The Leader News
BREAKING
Top Ad
Opinion

සජිත්ගේ සැලසුම කුමක්ද? : මීළඟ අගමැති මංගල ද? - මනුවර්ණගේ සතියේ විග්‍රහය

T

The Leader Desk

July 8, 2019 • 5:38 AM

සජිත්ගේ සැලසුම කුමක්ද? : මීළඟ අගමැති මංගල ද? - මනුවර්ණගේ සතියේ විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු ආවත් 19 නම් තියාගන්නේ නැහැ'යි ප්‍රකට දේශපාලන විචාරකයෙකුද වන, මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එකට වැඩ කරන මනුවර්ණ‌ගේ මිත්‍රයෙක් කීවේය.
  • මෛත්‍රීපාල සිරිසේන යළිත් ජනාධිපති වුවහොත්, (එය කිසිසේත් වන්නට බැරිය) 19 අහෝසි කරනවාය යන්න තේරුම්ගත හැක්කකි.
  • (එයද කළ 'නොහැක්කක්' මිස කළ 'හැක්කක්' නොවේ.) මේ දිනවල 19ට එරෙහිව ඔහු කරන ප්‍රහාරාත්මක කතාවලින් ඒ බව පැහැදිලි වෙයි.
  • එහෙත්, කවුරු ආවත් 19 තියාගන්නේ නැති බවට, අඩු ගණනේ 19 නැතිකර දැමීමට ඒ හැම කෙනෙකුම තැත් කරනු ඇති බවට සිතන්නට සාධාරණ ඉඩක් තිබෙන්නේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇතැමුන් කරන මහා සටන දැකීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති සිරිසේන නැවතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා වී ජය ලබාගතහොත් ඔහු 19 සංශෝධනය අහෝසි කරනු ඇතැ'යිද සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොහොට්ටු පාර්ශ්වයේද සහාය ඇතිව ඉදිරිපත් වනු ඇතැ'යිද මේ විචාරක මිත්‍රයාගේ අවබෝධයයි.

මෛත්‍රීපාල සිරිසේන යළිත් ජනාධිපති වුවහොත්, (එය කිසිසේත් වන්නට බැරිය) 19 අහෝසි කරනවාය යන්න තේරුම්ගත හැක්කකි. (එයද කළ 'නොහැක්කක්' මිස කළ 'හැක්කක්' නොවේ.) මේ දිනවල 19ට එරෙහිව ඔහු කරන ප්‍රහාරාත්මක කතාවලින් ඒ බව පැහැදිලි වෙයි.

එහෙත්, කවුරු ආවත් 19 තියාගන්නේ නැති බවට, අඩු ගණනේ 19 නැතිකර දැමීමට ඒ හැම කෙනෙකුම තැත් කරනු ඇති බවට සිතන්නට සාධාරණ ඉඩක් තිබෙන්නේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇතැමුන් කරන මහා සටන දැකීමෙනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඊළඟට පත්වන ජනාධිපතිවරයාට වර්තමාන ජනාධිපතිවරයා තරම්වත් බලතල නැති බව අලුත් කතාවක් නොවේ. වත්මන් ජනාධිපතිවරයා දැනට දරන ඇමතිධූර, එනම් ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යංශ තමාගේ භාරයේ තබා ගැනීමට, අඩු ගණනේ ආරක්ෂක අමාත්‍යංශයවත් තබා ගැනීමට, 19 යටතේ ඊළඟ ජනාධිපතිවරයෙකුට ලැබෙන්නේ නැත. දැනට සිරිසේන මහතා එම ඇමතිධූර දරන්නේ සංක්‍රාන්තික සංවිධානයක් හැටියටය.

ඊළඟ ජනාධිපතිවරයා සමාන වනු ඇත්තේ විලියම් ගොපල්ලට වැනි නාමික ජනාධිපතිවරයෙකුටය. ඔහු රාජ්‍ය නායකත්වය හොබවනු ඇති අතර, විධායකයේ (ආණ්ඩුවේ) නායකත්වයද හොබවනු ඇත. සන්නද්ධ හමුදාවන්හිදී ප්‍රධාන අණදෙන නිලධාරියාද වනු ඇත. එහෙත්, ඔහුගේ ක්‍රියාකාරීත්වය සෑහෙන දුරට අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ පාලනයට යටත් වනු ඇත.

 

ඉදිරි ජනාධිපතිවරයෙකුගේ බලය කප්පාදු වූ හැටි :

ආචාර්ය නිහාල් ජයවික්‍රම පහුගියදා ලියූ ලිපියකින්, 19 වැනි සංශෝධනය යටතේ පවත්වන ඉදිරි ජනාධිපතිවරයෙකුගේ අඩු බලය ගැන මේ කරුණු කියා තිබුණේය.

1. ජනාධිපතිවරයා සතුව තිබූ නෛතික මුක්තිය ඉවත්වීම

2. ඉහළ අධිකරණවල විනිසුරුවන්, නීතිපතිවරයා සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන්ට යටත්ව පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්වීම.

3. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, ව්‍යවස්ථා සභාවේ නිර්දේශ යටතේ පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත් වීම.

4. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, පාර්ලිමේන්තුවේ මුළු වාර කාලයේ අවසාන මාස හයේදී මිස වෙනත් අවස්ථාවක නම්, පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පමණක් කළ හැකි කාර්යයක් බවට පත්වීම.

5. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ජත්කිරීම ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්වීම.

6. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්වීම.

7. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් වීම.

ආචාර්ය ජයවික්‍රම යෝජනා කරන්නේ මෙවැනි නාමික, නිර්දේශපාලනික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රට පුරා ජනාධිපතිවරණයක් පවත්වනවා වෙනුවට, පාර්ලිමේන්තුව හරහා හෝ ප්‍රජාතන්ත්‍රීයව ව්‍යවස්ථාපිත වෙනත් 'මැතිවරණ කොලීජියක්' හරහා හෝ එය කළ යුතු බවයි.

 

ජනාධිපතිවරණ අපේක්ෂකයන්නේ අභිලාෂය කුමක්ද?

sajith karu gota ranil 

ගෝඨාභය රාජපක්ෂ ලෙඩ ඇඳේ සිටිමින්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා තමායැ'යි නැවතත් අවධාරණය කරයි. හරියට කට වහගෙන හිටියොත් වෙන කවුරුහරි පැනගෙන ඇවිත් අපේක්ෂක පුටුවේ වාඩිවේයැයි බිය වී ඇතිවාක් මෙනි. ඔහු ජනාධිපති වුවහොත්, 19ට යන කළ ගැන අලුතෙන් කියන්නට දෙයක් නැත.

ඒ අතර, මීළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව දැන් බොහෝ දෙනෙකු කියන්නට පටන් ගෙන තිබේ. අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා නිකුත් කළ වීඩියෝ කතාවකින්, දිනන්නට හැකි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව කීවේය.

මේ කතාව සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා කිරිමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක මුල් පියවර බව බැලූ බැල්මට පෙනේ. ජූලි 7 වැනිදා පැවැත්වෙන්නට නියමිත මංගල සමරවීර ඇමතිවරයාගේ පොතක් එළිදැක්වීමේ උත්සවයේ එක් වැදගත් සහභාගිකයෙකු වන්නේ 'එජාප ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස' බව එහි ප්‍රචාරක සටහන්වල සඳහන්ය.

ඒ අතර මෙතෙක් කල් අගමැති රනිල් වික්‍රමසිංහගේ අගසව් කෙනෙකු හැටියට සිටි මලික් සමරවික්‍රම අගමැතිවරයාගේ පටන්, මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු සජිත් ජනාධිපති අපේක්ෂකයා විය යුතුය යන තද ස්ථාවරයේ සිටිති.

 

සජිත් ඉදිරිපත්වන්නේ නාමික ජනාධිපති ධූරයකටද ?

නිහාල් ජයවික්‍රම මහතා කියන දේ වෙත ආපසු ගියහොත්, සජිත් ප්‍රේමදාස මහතා මේ තරම් සටන්කාමී ලෙස ඉදිරිපත් වන්නේ, 19 යටතේ නාමික ජනාධිපති ධූරයකට සමාන ධූරයක් භාර ගැනීමටද? නැතිනම්, ඊට වෙනස් න්‍යාය පත්‍රයක් ඔහුට තිබේද?

සැක දුරු කරනු වස්, එක්කෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහුගේ පළමු කසකාරයා බවට පත්ව සිටින ඇමති මංගල සමරවීර හෝ ඒ ගැන පැහැදිළි කළ යුතුය. ඒ කියන්නේ, සජිත් ප්‍රේමදාස 19 සම්බන්ධයෙන් කරන්නට හදන්නේ කුමක්ද? යන්නයි.

ව්‍යවස්ථාවේ දැනට තිබෙන තත්වය යටතේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වන්නේ නම්, වඩා බලවත් වන්නේ ඔහු නොව ඊළඟ අගමැතිවරයාය. ඒ අගමැතිවරයා මංගල සමරවීරද? සිත්ගන්නා සුලු අනෙක් ප්‍රශ්නය එයයි.

 

ප්‍රතිගාමී කතා දෙකක් !

නිරපේක්ෂව ගතහොත්, රටේ ජනාධිපතිධූරයට පත්වන්නට තරම් දේශපාලන වශයෙන්, බුද්ධිමය වශයෙන් ‌හෝ කැරිස්මැටික වශයෙන් සජිත් ප්‍රේමදාස සුදුස්සෙක් නොවේ. ජාතික දේශපාලනය ගැන ඔහු‌‌ගේ සහභාගීත්වයත්, දැක්මත් ඉතාමත් දුප්පත්ය.

එජාප ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීමකදී පවා පසෙකට වී ජංගම දුරකථනය දෙස බලා සිටිනවා විනා කිසිම දෙයක් ගැන කිසිම අදහසක් ඔහු ප්‍රකාශ කළ බවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මතක නැත.

රටේ වැදගත් කාරණා සම්බන්ධයෙන් කිසිම පුවත්පතක විද්‍යුත් නාලිකාවක සජිත් ප්‍රේමදාසගේ සම්මුඛ සාකච්ඡාවක් පළවනවා කිසිවකු දැක නැත.

ඒ වෙනුවට ඔහු කළ ප්‍රතිගාමී කතා දෙකක් නම් මෑතකදී අසන්නට ලැබිණ. එකක් නම්, ජාතික ආරක්ෂාවට සාපේක්ෂව මානව අයිතිවාසිකම් නොසලකා හැරිය යුතු යන්නයි.

දෙවැන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කර ප්‍රතිත්‍රස්ත පනත විසි කර දැමිය යුතු බවයි.

මෙම කාරණා දෙකෙන් පවා, සජිත් ප්‍රේමදාස කෙබඳු මනසකින් යුක්තදැ'යි පැහැදිළිවම පෙනෙයි. සංයුක්තව කිවහොත්, මංගල සමරවීර වැනි ලිබරල්වාදියෙකු හා සසඳන විට සජිත් ප්‍රේමදාස ඉන්නේ ඊට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ වැඩවසම් චින්තනයක් සහිතවය.

ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි මංගල සමරවීර කියන විට, සජිත් ප්‍රේමදාස සිටින්නේ චෙත්‍ය එක්දහස් ගණනක් රට පුරා පන්සල්වල පිහිටුවා රට නගාලිය හැකි යැයි සිතන මානසික මට්ටමකය.

 

මංගල, සජිත් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

එසේ නම්, මංගල සමරවීර සජිත් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? ඔහු කියන්නේ, 'දිනන්නට හැකි එකම අපේක්ෂකයා සජිත් බව'යි. ඊට හේතු ලෙස ඔහු ඇතුලු සජිත්ගේ අනුගාමිකයන් පෙන්වන්නේ, පසුගිය කාලයේ එජාපය තුළ කළ මත විමසීම්වලට අනුව ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස බවයි. ගම් මට්ටමේ යූඑන්පී කාරයන් සජිත් ඉල්ලන බවයි.

සජිත් එජා පාක්ෂිකයන් අතර ජනප්‍රියම චරියතය බවට විවාදයක් නැත. එජාපයම කියන පරිදි, පක්ෂයේ ලක්ෂ 30 ක් පමණ වන නිශ්චිත ඡන්ද සංඛ්‍යාව ඒ අනුව සජිත්ට ලැබෙනු ඇත. රනිල් වික්‍රමසිංහ නිසා ඈත් වී සිටින එජාප බිම් මට්ටමේ පාක්ෂිකයන් සජිත් නිසා නව ප්‍රබෝධයක් ලබනු ඇත.

එහෙත්, ඡන්ද ලක්ෂ 30 කින් ජනාධිපතිවරණයක් ජයගත හැකි නොවේ. මෛත්‍රීපාල සිරිසේනට ඒ සඳහා ලක්ෂ 62 ක් වුවමනා විය. මේ ඉතිරි ලක්ෂ 30 ලබා ගැනීමට සජිත්ට හැකිවේද?

 

සජිත්ගේ 'දන් දීමේ' දේශපාලනය !

ඒ ඉතිරි ලක්ෂ තිහ, සජිත් ප්‍රේමදාසගේ 'දන් දීමේ' දේශපාලන ප්‍රියකරන්නෝ නොවෙති. ඔවුන්ට ප්‍රිය කරන්නේ ලංකාවේ මානව නිදහස ගරු කරන, මර්දනකාරී නීති හා හිතුවක්කාරී පාලනයක් නැති සමාජයක් බවට පත් කිරීමය.

පුද්ගලයෙකු මත කේන්ද්‍රගත නොවන වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමටය.

19 වැනි සංශෝධනය වෙනුවට, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර, පාර්ලිමේන්තුවට සම්පූර්ණයෙන්ම බලය ලැබෙන රාජ්‍ය ව්‍යූහයක් ඇතිකර ගැනීමය.

පළාත් මට්ටමෙන් බෙදා ඇති පාලන බලතල, වඩාත් අර්ථවත් ආකාරයට ශක්තිමත් කිරීමය. ආගමේ ඇලී ගැලී නොසිටින රාජ්‍ය පාලනයක් ඇතිකර ගැනීමය.

සජිත් ප්‍රේමදාස හා ඔහුගේ උනන්දුමත් අනුගාමිකයන් ඒ ගැන කියන්නේ මොනවාද?

 (ජුලි 07 'අනිද්දා' පුවත්පතින් උපුටා ගැනිණ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...