බන්ධනාගාරගත කරන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු සඳහා පිටතට රැගෙන ඒමේදී චීවරය භාවිතය සම්බන්ධයෙන් නිර්දේශ දීමට රජය කමිටුවක් පත්කිරීම පදනම් විරහිත පියවරක් බව පෙන්වා දෙමින් එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
දැනට පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝග ප්රමාණවත් බව පෙන්වා දෙන එජාපය, මෙවැනි කමිටුවක් හරහා සිදුවන්නේ ප්රශ්නය යටපත් කිරීමක් බවට තර්ක කරයි.
නිත්ය නියෝග 550 පෙන්වන එජාප තර්කය
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මීට පෙර මතු කළ කරුණු උපුටා දක්වමින් එජාපය පෙන්වා දෙන්නේ, බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි මේ සම්බන්ධයෙන් පැහැදිලි විධිවිධාන ඇතුළත් බවයි.
එම නියෝගය අනුව:
“යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු කරනු ලැබු සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් (සිරකරු ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් නොකළ යුතුය.”
“බන්ධනාගාර වීමට ප්රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැළපෙන වස්ත්රයක්) ඇඳීමට ඔහුට අවසර දිය යුතුය.”
නීතිය තුළ මෙවැනි සෘජු මඟපෙන්වීමක් පවතිද්දී, නැවත කමිටු පත්කිරීම කාලය ඇදගැනීමේ උත්සාහයක් ලෙස එම පක්ෂය හඳුන්වයි. එමෙන්ම පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම පිළිබඳව මහානායක හිමිවරුන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර සමාව අයැද සිටිය යුතු බවද එජාප නිවේදනයේ සඳහන් වේ.
රජයේ මේ අවස්ථාවදී පියවර ද එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළා දකී.
රජයේ පාර්ශ්වයේ පැහැදිලි කිරීම
විපක්ෂයේ මෙම චෝදනාවලට ප්රතිචාර දක්වන රජයේ ආරංචි මාර්ග සහ අධිකරණ අමාත්යාංශය පෙන්වා දෙන්නේ, පවතින නියෝගවල ප්රායෝගිකව ක්රියාත්මක කිරීමේදී පැනනැගුණු අපැහැදිලි තැන් නිරාකරණයට මෙම කමිටු නිර්දේශ ඉවහල් වන බවයි.
ඒ අනුව නිත්ය නියෝග 356 සංශෝධනය කරමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දීමට දින 10ක කාලයක් ලබාදීමත්, අදාළ නිකායෙන් දැනුම් දෙන තුරු චීවරය දැරීමට නිශ්චිත නීතිමය රැකවරණයක් දීමත් අරමුණු කරගත් බව අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්රකාශ කරයි.
දැනට පවතින නීතිමය වගන්තිවල අර්ථකථනය සහ නව කමිටු නිර්දේශ බලාත්මක කිරීම සම්බන්ධ මෙම වාග් සංග්රාමය ඉදිරි දිනවලදී තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.



