහසට අනුව මෙම කරුණු ත්‍රිත්වය අතුරින් වඩාත් වැදගත් වන්නේ තෙවන කරුණ යි. එනම්: කිසියම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියකගේ පළමු කලා නිර්මාණයේ සිට ජනගත කෙරෙන අනෙක් නිර්මාණ (කවි, කෙටිකතා, නවකතා හෝ වෙනත් කලා නිර්මාණ) පළමු නිර්මාණය අභිභවිය යුතු ය යන්න ය. බොහෝ විට එය එසේ නොවිය හැකි ය. එය මෙම ලිපිය ලියන මට ද වලංගු විය හැකි ය.
නමුදු කලාකරුවකු හෝ කලාකාරියක නිරන්තරයෙන් ම උත්සුක විය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ පළමු නිර්මාණයෙන් ඉක්බිතිව සමාජ ගත කරන සෑම නිර්මාණයක් ම පෙර නිර්මාණ අභිභවීම වෙනුවෙනි. එසේ නොවුණ හොත්: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව අදාළ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු සහ විශ්වාසය බිඳ වැටීමට පිළිවන. එතැන් සිට යළි එම විශ්වාසය ගොඩනගා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය අදාළ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය තමාට ම කරගන්නා හානියක් මෙන් ම ඇය හෝ ඔහු වෙතින් වඩාත් පිරිපුන් නිර්මාණයක් බලාපොරොත්තුවෙන් පසුවන: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව වෙත ද කරන අසාධාරණයකි.
මෙම සිදුවීම අදාළ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය සිතා මතා කරන දෙයක් නොවේ. නමුදු එය එසේ සිදු නොවන්නට ඇය හෝ ඔහු වගබලාගත යුතු ය යන්න මගේ පුද්ගලික අදහස ය.
මා මෙම සටහන තැබුවේ කාන්චනා ප්‍රියකාන්ත ලේඛිකාවගේ තෙවන කෙටිකතා සංග්‍රහය වන ‘‘මං චිත්‍රපටියක’’ කෘතිය කියවීමෙන් ඉක්බිති අදාළ නිර්මාණ සංග්‍රහය පිළිබඳ අදහස් දැක්වීමේ ආරම්භයක් ලෙසිනි.
ලේඛිකාවගේ පළමු කෙටිකතා සංග්‍රහය අභිභවන්නට දෙවන කෙටිකතා සංග්‍රහය සමත් වී තිබුණ ද දෙවන කෙටිකතා සංග්‍රහය අභිභවන්නට තෙවන කෙටිකතා සංග්‍රහය සමත් වී නොමැත. සමස්ත කෘතිය ම අසම්පූර්ණ කෘතියක් යැයි මම මෙයින් අදහස් නොකරමි. නමුදු ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ‘‘කර්මක්ෂ’’ අභිභවන්නට මෙම සමස්ත නිර්මාණ සමුච්චය අසමත් වී ඇත යන්න මගේ අදහස ය.
‘‘කර්මක්ෂ’’ කෙටිකතා සංග්‍රහයේ මෙන් නොව ‘‘මං චිත්‍රපටියක’’ කෙටිකතා සංග්‍රහයේ දී කතුවරිය ‘‘කතන්දර කලාව’’ වෙත වඩාත් නැඹුරු වී ඇත යන්න මගේ හැඟීම ය. කෙටිකතාවක කතන්දරයක් නොතිබිය යුතු ය යන්න මම මෙයින් අදහස් නොකරමි. නමුදු නූතනයේ කෙටිකතාව අත්පත් කර ගෙන තිබෙන ස්ථානය කතන්දර කලාව ඉක්මවන තත්ත්වයකි. කර්මක්ෂ කෘතියේ දී ඇය එම මානය ස්පර්ශ කරන්නට සමත් වුව ද ‘‘මං චිත්‍රපටියක’’ නිර්මාණ සංග්‍රහයේ දී ඇය ආපස්සට ගමන් කර ඇති බව මගේ කියවීම ය.
කෘතියේ අන්තර්ගත කෙටිකතා හත අතුරින් ‘‘රඟමඬලක’’ නිර්මාණය ආකෘතිමය පාර්ශ්වයෙන් නැවුම් භාවයක් උසුලන අතර ම සැබෑ ගුරුවරයකුගේ වගකීම කුමක් ද යන්න ඉතා මැනවින් ප්‍රකට කරන්නට කතුවරිය සමත් වී ඇත. එමෙන් ම ‘‘ගණිකාව’’ ලෙස සමාජයෙන් වියුක්ත කළ කාන්තාවක් තුළ වුව ද උතුම් ගුණාංගවලින් පිරිපුන් කාන්තාවක් සිටින බව ප්‍රකට කිරීම සඳහා කතුවරිය දරා ඇති ප්‍රයත්නය පැසසිය යුතු ය.
මෙම නිර්මාණ සංග්‍රහයේ අන්තර්ගත ‘‘දහිර වාට්ටුව’’ නමැති නිර්මාණය තුළ ද කතුවරිය පවත්නා සමාජ ක්‍රමය තුළ ජීවත්වන මිනිස් ප්‍රාණීන් සැබැවින් ම ජීවත් වනවා ද, එසේත් නොමැති නම් ඔවුන් මළ මිනී සේ කල් ගෙවනවා ද යන්න ප්‍රශ්න කරන්නී ය. එමෙන් ම පාලක පෙළැන්තිය වඩා රුචිකත්වයක් දක්වන්නේ මළ මිනී සේ ජීවත්වන මිනිස් ප්‍රාණින් සමුහයකට ය යන්න ම මෙම නිර්මාණය තුළ ව්‍යංගයෙන් කියැවේ.
යට කී නිර්මාණ ද්වයේ දී මෙන් ම ‘‘ඔරලෝසු කණුව’’ නමැති නිර්මාණයේ දී ද පවත්නා සමාජ ක්‍රමයේ මජර භාවය මෙන් ම මුග්ධ භාවය ප්‍රකට කරන්නට කතුවරිය සමත් වී ඇති බව සඳහන් කළ යුතු ය. නමුදු අනෙක් නිර්මාණ හතර කාංචනා ප්‍රියකාන්ත නමැති ලේඛිකාව වෙතින් බලාපොරොත්තු විය නොහැකි තරමේ අසම්පූර්ණ නිර්මාණ සතරකි. එම නිර්මාණ සතර සඳහා පාදක කරගන්නා අනුභුති බැහැර කළ නොහැකි වුව ද එම නිර්මාණ ප්‍රබන්ධකරණයේ දී කතුවරිය සිය නව්‍ය නිපුණතා උපයෝගි කර නොගැනීම බරපතළ අඩුපාඩුවකි.
කාන්චනා ප්‍රියකාන්ත යනු නව්‍ය ප්‍රබන්ධකරණය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති ලේඛිකාවක නොවේ. නමුදු ඇය සිය නිර්මාණ කපා කොටා ඔපමට්ටම් කිරීමට මැළිකමක් දක්වා ඇති බව මෙම නිර්මාණ සතරෙහි ම දක්නට ලැබෙන ලක්ෂණ ය. මට හැඟෙන ආකාරයට නම් කතුවරිය ‘‘නිර්මාණ සංග්‍රහයක්’’ ජනගතකිරීමේ දොළ දුකකින් පෙළී ඇති බැවින් සිය නිර්මාණ නැවත නැවත කියවා එහි අඩුපාඩු සකස් කරගැනීමට උත්සුක වී නොමැත. එසේ උත්සුක වූවා නම් එම නිර්මාණ සතරෙහි අනුභූති වුව ද මීට වඩා දියුණු මට්ටමින් පාඨක ප්‍රජාව වෙත ගෙන යන්නට ඇයට හැකියාවක් පැවතියා ය යන්න මගේ හැඟීම ය. ඇය එකී උත්සාහය පසෙක ලා කඩිනමින් නිර්මාණ සංග්‍රහයක් සමාජ ගතකිරීම වෙනුවෙන් සිය නිර්මාණ කෞශල්‍ය භාවිතයට නොගෙන ඒ සියල්ල වුවමනාවෙන් ම බැහැර කර ඇත. නිර්මාණකාරියක ලෙස මෙය බරපතළ වරදකි; ඇය ඇය වෙනුවෙන් ම කරගන්නා වරදකි; එමෙන් ම ඇගේ පාඨක ප්‍රජාව වෙත ද කළ වරදකි; ඇගේ පාඨක ප්‍රජාවගේ බලාපොරොත්තු සිඳ බිඳ දැමීමකි; විශ්වාසය පලුදු කිරීමකි.
මෙහි දී මා රචනා කරන්නේ මා මෙම නිර්මාණ සංග්‍රහය දුටු ආකාරය යි. එබැවින් තවකකු මෙම නිර්මාණ සංග්‍රහය පිළිබඳ කිසියම් ඇගයීමක් කර තිබේ නම් එය අදාළ පුද්ගලයාගේ දැක්ම ය. ඒ පිළිබඳ මට කිසිදු ගැටලුවක් නොමැත. නමුදු මා කාන්චනා ප්‍රිකාන්තගේ තෙවන කෙටිකතා සංග්‍රහය තුළින් මිට වඩා දියුණු නිර්මාණ බලාපොරොත්තු වූ බව මෙහි දී වෙසෙසින් ම සඳහන් කළ යුතු ය.
අවසන් වශයෙන් යළිත් පවසන්නේ ඔබගේ ‘‘කර්මක්ෂ’’ කෙටිකතා සංග්‍රහ සමග මෙම නිර්මාණ සමුච්චය සැසඳුවහොත් එම නිර්මාණ සමුච්චයට අලගු තබන්නට හෝ ‘‘මං චිත්‍රපටියක’’ අසමත්ව ඇත යන්න ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/04/21