ඊශ්‍රායලය දෙසට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් පසු දකුණුදිග ඛාන් යුනිස් (Khan Younis) හි වෙසෙන පලස්තීන වැසියන්ට වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් නියෝග නිකුත් කර තිබේ. 


එම ප්‍රදේශයෙන් නැගෙනහිර දෙසට පලා යන ලෙස ඔවුන්ට දැනුම් දී තිබේ. මුලින්, හඬ පණිවුඩ මගින්ද, පසුව සමාජය මාධ්‍ය ඔස්සේ ද මෙම දැනුම්දීම් සිදු කර තිබේ. ප්‍රදේශවාසීන් දැනටමත් පලා යමින් සිටී. 

 

gaza 30 06

ඊයේ ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 20ක ට අධික සංඛ්‍යාවක් එල්ල කෙරිණි. ගාසාහි, ගැටුම් ආරම්භ වීමෙන් පසු, ඊශ්‍රායලය වෙත එල්ල වූ බරපතලම රොකට් ප්‍රහාරය මෙය බව වාර්තා වේ. එරට ගුවන් ප්‍රහාර ආරක්ෂක පද්ධතිය (Iron Dome missile defence system) මගින් රොකට් ප්‍රහාර ගණනාවක් නිෂ්ක්‍රීය කෙරුණු අතර, කිහිපයක් පමණක් ජනශුන්‍ය විවෘත ප්‍රදේශයකට ඇද වැටී ඇතැයි ද වාර්තා වෙයි. ප්‍රහාර වලින් ඊශ්‍රායල වැසියන් කිසිවකුටත් හානි සිදුවී නැතැයි ඊශ්‍රායලය පවසයි.   

ඊශ්‍රායලය සිදු කරන අපරාධ වලට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ප්‍රකාශ කරයි.  

 

gaza4
මේ අතර, උතුරු ගාසා තීරයේ ෂෙජෙයා (Shejaiya) ප්‍රදේශයේ, පස් වන දිනටත් අඛණ්ඩ, දරුණු ගැටුම් පවතින බව වාර්තා වේ. දකුණු රෆා හිදී  සිය  හමුදා භටයකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායලය පවසයි. 

ඉකුත් ඔක්තෝබර 7 වන දින ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ දරුණු හා අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට, ඊශ්‍රායලය විශේෂ මෙහෙයුමක් දියත් කළේය. ත්‍රස්ත ප්‍රහාරයෙන්, ඊශ්‍රායල වැසියන් 1,200ක් පමණ මරණයට පත්වූ අතර 251 දෙනකු ප්‍රාණ ඇපකරුවන් බවට පත් විය. 

ඉන් අනතුරුව හටගත් ගැටුම් වලින්, මේ වනවිට ගාසා හි පුද්ගලයින් 37900ක් මියගොස් තිබේ. ඉකුත් පය 24 තුළ පමණක් තවත් පුද්ගලයින් 23 දෙනකු මිය ගොස් ඇතැයි එහි, හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.   

ඊශ්‍රායල ජනපද සහිත ගාසා තීරයේ කොටසක් වෙත ඉලක්ක කළ, මෙම නවතම රොකට් ප්‍රහාරය, එහි කිබුට්ස් හොලිට්ස් (Kibbutz Holit) මායිම් ප්‍රදේශය වෙත එල්ල වී තිබේ. ප්‍රහාරය, දකුණුදිග ඛාන් යුනිස් සිට මෙහෙයවා ඇති බවත්, එම ඉලක්ක මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි. 

 

gaza 56
මේ අතර, ඊයේ ප්‍රහාර වලින්, ඛාන් යුනිස් ප්‍රදේශය ආසන්න නගරයක එක් පුද්ගලයෙක් මියගොස්, තවත් රැසක් තුවාල ලබා ඇතැයි පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය, වෆා (Wafa) ප්‍රකාශ කරයි. 

නැගෙනහිර සහ මධ්‍යම ගාසා තීරයේ  නගර වීදියක් සහ සරණාගත කඳවුරක් ඉලක්ක කර ඊශ්‍රායල ප්‍රහාර දියත් කර තිබේ. ෂෙජෙයා ප්‍රදේශයේ සිදු කරන ලද හමුදා මෙහෙයුම් වලින් ත්‍රස්‌තවාදීන් රැසක් ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි. මෙහෙයුම් වලදී සතුරු අවි රැසක් අත්පත් කරගත් බවද ඔවුහු පවසති.  

බුද්ධි තොරතුරු මත පදනම්ව, මෙම මෙහෙයුම් දියත් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. උතුරු ගාසා තීරයේ ගැටුම් වලින් ඊශ්‍රායල හමුදා භාටයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. 

 

skynews gaza israel 6596231
පලස්තීන සරණාගතයින් පිලිබඳ, එක්සත් ජාතීන්ගේ ඒජන්සි (Unrwa) වාර්තා අනුව, ෂෙජෙයා වාසීන් 80,000කට පමණ වහා ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් දැනුම් දී තිබේ. එසේ පලා යන පලස්තීනුවන්ට, ගාසා තීරයේ ඇතැම් ඊශ්‍රායල හමුදා මුරපොල වලදී බාධා එල්ල වන බවද වාර්තා වේ. 

දරුණු ෂෙල් වෙඩි ප්‍රහාර වලින් බේරී පලායාම ඉතා අසීරු කටයුත්තක් බවත්, ඊශ්‍රායල හමුදා විසින් නිවාස සහිත ප්‍රදේශ මුළුමනින්ම විනාශ කර ඇති බවත් ප්‍රදේශ වාසීහු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළහ. සමස්ත ප්‍රදේශය, මුළුමනින්ම සාගත, ඝාතන සහ අවතැන්වීම් සහිත ව්‍යසන කලාපයක් බවට පත් වී ඇතැයි වාර්තා වේ. 

ගැටුම් හටගත් මුල් මාස කිහිපය තුළ ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්වූ උතුරු ගාසා තීරයේ පලස්තීන සටන් කරුවන් යලි ඒකරාශී වී ඇතැයි ද වාර්තා වේ. ඉකුත් මැයි මස සිට ගාසා හි රෆා ප්‍රදේශය ඊශ්‍රායල හමුදාවන්ගේ දැඩි ග්‍රහණයට නතු විය. රෆා හි හමාස් කැරලි සන්ධාන හතරෙන් තුනක් මේ වන විට මුළුමනින්ම අඩපණ කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. 

 



ඊයේ, ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ බටහිර කලාප වෙත සිය මෙහෙයුම් දියත්  කළ  අවස්ථාවේදීත්, 10,000කට අධික පලස්තීනුවන් පිරිසක් තව දුරටත් රෆා නගරයේ රැඳී සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

එම සටන් වලින් තවත් එක් හමුදා භටයකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායලය පවසයි. එහෙත්, ඊශ්‍රායල හමුදා, උපක්‍රමශීලීව නිවසක් තුලට යොමු කර එය පුපුරවා හැරි  බව හමාස් සංවිධානය කියා සිටී. 

මේ අතර, හත් මසකට ආසන්න කාලයක්, ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ සිටි ගාසා හි අල්-ෂිෆා රෝහල් ප්‍රධානී වෛද්‍ය මොහොමඩ් අබු සල්මියා (Dr Mohammad Abu Salmiya), ඊශ්‍රායල හමුදා විසින් මුදා හැර තිබේ. ඔහුට අත්අඩංගුවේදී වධහිංසා පැමිණවූ  බවට එල්ලවන චෝදනා ඔවුහු  ප්‍රතික්ෂේප කරති. 

 



සිය හමුදා, සමස්ත ගාසා තීරයම දැවැන්ත හමුදා මෙහෙයුම් වලට යටත් කර ඇති  බවත්, දෛනිකව ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරන බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) පසුගිය ඉරිදා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එය,  භූමිය මත, භූමිය තුළ මෙන්ම භූමියට ඉහළින් සිදුකෙරෙන බරපතල හා දුෂ්කර හමුදා මෙහෙයුමක් බව ද ඔහු පැවසීය. 

සිය අභිප්‍රායයන් සියල්ල ඉටු වන තෙක් යුද්ධය අත් නොහරින බවත්, හමාස් ත්‍රස්තයින් මුලිනුපුටා දමනතෙක්, අත්අඩංගුවට පත් සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා තෙක් සහ ඊශ්‍රායල වැසියන් සුරක්ෂිතව යලි පදිංචි කෙරෙනතෙක්, කිසිදු හමුදා මෙහෙයුමක් නතර නොකරන බවත් ඔහු පැවසීය. 

 

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1100 ඉක්මවයිඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

මේ අතර, මිලියන 2.2ක පමණ ජනගහනයක් වෙසෙන ගාසා තීරයේ තත්වය මේ වන විට මුළුමනින්ම, අයහපත් බව පලස්තීන සරණාගතයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සඳහන් කරයි. සමස්ත ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් අවතැන් ව සිටිති. පිරිසිදු ජලය සහ සෞඛ්‍ය පහසුකම් අත්‍යවශ්‍යව තිබේ. කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35තෙක් ඉහළ ගොස් ඇත. පවත්නා අයහපත් තත්වය තුළ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් ඇණහිට තිබේ. ඒ  හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පැතිර යමින් පවතී. ගාසා තීරය පුරාම දෛනිකව විශාල වශයෙන් අපද්‍රව්‍ය එක්රැස් වෙමින්  ඇත. 

දේශසීමා දොරටු හරහා ප්‍රමාණවත් ඉන්දන සැපයුම් නොලැබීම හේතුවෙන්, රෝහල් ඇතුළු අනෙකුත් සියලු පහසුකම් මේ වන විට  අක්‍රීයව පවතී. 

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්) 

(BBC පුවත් සේවය ඇසුරිණි )

මූලාශ්‍රය :
Israel orders Palestinians to leave southern Gaza area after rocket fire


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්