The Leader News
BREAKING
Top Ad
Opinion

'බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ' - ආචාර්ය නලින් ද සිල්වා

T

The Leader Desk

June 16, 2019 • 4:39 AM

'බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ' - ආචාර්ය නලින් ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි.
  • ජාතික චින්තනය 'කාලය' FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ.
  • ''සහාරාන් වැඩ කෙළේ කාට ද?'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම සටහන පහත පළවේ.
  • අද මොන බයිලා කිව්වත් තේරීම් කමිටුව පත් කර ගත්තේ විපක්‍ෂයේත් සහාය ඇතිවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෛත්‍රිපාල, රනිල් පමණක් නොව මහින්ද බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ.'' යයි ආචාර්ය නලින් ද සිල්වා පවසයි.

ජාතික චින්තනය 'කාලය' FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ. ''සහාරාන් වැඩ කෙළේ කාට ද?'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම සටහන පහත පළවේ.

 

''පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කර ගත්තේ මොකට ද කියන එක දැන්වත් පැහැදිලි වෙන්න ඕන. අද මොන බයිලා කිව්වත් තේරීම් කමිටුව පත් කර ගත්තේ විපක්‍ෂයේත් සහාය ඇතිවයි. කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි. මෛත්‍රිපාල, රනිල් පමණක් නොව මහින්ද බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ. මෙහෙම කියන එකට ඇතැමුන් විරුද්ධ වේවි.

දෙරණ 360 වැඩ සටහනේ දී මහින්දටත් දොස් පැවරුවාය කියා ඇතැමුනට කේන්ති ගිහිල්ලා. බැසිල් ගැනත් යමක් කීමට නොහැකි වීම ගැන නම් මටත් කේන්තියි. දැන් බැසිලිකාව මට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරාවි.

තේරීම් කමිටුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා ලවා අදාළ ඇමතිවරයා නිදොස් කිරීමට උත්සාහ ගත්තා. අර රාජ්‍ය සේවක සේවිකාවන් අඳින ඇඳුම ගැන චක්‍රලේඛය ඇමතිගේ අනුමැතියකින් තොරව නිකුත් කළ එකක් බව කියවා ගැනිමට කමිටුවට අවශ්‍ය වුණා. එමෙන් ම එකී චක්‍රකේඛය අහෝසි කිරීමට ඇමති උපදෙස් දී ඇති බවටත් කියවා ගැනීමට තේරීම් කමිටුවට අවශ්‍ය වුණා. එහෙත් අමාත්‍යාංශ ලේකම්තුමා ඒ කිසිවකට යට වුණේ නැහැ. එසේ යට නොවීම නිසා කමිටුවේ යට ඇඳුම් ගැලවුණා.

පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ඉන්නෙත් මන්ත්‍රීවරු. සමහරු ජාතික ලැයිස්තුවෙන් පත් වූ අය. ඔවුනුත් කමිටුවේ ඉන්න දේශපාලනඥයන් ටිකක් පමණයි. ඔවුන්ගේ ඇති ශුද්ධවන්ත බව මොකක් ද? කමිටුව අහන ප්‍රශ්න ගැන මොනවා කියන්න ද කියලත් වෙලාවකට හිතෙනවා.

ඔවුන් හිස්බුල්ලාගෙන් අහනවා සහාරාන්ගේ ඡන්ද දෙතුන්දාහ ගැන හරියට ඔවුන්ට ඡන්ද එපා වගේ. සහාරාන් 2015 මැතිවරණයට කලින් මුස්ලිම් පක්‍ෂ කැඳවලා. හිස්බුල්ලා විතරක් නොවෙයි කමිටුවේ සාමාජික හකීමුත් සහාරාන්ගේ කැඳවීමට ගිහිල්ලා. අඩු තරමෙන් පක්‍ෂ නියෝජිතයන් ගිහිල්ලා. හකීම්ට මේ කමිටුවේ ඉන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ කියන්නෙ අනෙක් අයට තියෙනව කියන එක නො වෙයි.

මේ හැමෝම දේශපාලනඥයන් ලෙස ඡන්ද දිනාගැනීමට කටයුතු කරන අය. ඔවුන් හිතන්නේ බලයට පත්වීම, බලය රැක ගැනීම හා ඡන්ද ගැන මිස රටක් ගැන නො වෙයි. හිස්බුල්ලාත් එහෙමයි. ඔහුටත් හකීම්ටත් සහාරාන්ගේ ඡන්ද දෙතුන්දාහ ලොකුයි. ඔවුන් සහාරාන්ගේ කොන්දේසිවලට එකඟ වෙලා. සහාරාන් කොන්දේසි පැනවූයේ සංගීතය ගැන පමණ ද? සහාරාන් හිටිය නම් දැන ගන්න තිබුණා. හිස්බුල්ලාගෙන්වත් හකීම්ගෙන්වත් ඒ දැන ගන්න බැහැ.

හිස්බුල්ලා කාගෙ බුල්ලා ද යන ප්‍රශ්නය මතු වෙනවා. හකීම් මෙන් ම හිස්බුල්ලාත් සහාරාන්ගේ ඡන්දවලට විවිධ කොන්දේසිවලට එකඟ වෙලා. ජනාධිපතිවරණයේ දී හිස්බූල්ලා මහින්දගේ පැත්තේ. ඔහු ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවෙත් ඇමතිවරයකු වුණා. පසුව මෛත්‍රිපාලගෙන් ආණ්ඩුකාරකමකුත් ලබා ගත්තා. එතකොට සහාරාන්. 2015 ජනාධිපතිවරණයේ දී සහාරාන් වැඩ කර ඇත්තේ මෛත්‍රිපාලට. තේරීම් කමිටුවට එය ලුණු ඇඹුල් සහිත තොරතුරක් වන්න ඇති.

එහෙත් තේරීම් කමිටුවේ සාමාජිකයන් අමතක නොකළ යුතු ඔවුන් ඒ අමතක කළත් අප අමතක නොකරන කරුණ තමයි 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල කමිටු සාමාජිකයන්ගේ ද පොදු අපේක්‍ෂකයා වූ බව. ඔවුන් සියළු දෙනා ම ඊනියා යහපාලනය වෙනුවෙන් මෛත්‍රී යුගයක් වෙනුවෙන් වැඩ කළ අය. අද එ ජා පෙරමුණ මෛත්‍රිපාලට වෛර කළත් එදා ඔවුන් සියළු දෙනා මෛත්‍රිපාල වැළඳ ගත්තා. මෛත්‍රීපාල ඒ දවස්වල රනිල්ට සර් කිව්ව බවටයි කතා පැතිර ගියේ.

මෛත්‍රී රනිල් ගැටුම ඇති වුණෙ ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පස්සෙ. බැංකු කැඩිල්ල ගැන ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීමට මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මෙහි සරදම වන්නේ එ ජා පෙරමුණ ආණ්ඩුව විපක්‍ෂයේත් සහාය ඇතිව දහනවවැනි සංශෝධනයෙන් ජනාධිපතිට තිබූ ඒ බලය නැති කිරීම. අද රනිල් එල්ලී සිටින්නේ ඒ කියන්නේ තේරීම් කමිටුවත් එල්ලී සිටින්නේ දහනවවැනි සංශෝධනය නිසා.

දිනේෂ් ගුණවර්ධන පහුගිය දා කියා සිටියා දහනවයේ වැරුද්ද ගැන. මහින්දගේ උපදෙස් මත දහනවයට ඡන්දය දී දැන් එහි දොස් දැකීමෙන් වැඩක් නැහැ. දහනවයට විරුද්ධ වුණේ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර එයට ඡන්දය නොදී ගෙදර ගියා.

තේරීම් කමිටුව පාස්කු ප්‍රහාරය ගැන වගකීම මෛත්‍රිපාලට හා ඔහුගේ ආණ්ඩුවටත් නිලධාරීන්ටත් දැමීමට උත්සාහ කළත් සහාරාන් 2015 දී වැඩ කර ඇත්තේ රනිල් මෛත්‍රිපාල වෙනුවෙන්, මෛත්‍රිපාලට වඩා රනිල් වෙනුවෙන්. මෛත්‍රිපාල 2015 දී නිකම් ඉත්තකු පමණයි. ඔහු හංසයා ලකුණින් ඉදිරිපත් වූයේ එ ජා පෙරමුණ වෙනුවෙන්. ඒ නිසා සහාරාන් වැඩ කර තියෙන්නේ මෛත්‍රිපාලට වඩා රනිල්ට. ඒ කියන්නේ හකීම්ටත් අනෙක් පාර්ලිමේන්තු තේරීම් කමිටු සාමාජිකයනුත් වෙනුවෙන්. පාස්කු ප්‍රහාරය ගැන කරුණු විමසීමට පාර්ලිමේන්තු කමිටුවට පුළුවන් ද?

හිස්බුල්ලා කිව්වට සහාරාන් 2015න් පස්සෙ ප්‍රචණ්ඩත්වයට යොමු වුණා කියා මා එහෙම ම හිතන්නේ නැහැ. ඔහු එයට කලින් ද ප්‍රචණ්ඩත්වයට යොමු වී තියෙන්න ඕන. වහාබ්වාදයේ ප්‍රචණ්ඩත්වය අවුරුදු තුන්සීයයක් පමණ පරණයි. හිස්බුල්ලා සුෆී නිකායේ නම් සහාරාන්ට විරුද්ධ වෙන්න තිබුණා. ඒත් එතන දි ඔහුටත් වැදගත් වුණෙ ඡන්ද. සල්ලිත් නැති ඡන්දත් නැති අපට නොතේරුණාට ඡන්ද දෙතුන්දාහක වටිනාකම දේශපාලනඥයන් දන්නවා. සහාරාන් අයිසිස් සමග සම්බන්ධකම් ඇති කර ගත්තෙ 2015න් පස්සෙ කියා හිතන්න බැහැ.

හිස්බුල්ලාගේ සාක්‍ෂියෙන් පැහැදිලි වෙන්නෙ සහාරාන්ට හැම ආණ්ඩුවකින් ම වක්‍ර ව නමුත් සහායක් ලැබී ඇති බව. සහාරාන් වැඩ කර ඇත්තේ යහපාලනයට, ඒ කියන්නෙ තේරීම් කමිටුව නියෝජනය කරන ආණ්ඩුවට. ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවෙත් හිස්බුල්ලා හිටියා. පොහොට්ටවේ ඇතැමුන් ඒ ආණ්ඩුව රැක ගන්න කටයුතු කෙළේ නැත්තෙ හිස්බුල්ල හිටි නිසා නො වෙයි. රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ හකීම්ගෙ පක්‍ෂ කඩන්න තිබුණු අකමැත්ත නිසා. පාස්කු ප්‍රහාරයට සියළු දේශපාලනඥයන් වග කියන්න ඕන.

Nalin De Silva(ආචාර්ය නලින් ද සිල්වා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...