The Leader News
BREAKING
Top Ad
Opinion

මරණ දඬුවම නිසා මෛත්‍රී ඉතිහාසයට එක්වන්නේ කවරෙකු ලෙසද ? - සරෝජ් පතිරණගේ විමසීමක්

T

The Leader Desk

June 29, 2019 • 3:18 AM

මරණ දඬුවම නිසා මෛත්‍රී ඉතිහාසයට එක්වන්නේ කවරෙකු ලෙසද ? - සරෝජ් පතිරණගේ විමසීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයට එකතුවන්නේ මනුෂ්‍යත්වය විනාශ වූ රටක මිනිස්කම යළි උදා කළ නායකයා ලෙසින් ද,
  • ඉන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 සැප්තැම්බර් මස ගාල්ලේ දී මෙවැනි අදහසක් පළ කළේය.
  • පස් හැවිරිදි සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය දූෂණය කොට ඝාතනය කළ අපරාධකරුට මරණීය දණ්ඩනය පැනවිය යුතු බවට එවක රටේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගිණ.
  • වර්තමානයේ රටේ අනාගත පරපුර ද ගොදුරු කරගනිමින් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුරට වැට බැඳීම පිණිස මරණීය දණ්ඩනය වැනි දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව ඇතැම් ආගමික නායකයන් ඇතුළු ගතානුගතිකවාදී කණ්ඩායම්වල විශ්වාසය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නො එසේනම් දශක හතරකට පසුව යළිත් මරණ දඬුවම ක්‍රියාවට නගා මිනිස්කම විනාශවීමට ඉඩ දුන් නායකයා ලෙසින් යන්න තීරණය කිරීම ඔහුට භාර බව 'බීබීසී සිංහල සේවයේ' මාධ්‍යවේදී සරෝජ් පතිරණ සටහන් කර තිබේ.

"නහි වේරේන වේරානී (වෛරයෙන් වෛරය නොසන්සිඳේ)"- ගෞතම බුදුන් වහන්සේ

"ඇසට ඇසක් ඉල්ලීම මගින් සමස්ත ලෝකයම අන්ධයන් කෙරෙනු ඇත" -මහත්මා ගාන්ධි

මම මහත්මා ගාන්ධි හෝ මාටින් ලූතර් කිං හෝ නෙල්සන් මැන්ඩෙලා නොවූවත්, දේශපාලනයේදී තමා අතින් දැනුවත්ව වරදක් සිදු වී නැතැයි එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මා සමඟ පැවසුවේ 2014 දෙසැම්බර මාසයේ දී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 සැප්තැම්බර් මස ගාල්ලේ දී මෙවැනි අදහසක් පළ කළේය.

 

"මම මරණ දඬුවමට විරුද්ධ නෑ."

එකී ප්‍රකාශය වචනවලට පමණක් සීමා නොකර ඉන් සිව් වසරකට පසු මරණ දණ්ඩනය ලැබ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකු එල්ලා මැරීම සඳහා සිය අත්සන යෙදු බව ජනාධිපතිවරයා පසුගිය ජූනි 26 වන දින මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

පස් හැවිරිදි සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය දූෂණය කොට ඝාතනය කළ අපරාධකරුට මරණීය දණ්ඩනය පැනවිය යුතු බවට එවක රටේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගිණ.

උතුරේදී විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කර මරා දැමීමත්, දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණත් හමුවේ යළිත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යයි රටේ අති බහුතර ජනකායක් විශ්වාස කරන බව ඒ දිනවල ජාතික මානව හිමිකම් කොමිසම පැවැත්වූ සමීක්ෂණයකදී ද හෙළි වී තිබුණි.

වර්තමානයේ රටේ අනාගත පරපුර ද ගොදුරු කරගනිමින් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුරට වැට බැඳීම පිණිස මරණීය දණ්ඩනය වැනි දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව ඇතැම් ආගමික නායකයන් ඇතුළු ගතානුගතිකවාදී කණ්ඩායම්වල විශ්වාසය වී තිබේ.

 

ජනමතයට හිස නැමිය යුතුයි :

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ජනමතයට හිස නැමිය යුතු සැබෑවකි.

උදාහරණයක් ලෙස ලක්ෂයක ජනකායක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබූ විට ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

එනමුත් ජනතාව ඉල්ලා සිටින්නේ රටේ හෝ ජනතාවගේ යහපතට තුඩු දෙන්නක්ද, නොඑසේනම් රට දශක ගණනාවක් ආපස්සට ගෙනයන්නක්ද යන්න තීරණය කිරීමේ ධෛර්යයද පාලකයකුට තිබිය යුතුමය. පාලකයා සැබෑ නායකයකු වන්නේ එවිටය.

ජනමතය පසුගාමී නම්, අන්තවාදී නම්, මනුෂ්‍යත්වය විනාශ කරන්නක් නම් යථාර්ථය පහදා දී එයට එරෙහිව ජනමතයක් ගොඩ නැගීමටද පාලකයකුට ශක්තිය සහ ධෛර්යය තිබිය යුතුය.

Image 1 

ජනමතය හඹා යනු වෙනුවට නායකයා ජනතාවට මග පෙන්වන පෙර ගමන් කරුවකු විය යුතුය.

ශ්‍රී ලංකාව යනු නිදහසින් පසුව ගතව ගිය දශක හය ඇතුලත උතුරේත්, දකුණේත් තමන්ගේම දරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ම්ලේච්ඡ ලෙසින් ඝාතනය කළ රටකි; දකුණේ දරුවන් පණ පිටින් ටයර් සෑයේ දැවූ ඝාතකයන් සිටින රටකි; උතුරේ දැරියන් සිය ගණනින් දූෂණය කළ රටකි. (ඒ බව කියන්නේ මා නොවේ - එක්සත් ජාතීන්ගේ වාර්තාවයි);

දකුණේ ශිෂ්‍ය නායකයන් පරාලවල ඇණ ගසා වද බන්ධන පැමිණ වූ රටකි; ඒ එකදු ඝාතකයකු හෝ දඬුවම් නොලැබූ රටකි. කොතරම් තිත්ත වුවත් සත්‍යය එයයි.

එසේ සිය ආත්මය විනාශ කරගත් රටකට දැන් අවශ්‍යව තිබෙන්නේ මරණ දඬුවමද?

විශේෂයෙන්ම දශක තුනක යුද ගැටුම හා සමගාමීව එවක පාලකයන් බලහත්කාරයෙන් ජනතාව මත පැට වූ යුද මානසිකත්වය මනුෂ්‍යත්වයේ පිරිහීමට හේතු වූ බව නොරහසකි.

එසේ විනාශ කරුණු ආත්මය පිරිසිදු කරනු වෙනුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ උත්සාහ කරන්නේ කුණු වූ ආත්මයකට පණ පෙවීමටද?

ජනපතිවරයා බීබීසී යට පැවසූ ප්‍රකාර, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් රට තුල විවෘත සංවාදයකට අවකාශය විවෘත කිරීම පිළිබඳව ඔහුට කෘතඥතාවය හිමි විය යුතුය.

එහෙත් මුළු ලෝකයම මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කළ යුත්තේ ඇයි?
ජනාධිපතිවරයා ගාල්ලේ දී තවත් විශේෂ සඳහනක් කළේය.

"ඇමෙරිකාව, චීනය වගේ සංවර්ධිත රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනව."

මරණ දඬුවමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතා විශාල උද්ඝෝෂණයක් පවතින බව ජනාධිපතිවරයා නොදන්නේද?

බටහිර ඇතුළු බොහෝ රටවලින් සියලු කුණු කන්දල් භාර ගන්නා ශ්‍රී ලංකාවේ අපි, ඒ රටවලින් යහපත් දේ උකහා ගන්නට උත්සාහ නොකරන්නේ ඇයි?

ඇමෙරිකාව හෝ චීනය වැනි රටවල ක්‍රියාත්මක සියල්ල යහපත් දේ නම්, අමෙරිකාවේ මෙන් ශ්‍රී ලංකාවේද ගිනි අවි භාවිතය නීතිගත කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ අනුමැතිය පතන්නේද?

මේ සියල්ලෙන් මා අදහස් කරන්නේ මිනීමරුවන්ට, ළමා අපයෝජකයන්ට හෝ ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් නොපැනවිය යුතුය යන්න නොවේ. ඔවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවට කිසිදු තර්කයක් නැත.

එහෙත් රාජ්‍යයට හෝ අධිකරණයට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට තවත් කිසිවකුගේ ජීවිතයක් විනාශ කිරීමට අයිතියක් නැත යන්න බෞද්ධයකු ලෙසින් මම තරයේ අදහන්නෙමි.

Image 2 

ඒ තර්කය ඔබ නොපිළිගත්තද, මරණ දඬුවම පැණවීම මගින් අපරාධ අඩු කර ඇති බවට ලොව කිසිදු සාක්ෂියක් නැති බව ජනාධිපති බරක් ඔබාමා මෙන්ම මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, නාතාෂා බාලේන්ද්‍ර ඇතුළු මෙරට මානව හිමිකම් ක්‍රියාධරයන් ද දිගින් දිගටම පෙන්වා දෙති.

කළ යුතුව තිබෙන්නේ බුදුන්ගේ ධර්මය සුරැකිව පවතින බව පැවසෙන දේශයේ මිනිසත්කම යළි ඇති කිරීමය.

එල්ටීටීඊ යට එරෙහි යුද්ධය දිනාගැනීමට සමත් වූ නමුත්, ශ්‍රී ලංකාවේ මිනිසත්කම උදා කිරීමට අසමත් වූ නායකයා ලෙසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක්වනු ඇති බව රාවය නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලීවේ වරක් දෙවරක් නොවේ.

මනුෂ්‍යත්වය විනාශ වූ රටක මිනිස්කම යළි උදා කළ නායකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කදිම අවස්තාවක් උදා වී තිබිණ.

ඒ මහඟු අවස්ථාවෙන් ඵල නෙලා ගනිමින් ශ්‍රී ලංකාවේ මනුස්සකම යළි උදා කරන්නේද?, නො එසේනම් දශක හතරකට පසුව යළිත් මරණ දඬුවම ක්‍රියාවට නගා මිනිස්කම විනාශවීමට ඉඩ දුන් නායකයා ලෙසින් ඉතිහාසයට එක්වන්නේද යන්න තීරණය කිරීම ඔහුට භාරය.

මාටින් ලූතර් කිං ගේ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරමි.

"අන්ධකාරයට අඳුර දුරු කළ නොහැක්කේය;
එය කළ හැක්කේ ආලෝකයට පමණි.
වෛරය, වෛරය දුරු නොකරයි;
එය කළ හැක්කේ සෙනෙහසට පමණි.
වෛරය, වෛරය පතුරවන අතර,
ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පතුරවන්නේය."

Saroj pathirana(සරෝජ් පතිරණ - 2015 සැප්තැම්බර් 15 වෙනි දින බීබීසී සිංහල සේවය වෙනුවෙන් ලියන ලද ලිපිය ඇසුරිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...