The Leader News
BREAKING
Top Ad
Opinion

ජාතිවාදී මඟ යන වෛද්‍ය සංගමය

T

The Leader Desk

June 29, 2019 • 4:59 PM

ජාතිවාදී මඟ යන වෛද්‍ය සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට තිබෙන චෝදනා පිළිබඳ සත්‍ය අසත්‍යතාව ඔප්පු කළ හැක්කේ ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවකින් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය චන්දික එපිටකඩුව ජූනි 25වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණි.
  • එම මාධ්‍ය සාකච්ඡාවේදීම අදහස් දැක්වූ ඉහත පංච පුද්ගල කමිටුවේම සාමාජියෙකු වන අධිකරණ මනෝවෛද්‍ය තාරක ප්‍රනාන්දු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය අනුමත කළ නොහැකි බවද කියා තිබුණි.
  • ඒ කාලසීමාවේම අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපති කොමිසමක අවශ්‍යතාව මාධ්‍ය ඉදිරියේ කියා තිබීම අහම්බයක්ද එසේ නොවේද යන්න දන්නේ ඒ ඒ පුද්ගලයන්මය.
  • වෛද්‍ය සාෆිට එල්ල වී ඇති ‌චෝදනා සම්බන්ධයෙන් දැනට කරන්නට ඇති පරීක්ෂණය වෛද්‍ය නිලධාරීන් පෙන්වන තරම් අසීරු, සංකීර්ණ එකක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට ඇති චෝදනා පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පංච පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ද එම කමිටු වාර්තාවේ නිගමන අතර ඉහත යෝජනාව ඇතුලත්ව ඇතැයිද එහිදී ප්‍රකාශ කර තිබුණි.

වෛද්‍ය චන්දික එපිටකඩුව එම පංච පුද්ගල කමිටුවේ සාමාජිකයෙකි. එම මාධ්‍ය සාකච්ඡාවේදීම අදහස් දැක්වූ ඉහත පංච පුද්ගල කමිටුවේම සාමාජියෙකු වන අධිකරණ මනෝවෛද්‍ය තාරක ප්‍රනාන්දු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය අනුමත කළ නොහැකි බවද කියා තිබුණි.

ඒ කාලසීමාවේම අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපති කොමිසමක අවශ්‍යතාව මාධ්‍ය ඉදිරියේ කියා තිබීම අහම්බයක්ද එසේ නොවේද යන්න දන්නේ ඒ ඒ පුද්ගලයන්මය.

කෙසේ වෙතත් දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නේ රතන හිමි, විමල් වීරවංශ වැනි අයගේ මතයේමය. ජනාධිපති කොමිසමක අවශ්‍යතාවත්, සීඅයිඩී පරීක්ෂණ පිළිගත නොහැකි බවත් ඒ දෙපාර්ශ්වයම කියති.

මෙහි සීඅයිඩීය සිදුකරන පරීක්ෂණය යනු කුමක්දැයි තේරුම්ගත යුතුය. සීඅයිඩීය සිදුකරන පරීක්ෂණය හුදු සීඅයිඩී පරීක්ෂණයක් නොවේ. එය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරමින් කරන පරීක්ෂණයකි. එසේ නම් වෛද්‍ය නිලධාරීන් රතන හිමි ආදීන් ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ කරන්නේ අධිකරණය ඉදිරියේ යන පරීක්ෂණයකි.

මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නට වෛද්‍ය නිලධාරීන් ඉදිරිපත්කරන යෝජනාව ක්‍රියාත්මක කළායැයි සිතමු. එසේ වුවහොත් සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ප්‍රශ්න කිරීම්, සාක්ෂි විමසීම් ආදිය කරමින් ජනාධිපති කොමිසමක කටයුතු ඇදී යාමය. ඉන් පසුව එයින් වාර්තාවක් ඉදිරිපත් කිරීමය.

එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත යා යුත්තේ අධිකරණය ඉදිරියටමය. බැඳුම්කර ගණුදෙනුව ගැන චෝදනා උදාහරණයකට ගනිමු. ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කිරීම වෙනුවට සීඅයිඩීය ‌හෝ වෙනත් පොලිසියට අයත් ආයතනයක් අධිකරණය ඉදිරියේ පරීක්ෂණයක් මෙහෙය වූවායැයි සිතමු. බැඳුම්කර කොමිසම ඉදිරියට ආ සාක්ෂිකරුවන් හා සාක්ෂි සියල්ල අධිකරණයත් ඉදිරියට ඉදිරිපත් වුණා යැයි සිතමු. එසේ නම් මේ වෙද්දීත් ඒ සම්බන්ධයෙන් දඩුවම් ලබාදෙමින් නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබුණි.

වෛද්‍ය සාෆිට එල්ල වී ඇති ‌චෝදනා සම්බන්ධයෙන් දැනට කරන්නට ඇති පරීක්ෂණය වෛද්‍ය නිලධාරීන් පෙන්වන තරම් අසීරු, සංකීර්ණ එකක් නොවේ. දැනටමත් වෛද්‍ය සාෆිගෙන් ප්‍රතිකාරගත් මව්වරුන් ඉදිරියට පැමිණ ඇත. කරන්නට ඇත්තේ ඔහුන් පරීක්ෂා කිරීම පමණි. ඒ සඳහා අධිකරණයෙන් කටයුතු සූදානම් කර ඇත.

ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හා ජාතිවාදී බලවේග සමගාමීව ගෙන එන මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ගියොත් සිද්ධවෙන්නේ දැනටමත් සිදුවෙන පරීක්ෂණ අවුල්වී යෑමය.

ජාතිවාදී බලවේග මේ පරීක්ෂණ අවුල් කීරීමට උත්සාහ කිරීම අපට තේරුම්ගත හැකිය. අනවශ්‍ය චෝදනා තොගයක් එල්ලකොට කයිවාරු ගැසූ ඔවුන්ට දැන් සැබෑව හෙළිවෙද්දී කරගන්නට දෙයක් නැති වී තිබෙන බව අපි දනිමු. එහෙත් වෛද්‍ය නිලධාරීන්ට සිදුවී ඇත්තේ කුමක්ද?

වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව එල්ල වූ චෝදනාව සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ට මහත් අපකීර්තියක් එල්ල කරමින් එල්ල වූ චෝදනාවකි.

මීට පෙර මව්වරුන් සම්බන්ධයෙන්ම වෛද්‍ය වෘත්තියයෙකුට එල්ලවූ චෝදනාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැසිරුණු ආකාරය මතක් කිරීම වටී. ඒ ගලහ රෝහලේදී දෙමළ ජාතික මවගේ දරුවෙකුට ප්‍රතිකාර කිරීමට රෝහලට ගිය අවස්ථාවේදී එම දරුවා මිය යෑම පිළිබඳ සිදුවීමයි.

එහිදී දරුවාගේ මව චෝදනා කළේ ගලහ රෝහලේ සිටි වෛද්‍ය නිලධාරීන් දරුවාට ක්ෂණික ප්‍රතිකාර ලබා නොදී නොසැලකිල්ලෙන් කටයුතු කළ බවයි. ඒ නිසා තම දරුවා මිය ගිය බව මවගේ චෝදනාව විය. ඒ හේතුවෙන් මහජන කැළබීමක්ද ඇති විය. ඒ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව මවට එරෙහිව වෛද්‍ය වෘත්තිකයා වෙනුවෙන් පෙනී සිටියේය.

එහෙත් වෛද්‍ය සාෆි ෂියාබ්දීන් වෙනුවෙන් රජයේ නිලධාරීන්ගේ සංගමය පෙනී සිටිනේනේ නැත. ප්‍රසව හා නාරිවේද විශේෂඥයන් අතර ප්‍රවීණතමයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායකද කියා තිබුණේ මේ චෝදනාව පිළිගත නොහැකි අන්දමේ එකක් බවයි.

අප දන්නා බොහෝ වෛද්‍යවරුන් කියන්නේද ඒ කතාවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අසාමාන්‍ය නිහඩතාව වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ගේ සිදුවීමට අදාලව පමණක් නොව සමස්ථයක් ලෙස වඳ පෙති, වඳ බෙහෙත්, වඳ ඇඳුම් පිළිබඳ මිත්‍යා විශ්වාස සමාජගත වීමට උත්ප්‍රේරකයක් වී තිබෙන බව එම වෛද්‍යවරුන්ගේ අදහසය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියට පැමිණ වෛද්‍ය විද්‍යාත්මකව මෙවැනි ප්‍රචාරයන් ගැන සැබෑ වෛද්‍ය විද්‍යාත්මක තත්වය පැහැදිළි කර දුන්නා නම් ව්‍යාජ තොරතුරු සමාජගත නොවනු ඇති බවද එම වෛද්‍යවරුන්ගේ අදහසය.

(අනිද්දා- තරිඳු උඩුවරගෙදර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...