The Leader News
BREAKING
Top Ad
Opinion

සත්කුමාර (කෙටි)කතා වස්තුව'' -රෝහිත භාෂණ අබේවර්ධන

T

The Leader Desk

June 16, 2019 • 4:31 AM

සත්කුමාර (කෙටි)කතා වස්තුව'' -රෝහිත භාෂණ අබේවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ අනුත්තර නායක අයතුල්ලා කොමේයිනි විසින් බ්‍රිතාන්‍ය - ඉන්දීය ලේඛක සල්මාන් රෂ්ඩිට විවෘත මරණ වරෙන්තුවක් නිවේදනය කළ ආගමික නියෝගය නිකුත් කරන ලද්දේ 1989 අවුරුද්දේ වැලන්ටයින් දවසේ ය.
  • සෑම ආගමක්ම පදනම් වන්නේ මේ ප්‍රශ්න දෙකට උත්තර සැපයීමේ උත්සාහය මත ය.....නමුත් මම හැම විටම කියා ඇති ආකාරයට මේ එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නට මට ආගම අවශ්‍ය නොවේ’.
  • සල්මාන් රෂ්ඩිට මරණ දණ්ඩනය නියම කර හාර මාසයක් ඇතුළත කොමේයිනී මිය ගියේය.
  • සිය එකළොස්වැනි නවකතාව 2017දී ලියා පළ කළ රෂ්ඩිට දැන් අවුරුදු හැත්තෑ දෙකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නැඟ එන අවිචාරයේ වෛරී රළ ප්‍රවාහය හමුවේ ජංගම, රහස් ජීවිතයකට පසු බාන්නට තීරණය කළ රෂ්ඩි, එංගලන්තයේ නගර හා ගම්බද නවාතැන් කලින් කල මාරුකරමින්, වරෙක සිය නීතිඥ ජෙෆ්රි රොබර්ට්සන්ගේ නිවසේ සොල්දර කාමරයේ ද නවාතැන් ගත්තේය.

එයින් විසි අවුරුද්දකට පසු ආගම සහ සාහිත්‍ය අතර සම්බන්ධය ගැන කතාකරමින් ‘ආගම එන්නේ තර්ක බුද්ධියට පසුව’යැයි කී රෂ්ඩි මෙසේ ද කීවේය:

‘ආගමික පාඨ ග්‍රන්ථ වනාහී ජනයා විසින් නිමවන ලද දෑ වන අතර, මනුෂ්‍යයන් විසින් දෙවියන් නිර්මාණය කරන ලද්දේ ‘අප එන්නේ කොහෙන්ද?’ හා ‘අප ජීවත්විය යුත්තේ කෙසේද?’ යන මිනිස් ජීවිතයේ මහා ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගැනීමේ අටියෙනි. සෑම ආගමක්ම පදනම් වන්නේ මේ ප්‍රශ්න දෙකට උත්තර සැපයීමේ උත්සාහය මත ය.....නමුත් මම හැම විටම කියා ඇති ආකාරයට මේ එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නට මට ආගම අවශ්‍ය නොවේ’.

සල්මාන් රෂ්ඩිට මරණ දණ්ඩනය නියම කර හාර මාසයක් ඇතුළත කොමේයිනී මිය ගියේය. සිය එකළොස්වැනි නවකතාව 2017දී ලියා පළ කළ රෂ්ඩිට දැන් අවුරුදු හැත්තෑ දෙකකි. සංවිධානාත්මක ආගම් සහ සාහිත්‍යමය පරිකල්පනය අතර සම්මුති රහිත ගැටුම පිළිබඳ මෑත ඉතිහාස කතාවේ හරි මැද කොමේයිනි - රෂ්ඩි පරිච්ඡේදය තවමත් තිබේ.

දැන් ඊට තිස් අවුරුද්දකි.

සිංහල කෙටිකතාකරුවකු වන ශක්තික සත්කුමාර, සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ කෙටි ප්‍රබන්ධයක් මුල් කොටගෙන සිංහල බෞද්ධ ආගමික උද්වේගයන් නැග එන්නට පටන්ගත්තේ ඉකුත් පෙබරවාරියේදී ය. ඔහු අත් අඩංගුවට ගෙන, අහවල් පනතේ - අහවල් වගන්තිය යටතේ නඩු දමන්නැයි බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුලුගල්ලේ ජිනානන්ද භික්ෂුව පොලිස්පතිවරයාගෙන් පෙබරවාරි 25 වැනිදා ශාසනාලයෙන් ඉල්ලා සිටියේය.

භාවනාවෙහි ප්‍රිය පොලිස්පතිවරයා අකුරටම සංඝ ආඥාව පිළිගත් බවක් දැන් පෙනෙන්නට තිබේ. ඒ අනුව, අප්‍රේල් පළමුවැනිදා සත්කුමාර අත් අඩංගුවට ගත් පොල්ගහවෙල පොලිසිය, ඒ කියූ පනතේ - ඒ වගන්තිය යටතේම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව නඩු පැවරීමට ක්‍රියා කළේය. මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ලේඛකයාගේ ඉරණම ස්ථාපිත නීතිය විසින් කෙසේ විසඳනු ඇතිදැයි කියන්නට තවමත් කල් වැඩි ය.

සංවිධානාත්මක ආගම් සහ සාහිත්‍ය පරිකල්පනය අතර ගැටළුව දැන් යළිත් මතුකොට ඇත්තේ සත්කුමාරගේ නොවිසඳුණු ඉරණම විසිනි. සංස්ථාපිත ආගම් නියෝජනය කරන්නේ වරලත් රාජ්‍ය බලාධිකාරයයි. ඒ වරය ලැබෙන්නේ රජය හා ආගමික ආයතන අතර ඇති ව්‍යුහාත්මක බන්ධනය නිසා ය.

ගලගොඩඅත්තේ ඥාණසාර දඟගෙට දැමීමෙන් මේ ව්‍යුහාත්මක සම්බන්ධය බිඳ නොවැටේ. සන්නද්ධ පොලිසිය හා හමුදා විසින් රාජ්‍ය සැකැස්මේ පැවැත්ම මර්දන බලයෙන් සහතික කරන්නේ යම් සේද, සංස්ථාපිත ආගම් විසින් කරන්නේ එකී පැවැත්මට ආචාර ධාර්මික පදනමක් සපයා දීම මගින් එහි පැවැත්ම සදාචාර තලයකදී සහතික කර දීමයි.

ආණ්ඩු බලය කා අතේ තිබුණ ද, බුද්ධාගම ආරක්ෂා කිරීම රාජ්‍යයේ දේශපාලන වගකීමක් බවට පත්වන්නේ, රාජ්‍ය සැකැස්ම ආරක්ෂා කළ යුත්තේ ඇයිදැයි යන සදාචාර තර්කනය හදා වඩා දීමේ වගකීම, ආයතනගත බුද්ධාගම විසින් පවරා ගන්නා තරමට ය. ආගමික බලාධිකාරය හා දේශපාලන බලාධිකාරය අතර තුලනය රාජ්‍යයේ ව්‍යුහාත්මක ස්ථාවරත්වය සහතික කරන්නේ ඒ අනුව ය.

ආගමික සංස්ථාවන් පවතින්නේ හුදෙක් ඇදහිලි හා විශ්වාසයන් මත පදනම් වූ දෛනික වත් පිළිවෙත්වල ආධාරයෙන් නොවේ. ඒවායේ සදාචාර අධිකාරය තහවුරු කරන නිල ඉතිහාස ආඛ්‍යානයන් නොවෙනස්ව නඩත්තු කිරීම ද ඒවායේ පැවැත්මට ඒ තරමටම වැදගත් වේ.

ගෞතම බුදුන් උපන්නේ තෙල්දෙණියේ යැයි කී විට නඩු කියන්නට කුපිතව නොවන සංඝ සමාජය, උපැවිදි භික්ෂුවක් ගැන වචන තුන් හාර සියයක කෙටි සාහිත්‍ය ප්‍රබන්ධයකින් කලබල වන්නේ ඒ මගින් ආගමට හිමි සදාචාර අධිකාරය බෙලහීන වෙතැයි සිතන නිසා ය. අසම්ප්‍රදායයික සාහිත්‍ය පරිකල්පනය දඬුවම් ලැබිය යුතු වරදක් වන්නේ මේ සදාචාර අධිකාරය අස්ථාවර කිරීමේ උත්සාහයක් බවට පෙරළුණු විට ය.

කලකට පෙර මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ කෙටි කතා එකතුවට එරෙහිව කතෝලික සභාව විසින් යුද ප්‍රකාශ කරන ලද්දේ ද මේ තර්කනය යටතේ ය.

අනුත්තර යැයි සැළකෙන ලෝකෝත්තර තේමාවන් ලෞකික ප්‍රබන්ධයන්ට පාදක කොටගත් විට ‘ලෝකෝත්තරවාදීන් සසල වන්නේ එමගින් දේශපාලන හා සදාචාර තලයන් අතර පවතින අධිකාරී බල තුලනය අස්ථාවර කරන හෙයිනි. පන්සල, පොලිසිය හා අධිකරණය අතර සුසංගත ඒකමතිකත්වයක් දැන් නිර්මාණය වී ඇත්තේ ඒ තුලනය ප්‍රතිස්ථාපනය කරනු පිණිස ය.

සත්කුමාර සිරගත කිරීමට එරෙහි යැයි ලියන වාක්‍ය යටින්ම, ප්‍රස්තුත කෙටිකතාව සාහිත්‍ය ගුණයෙන් හීන යැයි ද, ඊට තුඩුදුන් පරිකල්පනය දිළිඳු එකකැයි ද ඇතැම්හු ලියති. එවැනි කතාවක් ලිවීමේ අරමුණ සැකසහිත යැයිද තවත් පිරිස් කියති. සත්කුමාරගේ ප්‍රකාශන නිදහස පිළිබඳ පුද්ගලික ප්‍රතිපත්ති ප්‍රකාශනයන් සේ සැළකිය හැකි වික්‍රමාන්විත වාක්‍ය යටින්ම මේ දෙවැනියට කී කතා ඇමිණීමේ දේශපාලන පරස්පරතාව සිනහ උපදවන එකකි.

එක් අතකින් ප්‍රකාශනයේ නිදහසට ඇඟිලි ගැසීමට සංවිධානාත්මක ආගමික සංස්ථාවන්ට අයිතියක් නැති බව කියන අතරවාරයේම, කෙටිකතාකරුවා යටි අරමුණක් සහිතව, සාහිත්‍යමය පරිකල්පනයන්ට අයත් නොවන බෞද්ධ විරෝධී ලියැවිල්ලක් සම්පාදනය කර ඇතැයි කියන සංඝ බලඇණිවල තර්කයම යළිත් අවධාරණය කිරීමේ ප්‍රතිඵලය වන්නේ දෙවැන්න විසින් පළමුවැන්න නිශේධ කිරීමයි. සාහිත්‍ය විචාරයේ මදි පාඩුව දණ්ඩ නීතියෙන් සපයා ගත නොහැක.

හැකි තාක් දරුවන් වැදීම, දිග ගවුම් ඇඳීම, සිංහල කඩවලින් බඩු ගැනීම යනාදී ලෞකික ජීවිතයට අදාළ කාරණා ගැන අත පෙවීමට ලෞකික දිවිය අත්හළ බැව් කියන සංඝ සමාජයට අයිතියක් ඇති යැයි කල්පනා කරන භික්ෂූන්, ලෝකෝත්තර තේමා ලෞකික ඇසින් සාහිත්‍ය පරිකල්පනයට විෂය වීම ගැන මැසිවිලි නැගීමේ තේරුමක් නැත.

ශක්තික සත්කුමාරගේ ප්‍රශ්නය පුද්ගල ඉරණමක් පිළිබඳ ගැටළුවටකට වඩා, මූලධාර්මික දේශපාලන ගැටළුවකි. ඒ ගැටළුව, සංවිධානාත්මක ආගමික සංස්ථාවන් සහ නිර්මාණාත්මක පරිකල්පනය අතර රටින් රට දිග්ගැසුණු යුද්ධය පිළිබඳ එකකි. ඒ ප්‍රශ්නය, ටෙනිසන් පෙරේරාගේ සිට මංජුල වෙඩිවර්ධන හරහා ශක්තික සත්කුමාර දක්වා පරම්පරා තුනක නිදහස් පරිකල්පනයේ ඉරණම යා කරන බන්ධන හුයකි.

ඒ මුග්ධ ආගමික බන්ධනයෙන් පරිකල්පනයේ නිදහස මුදාගැනීමේ අභියෝගය කෑගල්ලේ රක්ෂිත බන්ධනාගාරයෙන් ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම ඉක්මවා ගිය එකක් වන්නේ එබැවිනි.

Rohitha Bhashana-රෝහිත භාෂණ අබේවර්ධන 
(මෙම ලිපිය 2019 අප්‍රේල් 07 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සත්කුමාර (කෙටි)කතා වස්තුව'' -රෝහිත භාෂණ අබේවර්ධන | The Leader