චීන ජනාධිපති ෂී ජින්පින්ග් 2023 ජූලි 20 වන දින චීනයේ අගනුවර බීජිං හි ඩයඕයුටායි රාජ්‍ය ආගන්තුකාගාරයේදී හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් හමු වීම. (Xinhua/Huang Jingwen)

 

කලක් හුදෙකළා ධීවර ගම්මානයක් වූ ෂෙන්ජෙන් නගරය විචිත්‍රවත් නවීන අගනගරයක් බවට පරිවර්තනය කිරීම, චීනයට ආවේණික වූ නව්‍යකරණයේ සහ අධිෂ්ඨානයේ අසහාය ආත්මය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. දුගීබාවයේ සිට සමෘද්ධිය දක්වා වූ මෙම ආකර්ශනීය ගමන චීනයේ සුවිශේෂී ගුණාංගවලින් පිරුණු සමාජවාදයේ විභවය ප්‍රදර්ශනය කරනවා පමණක් නොව බලාපොරොත්තුව, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සංකේතවත් කරයි. ෂෙන්ජෙන් 1970 ගණන්වල අග භාගයේදී චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීමේ මුලපිරීම් සඳහා පර්යේෂණාත්මක මායිම ලෙස තෝරා ගනු ලැබුවේ දෘෂ්ටිවාදයට වඩා ප්‍රතිඵලවලට ප්‍රමුඛත්වය දුන් ඩෙන් ෂියාඕපිං විසිනි. 

5f4607cea310675e2099ea13ෂෙන්ජෙන්

මෙම වෙරළබඩ ගම්මානයේ නිදහස් වෙළඳපොල ධනවාදය සමාජවාදය සමඟ මුසු කිරීමට චීන රජය ගත් තීරණය විශ්මයජනක ප්‍රතිඵල ලබා දුන්නේය. දැක්ම, කැපවීම සහ රටට ගැලපෙන පරිදි වෙනස් කළ සමාජවාදය දීප්තිමත් අනාගතයක් සඳහා පාර කියන ප්‍රගතියේ ආලෝකයක් ලෙස ෂෙන්ජෙන් චීන සිතියමේ සිතුවම් වූයේ ඒ අනුවය. 

අද එනම් ඔක්තෝබර් 1 වැනිදා මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ වාර්ෂික සැමරුම චීනයේ ඉරණම හැඩගැස්වීමේදී අසමසම භූමිකාවක් ඉටු කළ මාඕ සේතුං නම් ස්මාරක චරිතය සහ ඔහුගෙන් පසු රටට නායකත්වය දුන් නායකයින් ගැන මෙනෙහි කිරීමට පොළඹවන්නේ මෙම සන්දර්භය තුළ ය. මහජන සමූහාණ්ඩුවේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ පියා වන මාඕ බහුවිධ උරුමයක් සහිත සංකීර්ණ චරිතයකි. ඔහුගේ අසහාය නායකත්වය 1949 දී යුද්ධයෙන් හෙම්බත් වූ ජාතියක් එක්සත් කරමින් ජාතිකවාදීන්ට එරෙහිව චීන කොමියුනිස්ට්වාදය ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

Top questions answers Mao Zedong.jpg

මාඕ සේතුං

සමාජ සාධාරණත්වය සඳහා වූ ඔහුගේ කැපවීම ඉඩම් ප්‍රතිසංස්කරණ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම වැනි ප්‍රතිපත්ති තුළින් ඔප්පු වූ අතර එය බොහෝ දෙනෙකුගේ ජීවිත වලට නව අරුතක් ලබා දුන්නේය. එම දීර්ඝ ගමනේ ගුණ නුගුණ රැසක් පවතින බව අවිවාදිතය. 

මාඕ සේතුංගේ කැලඹිලි සහිත යුගයෙන් පසුව, පාලනයට පත්කළ නායකයින් යටතේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබුණි. එය ජෝව් එන්ලායි ගෙන් ආරම්භ වි ෂි ජින්ග්පින්ගේ ගේ වත්මන් නායකත්වය දක්වා විහිදේ. ජෝව් එන්ලායිගේ ධුර කාලය මුල් පශ්චාත් මාඕ යුගය සනිටුහන් කළ අතර, එහිදී ඔහු රට ස්ථාවර කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. කෙසේ වෙතත්, චීනය සැබවින්ම ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ නවීකරණයක්, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ වෙළඳ සබඳතා පුළුල් කිරීමේ මාවතකට අවතීර්ණ වූයේ ඩෙන් ෂියාඕපින්ගේ මගපෙන්වීම යටතේ ය. මෙම යුගය චීනයට ගෝලීය ආර්ථික බලවතකු ලෙස නැගී සිටීමේ පසුබිම සකස් කළේය.

Deng Xiaoping, chairman of the chinese Peaple's political consultative conference. In the background Hu Yaobang. April 16, 1980. (Photo by Edoardo Fornaciari/Getty Images)

ඩෙන් ෂියාඕපින්

ඩෙන් ෂියාඕපින් විසින් නායකත්වය දුන් චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ චීනයේ වේගවත් ආර්ථික වර්ධනයට සහ නවීකරණයට දායක වූයේ රට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළඳ සබඳතා පුළුල් කරමිනි. කෙසේ වෙතත්, චීන කොමියුනිස්ට් පක්ෂය තුළ දූෂණය වැනි අක්‍රමිකතා ඔහුගේ පාලන කාලය තුළද පැවතීම නිසා පුළුල් සමාජ හා දේශපාලන සංවර්ධනයට බාධා ඇතිවිය. පසුව, යං ෂැංකුන් 1989 දී ටියනන්මෙන් චතුරශ්‍රයේ විරෝධතාවලින් පසුව බලයට පත් වූ අතර, සමාජ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

ජියැන් ශේමින්ගේ නායකත්වය, 1993 සිට 2003 දක්වා විහිදී ගිය අතර චීනය ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ වීම තවදුරටත් වර්ධනය විය. චීනය ලෝක වෙළඳ සංවිධානයට (WTO) ඇතුල් වීම ඔහුගේ කාලය තුළදී සිදුවූ සුවිශේෂී සිදුවීමකි. ඒ හා සමානව, 2003 සිට 2013 දක්වා නායකත්වය දුන් හූ ජින්ටාඕ, සමාජ අසමානතා සහ පාරිසරික ගැටලු වලට ප්‍රමුඛත්වය දෙමින් චීනයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය අඛණ්ඩව කරගෙන ගියේය. වත්මන් නායකයා වන ෂී ජින්පින්ග් යටතේ චීනයේ ගෝලීය බලය තවත් පුළුල් වී ඇත. විශේෂයෙන් ගෝලීය දකුණේ බලය විස්තාරණය වී ඇත. 

ගෝලීය ගැටලු වලට මැදිහත්වීමේ හැකියාව පුළුල් වී ඇත. සාරාංශයක් ලෙස ගත් විට, මාඕගෙන් පසු චීනයේ ප්‍රගතිය ආර්ථික සංවර්ධනය, දේශපාලන ස්ථාවරත්වය, මානව හිමිකම් සහ රටේ නූතන ඉතිහාසය හැඩගැස්වීමේදී මෙම නායකයින් මනාව කටයුතු කර ඇති අකාරය ආකර්ශනීයය.

NINTCHDBPICT000412578486.jpg

මෙහිදී දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා චීනයේ ප්‍රවේශය සැබවින්ම සැලකිය යුතු සහ අධ්‍යනය කළයුතු කරුණකි. එහි සඵලතාවයට පාදක වූ ප්‍රධාන අංග අතරට දරිද්‍රතාවයේ විවිධ ස්වභාවයන් වලට ආමන්ත්‍රණය කරන ඉලක්කගත ප්‍රවේශය, යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු ආයෝජන, ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරකම් විවිධාංගීකරණය, ශක්තිමත් සමාජ ආරක්ෂණ සමාජ-දැල් පිහිටුවීම සහ අන්ත දරිද්‍රතාවයට හෝ පාරිසරික වශයෙන් අභියෝග වලට මුහුණ දෙන ප්‍රදේශ සඳහා වෙනත් ආරක්‍ෂිත නැවත ස්ථානගත කිරීමේ වැඩසටහන් ඇතුළත් විය. මෙම බහුවිධ උපාය මාර්ග චීනයේ දේශසීමා තුළ අන්ත දරිද්‍රතාවය තුරන් කළා පමණක් නොව, ලෝක බැංකුව විසින් පවා සටහන් කර ඇති පරිදි මිලියන 850 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීම මගින් ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීමේ ප්‍රයත්නයට කල්පවත්නා විසඳුමක් ලබාදී ඇත.

දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයට සමගාමීව, ජනාධිපති ෂී ජින්පින් පරිපාලනය විසින් දියත් කළ දූෂණ විරෝධී ව්‍යාපාරය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. මෙම ව්‍යාපාරය දූෂණයට එරෙහිව පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇත. විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ආයතනික ප්‍රතිසංස්කරණ, කොමියුනිස්ට් පක්ෂයේ විනය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීම සහ පුළුල් මහජන දැනුවත් කිරීමේ ප්‍රයත්නයන් මෙම මෙහෙයුමේ ප්‍රධාන කොටස් වේ. දරිද්‍රතාවය පිටුදැකීමේ සහ දූෂණ විරෝධී ප්‍රයත්නවල ද්විත්ව සාර්ථකත්වය චීනයේ දේශසීමාවෙන් ඔබ්බට ගමන් කර ඇති පරමාදර්ශ බවට පත්වෙමින් තිබේ. 

මිනිසෙකුට විඳීමට සිදුවන අමිහිරිම අත්දැකීම නම් දුප්පත්කම සහ තම ශ්‍රමය දේශපාලන බලය සමග සෙල්ලම් කරන අවිනීත හොරෙකු හෝ හොරු කණ්ඩායමකට ගොදුරු වීමය. එවැනි අත්දැකීම් බහුල සමාජයක සමාජ විෂමතාවය පළල් වේ. සැබෑ නායකයෙකුගේ වගකීම වන්නේ එම විෂමතාවය අවම කිරීමය. චීනය ගෙවුණු දශක කිහිපය පුරා මෙම සමාජ විෂමතාවය අවම කිරීම සඳහා කැප කළේය. චීනය මානව ශිෂ්ටාචාරයේ අනිවාර්ය කොටසක් බවට පත් වී ඇත්තේ ඒ අනුවය. 

අවාසනාවට මෙන් චීනය ගැන වැරදි වැටහීම් රාශියක් තිබේ. ඒ සඳහා බටහිර ජනමාධ්‍යය විශාල බලපෑමක් කර ඇති අතර එම ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරන චීන විරෝධී තොරතුරු එකම සත්‍යය ලෙස පිළිගැනීමේ නැඹුරුතාවයක් තිබේ. මෙය ඉතාම හානිකරය. 

චීනය අවබෝධ කර ගැනීම සඳහා ඒ ගැන කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකට වඩා වැඩි යමක් අවශ්‍ය වන අතර  ඒ සඳහා පූර්ව නිගමනවලින් මිදීම සහ බටහිර ජනමාධ්‍යය ඔස්සේ ලබාදෙන ආඛ්‍යානවල සීමාවන්ගෙන් නිදහස් වීම අත්‍යවශ්‍යය වේ. මෙම සංකීර්ණ රාජ්‍යයේ ගමන්මග අවබෝධ කර ගැනීමේ සාරය පවතින්නේ චීනයේ ඓතිහාසික සමාජ විකාශනය, සංස්කෘතික පොහොසත්කම සහ එහි ගෝලීය භූමිකාව මෙන්ම ඊට ආවේණික වූ දේශපාලන ව්‍යුහය හඳුනා ගැනීම තුළ ය. විවෘත මනසකින් චීනය අවබෝධ කරගැනීම සඳහා ප්‍රවේශ වීම අත්‍යවශ්‍යයය. 



91FsyYk701L. AC UF10001000 QL80 චිලියේ ඇල්ලෙන්දේ බලයෙන් පහ කිරීම, වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය යුදබිම් බවට පත් කිරීම, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදය දූවිලි බවට පත්කිරීම වැනි සිදුවීම් පිටුපස සිටි ප්‍රධාන චරිතය නිසා විශාල නොගැලපීම් සහ විරෝධයන් තිබුණත් චීනය අවබෝධ කරගැනීම සඳහා හේතුවාදී මාර්ගෝපදේශකයෙකු ලෙස හෙන්රි කිසිංගර් හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. ඔහුගේ මූලික කෘතිය වන "ඔන් චයිනා", ඒ සඳහා වැදගත් ප්‍රවේශයක් වන අතර කිසින්ජර්ගේ අධිෂ්ඨානශීලී ප්‍රායෝගිකත්වය සහ සැබෑ දේශපාලනික ප්‍රවේශය දෘෂ්ටිවාදී පක්ෂග්‍රාහීත්වයන් ඉක්මවා චීනය සමඟ නිර්මාණාත්මක සංවාදයක නිරත වීමට පැහැදිළි අවස්ථාවක් ලබා දෙයි. 

ජනාධිපති නික්සන්ගේ රහසිගත චීන සංචාරයේ සිට "පිං පොං" රාජ්‍ය තාන්ත්‍රිකත්වය දක්වා ඉතිහාසගත සිදුවීම් සඳහා කිසින්ජර්ගේ මැදිහත්වීම, රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයන්ගේ විපල්වීය ස්වභාවය අවධාරනය කරන්නේය. ඔහු සුළු හැසිරීම් ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික සංඥා ඇති කරන්නේ කෙසේදැයි පැහැදිලි කළේය. එක්-චීනයක් ප්‍රතිපත්තියේ සිට සීතල යුද්ධයේ මූලෝපායික ගතිකත්වය, ඩෙන් ෂියාඕපිංගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ චීනය ගෝලීය ආර්ථික බලාගාරයක් ලෙස නැගීම දක්වා වූ ප්‍රශ්න සහ ජයග්‍රහණ පිළිබඳ කිසින්ජර්ගේ තීක්ෂ්ණ බුද්ධිය මිල කළ නොහැකිය.  එපමනක් නොව, සංවේදී ගැටලු කළමනාකරණය කිරීම, පොදු අවශ්‍යතා මත පදනම් වූ ක්‍රියාකාරකම් පෝෂණය කිරීම සහ බටහිර සාරධර්ම පැනවීමට ප්‍රතිරෝධය දැක්වීම කෙරෙහි කිසින්ජර් අවධාරණය කිරීම මගින් චීනය සමග කටයුතු කිරීමට අවශ්‍යය ප්‍රායෝගික මග පෙන්වීමක් ලබාදුන්නේය. 

map pins
ලෝකයේ දේශපාලන සිතියම වෙනස් වෙමින් තිබේ. සුපිරි බලවතුන්ගේ බලය අභ්‍යන්තර ගැටුම් නිසා දියවෙමින් තිබේ. බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ සිට වත්මන් සුපිරි බලවතා දක්වා අපට උගන්වනු ලැබූ මූලික ඓතිහාසික පාඩම නම් මේ කිසිම අධිරාජ්‍යයක් සදාකල් නොවන බවයි. ජාතීන් අතර ගැටුම් අවම කොට කළමනාකරණය කිරීම සඳහා බල තුලනය වැදගත් වන්නේ මේ නිසාය. කිසින්ජර් එහි පුරෝගාමියෙකි. 

ශීතල යුද්ධයෙන් පසු ආධිපත්‍යය දැරූ ඒක ධ්‍රැව ලෝක පර්යාය බිඳ වැටීම නැවත්වීම සඳහා ප්‍රොක්සි යුද්ධවල අවතාරය යළිත් හොල්මන් කරන වත්මන් අවිනිශ්චිත යුගයේ, නැවත වරක් නිර්දය ගැටුම්වල අගාධයට ඇද නොවැටී සාමය සඳහා මාවතක් ප්‍රස්ථාරගත කිරීම අත්‍යවශ්‍ය වේ. වියට්නාමයේ සිට ඉරාකය දක්වා, ආසියානු මහාද්වීපය වෙනත් පාර්ශ්වයන්ගේ වුවමණාවන් ඉටුකිරීම සඳහා යුද්ධයේ ගිනිදැල්වලට හසුවී විනාශ විය. මෙවැනි පසුබිමක චීනය ඉලක්ක කරගෙන ප්‍රධාන මිලිටරි බලවතුන් යළි  යුද්ධයක පැටලවීමට ගන්නා උත්සාහයන් සැහැල්ලුවට නොගත යුතුය. මන්ද එය ගැඹුරු හා දුරදිග යන ප්‍රතිවිපාකවලට හේතුවන බැවිනි.  එය චීනයට පමණක් එදිරි වූගැටුමක් නොව බටහිර අධිරාජ්‍යවාදීන්ගේ දාමරික බලයට යටත් වී විනාශවූ පසු විශාල කැපකිරීම් වලින් යළි හුස්මක් ගැනීමට උත්සහ කරන ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාප වලට එරෙහි ගැටුමකි. 

භූ දේශපාලනිකව, චීනය සමග ඇතිවිය හැකි ගැටුමක් මගින් පුළුල් කලාපීය ගැටුම් ඇවිලවිය හැකි අතර දේශගුණික විපර්යාස, මහජන සෞඛ්‍ය සහ දරිද්‍රතාවය තුරන් කිරීම වැනි තීරණාත්මක ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ සහයෝගීතාවයට බාධා පමුණුවමින් පවතින ජාත්‍යන්තර පර්යායේ සහ එහි ආයතනවල පදනම් ඛාදනය වනු ඇත. 

මෙවැනි අවස්ථාවක වැදගත් වන්නේ ඩෙන් ෂියාඕපින්ග් වරක් සඳහන් කළ පරිදි, "අපි අපේ මනස නිදහස් කර මතවාදී හෝ දේශපාලන අගතීන්ගේ විලංගුවලින් ගැලවීමය." පෙර නොවූ විරූ සංකීර්ණත්වයේ සහ අස්ථාවරත්වයේ යුගයක් පසුකරමින් සිටින අපට පැවැත්මක් ඇත්තේ එවිටය. 
 
හුදෙකළා මාළු වාඩියක් ලෙස පැවති ෂෙන්ජෙන් නවීන අගනගරයක් වූ කතාව පිටුපස ඇති කැපකිරීම් සහ සාමූහික වගවීම් වල වැදගත්කම තේරුම් ගැනීමට අපට හැකිනම් ආසියානු කලාපය යළිත් ආසියානු රුහිරයේ රහ බලන විවිධ අයවලුන්ගේ කෙළිමඩලක් වීම  වැළක්විය හැකිය. චීනය, චීනය බවට පරිවර්තනය වූ ආකාරය අවබෝධ කරගැනීම වැදගත් වන්නේ ඒ නිසාය.

pic nilantha ilangamuwa(නිලන්ත ඉලංගමුව)
නිදහස් මාධ්‍යවේදී 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image