The Leader News
BREAKING
Top Ad
Opinion

රජ කාලයේත් සංඝයා යැපුනේ රජුගෙන් - කුසල් පෙරේරා

T

The Leader Desk

June 23, 2019 • 4:46 AM

රජ කාලයේත් සංඝයා යැපුනේ රජුගෙන් - කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අති පූජ්‍ය මහනාහිමිවරුන් කතා කරන්නේ රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමේ ඔවුන්ගේ වගකීම ගැනය.
  • එහෙත් ඒ රජ කාලයේ කිසිම රජෙකු තමන්ගේ බූදලය ලෙස සැළකු රට යැයි කියූ භූමිය හා එහි වූ යටත් වැසියා ආරක්ෂා කිරීම සංඝයාට පවරා තිබූයේ නැත.
  • මහවිහාරය නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරෙන්නේ එහි භික්ෂුන්ගේ හයිය මත නොව, 12 වන සියවසෙහිදී පළමු පරාක්‍රමබාහු රජ විසින් අභයගිරි හා ජේතවන විහාර සහමුලින් විනාශකර මහවිහාරය සඳහා ඔහුගේ පූර්ණ අනුග්‍රහය දැක්වූ නිසාවෙනි.
  • අභයගිරිය හා ජේතවනය විනාශකර මහවිහාරය යළි ප්‍රධානම ථෙරවාදී මධ්‍යස්ථානය ලෙස පිහිටුවීමේදී සියලු සංඝයා තනි ශාසනයකට එකතු කිරීමේ ඔහුගේ තීන්දුවෙහි සංඝ නායක පදවියක් හැදීමද එක් පියවරක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අතීතයේ සිට රටත් ජාතියත් අර්බූදයකට මුහුණ දුන් විට රට ජාතිය බේරා ගැනීමට ඉදිරිපත් වූයේ භික්ෂුව යැයි ඔවුහු වදාරන්නාහ.

රටත් ජාතියත් ආරක්ෂා කිරීමේ වගකීම කවුරුන් කවදා ඔවුන්ට පැවරුවේදැයි නොදනිමි. එවැනි වගකීමක් සංඝයාට බාරදීමේ අයිතිය සහ බලය තිබූයේ ඒ වැඩවසම් කාලයේ නම්, රජවරුන්ටය. එහෙත් ඒ රජ කාලයේ කිසිම රජෙකු තමන්ගේ බූදලය ලෙස සැළකු රට යැයි කියූ භූමිය හා එහි වූ යටත් වැසියා ආරක්ෂා කිරීම සංඝයාට පවරා තිබූයේ නැත. සංඝ ශාසනය රැක්කේද පාලනය කෙරුවේද රජුය.

මහවිහාරය පසෙක ලා අභයගිරිය හැදුවේ වළගම්භා රජුය. එය වළකා ලන්නට මහවිහාර භික්ෂුණට නොහැකි විය. අභයගිරිය මහායාන බෞද්ධාගමේ ප්‍රධාන මධ්‍යස්ථානයක්වීම වළකා ලන්නටද මහවිහාරවාසි ථෙරවාදි භික්ෂුවට බැරි විය. පළවන ගජබාහු යටතේ අභයගිරිය වඩාත් ශක්තිමත් විය.

තෙවන සියවසේදී මහසෙන් රජු මහවිහාර භික්ෂුවට දානය දීමද තහනම් කළේය. මහවිහාරය විනාශකර අභයගිරිය තව තවත් දියුණු කළේය. රටත් ජාතියත් ආරක්ෂා කළ භික්ෂුවක් කෙසේවෙතත් තමන්ගේ මහවිහාරය ආරක්ෂා කරගත හැකි භික්ෂුවක් එකල නොවීය.

මහවිහාරය නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරෙන්නේ එහි භික්ෂුන්ගේ හයිය මත නොව, 12 වන සියවසෙහිදී පළමු පරාක්‍රමබාහු රජ විසින් අභයගිරි හා ජේතවන විහාර සහමුලින් විනාශකර මහවිහාරය සඳහා ඔහුගේ පූර්ණ අනුග්‍රහය දැක්වූ නිසාවෙනි.

ඉතිහාසයේ පළමු වරට සංඝ නායක පදවියක් හදන්නේද මහ පරාක්‍රමබාහු රජු විසින්ය. අභයගිරිය හා ජේතවනය විනාශකර මහවිහාරය යළි ප්‍රධානම ථෙරවාදී මධ්‍යස්ථානය ලෙස පිහිටුවීමේදී සියලු සංඝයා තනි ශාසනයකට එකතු කිරීමේ ඔහුගේ තීන්දුවෙහි සංඝ නායක පදවියක් හැදීමද එක් පියවරක් විය. එය ඔහුගේ රජකමට උපදෙස් ගැනීමට නොව, සංඝයා එක ගොනුවකට ගැනීමට විය.

මිහිඳු හිමි බෞද්ධාගම මෙරටට හඳුන්වා දුන් මොහොතේ සිට ඉතිහාසය පුරා හමුවන්නේ රජවරුන්ගේ මැදිහත්වීමෙන් පවත්වා ගෙන පැමිණි සංඝ සමාජයකි. මල්වතු හා අස්ගිරි දෙපාර්ශවය අයත් ශ්‍යාමෝපාලි සියම් නිකායද රාජ අනුග්‍රහය මත 1753 දී මෙරටට ගෙනෙනු ලැබූ උපසම්පදාවකින් පැවතෙන්නකි.

එවැනි රාජ අනුග්‍රහයකින් තොරව තහවුරු කෙරෙන්නේ අමරපුර සහ රාමන්න නිකායන් දෙක පමණි. එහෙත් ඒවාද පහත රට දකුණේ වෙළෙඳ ප්‍රජාවගේ මුදලින් මෙහි ගෙනෙනු ලැබූ උපසම්දාවන්ගෙන් පැවැතෙන්නාහ.

එබැවින් මහනාහිමිවරුන් හා සංඝයා කියන්නාවූ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ භික්ෂුවගේ කාර්ය ගැන ඉතිහාසයෙහි සොයා ගත නොහැක.

මෙරට යටත් විජිත යුගයේද ඕල්කොට් සාමි, බ්ලවට්ස්කි මැතිනිය, අනගාරික ධර්මපාල වැනි ගිහි නාම මිස පුරෝගාමී කාර්යක් කළ භික්ෂු නාම හමුවන්නේ නැත. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිවූ වාරියපොල ශ්‍රී සුමංගල හිමි හුදකලා වීර චරිතයක් පමණි.

පන්සලත් සංඝ සමාජයත් ඇතුලු සියල්ල වාණිජකරණය වූ මේ සමාජයේ ව්‍යවස්ථාවෙහි දෙවැනි පරිච්ඡේදයෙහි 09 වන ව්‍යවස්ථාවෙන් සංඝ ශාසනය සුරැකීමට 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් දෙන ලද ප්‍රතිඥාවෙන් අවුරුදු 47 ට පසු අද සංඝ සමාජයේ පිරිහීම ගැන අලුතින් තොරතුරු සාක්ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත.

ඒ සියල්ල එසේවන අතර, දැන් හෝ මහනාහිමිවරුන් රට ජාතිය හා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ නම් යෙහෙකි. එහෙත් එළෙසින් ආරක්ෂා කරන දේශයක මිලියන 21 ක් වන සියලු රටවැසියනට බියෙන් සැකෙන් තොරව, ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අයිතිය උන්වහන්සේලා පිළිගත යුතුව ඇත. එසේ නොවන රට ජාතිය බේරා ගැනීමක් තිබිය නොහැකිය.

ආත්ම ගෞරවයෙන් යුතුව සියල්ලන්ට ජීවත් විය හැකි රටක් ජාතියක් මිස වෙනත් කාගේවත් රටක් ආරක්ෂා කිරීමේ බොදු දහම කුමක්දැයි නොදනිමි. එනිසා සියල්ලට පෙර සැබෑ සැදැහැවත් බොදුනුවන් ඉදිරිපත් විය යුත්තේ සියලු රටවැසියනට ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි රටක් බේරා ගැනීමටය.

කුසල් පෙරේරා
2019 ජුනි 22 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...