The Leader News
BREAKING
Top Ad
Opinion

උපුල් ‌‌‌ජෝෂප් ප්‍රනාන්දුගේ අනාවැකියක්: මෛත්‍රීට අනතුරු ඇඟවීමක්!

T

The Leader Desk

July 21, 2019 • 7:27 AM

උපුල් ‌‌‌ජෝෂප් ප්‍රනාන්දුගේ අනාවැකියක්: මෛත්‍රීට අනතුරු ඇඟවීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වූ විට ඇය පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කළාය.
  • ඇය එයින් අදහස් කළේ එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයත් විපක්ෂයත් මර්දනය කළා සේ කෙදිනක හෝ තමන් බලයට පත්වූ දිනක ජේ.ආර්.ගේ ආණ්ඩුව විපක්ෂයට ගොස් මෙලෙසම මර්දනය විය හැකි බවය.
  • 1947 සිට ලංකාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කරන අයකුට එය වටහා ගැනීම අසීරු නැත.
  • එලෙස මර්දනයට ලක්වූ ඔහු හෝ ඇය බලයට එන්නේම බලයෙන් පහවූ නායකයාට ද`ඩුවම් දීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය කීවේ කරත්ත රෝදය ඒ පැත්තට වගේම මේ පැත්තටත් කැරකෙන බවය. හැමදාම කරත්ත රෝදය එක පැත්තකට කැරකෙන්නේ නැතැයි ඇය කීවේ දැඩි අධිෂ්ඨානයකින්ය.

ඇය එයින් අදහස් කළේ එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයත් විපක්ෂයත් මර්දනය කළා සේ කෙදිනක හෝ තමන් බලයට පත්වූ දිනක ජේ.ආර්.ගේ ආණ්ඩුව විපක්ෂයට ගොස් මෙලෙසම මර්දනය විය හැකි බවය.

ඇය කී කතාව හරිය. ලංකාවේ දේශපාලනය හරියට කරත්ත රෝදයක් වැනිය. 1947 සිට ලංකාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කරන අයකුට එය වටහා ගැනීම අසීරු නැත. බලයට පත්වී බලයෙන් මත්වී විපක්ෂය මර්දනය කරන හැමෝටම බලයෙන් පහවූ දිනක එකී වන්දිය ගෙවීමට සිදුවේ.

සාමාන්‍යයෙන් බලයේ සිටි අයකු බලයෙන් පහ වන විට යළි බලයට පත්වන්නේ බලයේ සිටි නායකයාගෙන් මර්දනයට ලක්වූ අයෙකි. එලෙස මර්දනයට ලක්වූ ඔහු හෝ ඇය බලයට එන්නේම බලයෙන් පහවූ නායකයාට ද`ඩුවම් දීමටය. සමහරු මෙයට කියන්නේ ස්වභාවධර්මය කියාය. තවත් සමහරු කියන්නේ පව් පලදෙනවා කියාය. මොකක් වුණත් වෙන්නේ එකය.

සේනානායකලාට අත්වූ ඉරණම !

 UNP History

1947 ඩී.එස්. සේනානායක බලයට ආ විට කවදාවත් සේනානායකලා බලයෙන් වීසිවනු ඇතැයි කවුරුත් නොසිතූහ. ඞී.එස්.ගේ හදිසි මරණයට පසු බලයට ආවේ ඔහුගේ පුතා ඩඞ්ලිය. ඞී.එස්. මියයෑමට පෙර බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් අලූත් පක්ෂයක් හදා ගත්තත් ඞී.එස්.ගේ හදිසි මරණයෙන් පසු පැවැති මහ මැතිවරණයෙන් ජය ගන්න බණ්ඩාරනායකට නොහැකි විය.

සේනානායකලාට පාඩම් උගන්වන්න බණ්ඩාරනායකට නොහැකි වුණත් සේනානායකලාට පාඩම් උගන්වන අයෙක් එජාපයෙන්ම මතුවිය. ඒ සර් ජෝන් කොතලාවලය. සර් ජෝන්, ඩඞ්ලිට අගමැති ධුරයෙන් ඉවත් වී ගෙදර යන තැනට පාර කපා පන්න පන්නා සේනානායකලාට පහර ගැසුවේය. සේනානායකලා කෑවේ සර් ජෝන්ගෙන්ය.

1956 බණ්ඩාරනායක බලයට ආවේ සර් ජෝන්ටයි මුළුමහත් යූ.ඇන්.පී. ආණ්ඩුවටයි පාඩම් උගන්වන්නටය. සර් ජෝන් රටත් දාලා ගියේය. නායකයෙක් නැතිව යූ.ඇන්.පී.ය අනාථ විය.

වැඩි දවසක් ගියේ නැත. බණ්ඩාරනායකලාට ගහන්න ආණ්ඩුව ඇතුළෙන්ම බුද්ධරක්ඛිත හිමි මතුවිය. බණ්ඩාරනායක ඝාතනය විය. දහනායක අගමැති වී බණ්ඩාරනායකලාට පන්න පන්නා ගැහුවේය. බණ්ඩාරනායකවාදීන්ට යන එන මං නැති විය.

Sirimawo 

1960 ජූලි මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිනිය අගමැති වී යළි බණ්ඩාරනායකලාත් ශ්‍රීලනිපයත් ඔළුව ඉස්සූහ. මැතිනිය ඇවිත් කළේ යළි සේනානායකලාටත්, යූ.ඇන්.පී.යටත් පහර ගසන එකය. හමුදා කුමන්ත්‍රණ චෝදනාව හරහා ඇය යූ.ඇන්.පී.ය පසුපස පැන්නුවාය.

ඒ වෙලාවේ යූ.ඇන්.පී.ය විනාශ කරන්නට ඇයට උපදෙස් දුන්නේ හේන්පිටගෙදර ඥානසීහ හිමි සහ මැතිනියගේ ආරක්ෂක විදේශ ලේකම් එන්.කිව්. ඩයස්ය. මැතිනිය 1964 දී සේනානායකලාට සහාය පළ කළ ලේක්හවුස් ආයතනය පවරා ගන්න පනතක්ද ගෙනාවේ යූ.ඇන්.පී.යට මදිනොකියා දෙන්නටය.

1964 මහ මැතිවරණයෙන් පරාජය වුණත් ඇය අරලියගහ මන්දිරයෙන් නොගියේ තමන් සේනානායකලාට සහ යූ.ඇන්.පී.යට එල්ල කළ ප්‍රහාරවලට තමන්ට යූ.ඇන්.පී. ආණ්ඩුවකින් ප්‍රතිප්‍රහාර එයි කියන බයටය.
ඇය සිතූ ලෙසම එය සිදුවිණි.

හේන්පිටගෙදර ඥානසීහ හිමි සහ එන්.කිව්. ඩයස් අත්අඩංගුවට ගනු ලැබුවේ රජය පෙරළන කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමිනි. මේ කාලයේ මැතිනියත් ශ්‍රීලනිපයත් හිටියේ පණ බයේය. හේතුව තමන් කළ පව්වලට තමන්ටම වන්දි ගෙවන්න සිදුවෙයි කියන බයටය.

1966 ඩඞ්ලිගේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණය කළාය කියා ශ්‍රී ලනිපයට හිතවත් හමුදා නිලධාරීන් රාශියක් අත්අඩංගුවට පත්විය.

Text 2 

1970 මහ මැතිවරණයෙන් මැතිනිය යළි බලයට ආවේ දෙන්නම් බැටේ කියාගෙනය. ඇය යූ.ඇන්.පී.. සංවිධායකයන් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත්තේ බොරු චෝදනා ගොතමින්ය. ලලිත් ඇතුලත්මුදලි පමණක් නොව ජේ.ආර්.ගේ පුත් රවී ජයවර්ධනද 71 කැරුල්ලට සම්බන්ධ යැයි කියා අත්අඩංගුවට ගනු ලැබීය.

එවකට විපක්ෂ නායක ජේ.ආර්.වද කිහිප වතාවක්ම අත්අඩංගුවට ගන්න උත්සාහ ගනු ලැබීය. වරක් ජේ.ආර්. ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුරදී ගුවන් යානයට රහස් පොලිසිය එවා ප්‍රශ්න කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට චෝදනාවක් ගොතාගන්නටය. ආණ්ඩු විරෝධී විපක්ෂයේ මන්ත්‍රීවරු පසුපස පොලිසිය පැන්නුවේ ඔවුන්ව බයකර ආණ්ඩුවට ගන්නටය.

Vijaya JR 

1977 බලයට ආ ජේ.ආර්. මැතිනියගේත් මැතිනිය සමඟ තමන්ටත් යූ.ඇන්.පී.යටත් දස වධ දුන් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ දෙන්නාටම පාඩමක් උගන්වන්නටය. නැක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් ගොතා ශ්‍රීලනිප නායකයන් හතරවැනි තට්ටුවට යවපු ජේ.ආර්.එවකට ශ්‍රීලනිපයේ ජනප්‍රිය නායක විජය ඇතුළු ඔසී, ෆීලික්ස් අත්අඩංගුවට ගනු ලැබීය.

ජේ.ආර්. තමන්ගෙන් ගත් පළියට පළිගන්න වේලාවක් එනතුරු මැතිනිය ඇඟිලි ගැන ගැන හිටියත් 1988 ජනාධිපතිවරණය ආසන්නයේ ජේ.ආර්. ජාතික ආණ්ඩුවක් හදන්න මැතිනියට ආරාධනා කළේ ප්‍රේමදාස ජනාධිපති වෙනාවට වඩා මැතිනිය හොඳයි කියා හිතාගෙනය.

'ප්‍රේමදාස ජේ.ආර්.වාදීන්ට පන්න පන්නා ගැහුවේය'

1988 මැතිනිය බලයට ආවේ නම් ඇය ජේ.ආර්.ගෙන් පළිගන්නේ නැත. හේතුව ප්‍රේමදාසට එරෙහිව 1988 ජනාධිපති කාලයේ ජේ.ආර්. සහ මැතිනිය අතර සුහදතාවක් වර්ධනය වෙමින් පැවැති නිසාය. ඒත් ජේ.ආර්.සහ ජේ.ආර්.වාදීන් පව් ගෙවිය යුතු කාලය පැමිණ ඇති නිසා ජය ගත්තේ ප්‍රේමදාසය. ඔහු ජේ.ආර්.වාදීන්ට පන්න පන්නා ගැහුවේය. ලලිත් සහ ගාමිණීට යන එන මං නැති විය. ජේ.ආර්.ගේ ලේකම් මැණික්දිවෙලට දුෂණ චෝදනා එල්ල විය.

ප්‍රේමදාස කරපු පව් ගෙවන්න ඔහු ජීවතුන් අතරේ සිටියේ නැත. ඒ වෙනුවට ප්‍රේමදාස පවුලට වන්දි ගෙවන්න සිදුවූයේ ප්‍රේමදාසම පත්කළ අගමැති විජේතුංග ජනාධිපති වූ විටය. විජේතුංග ප්‍රේමදාස පවුලටත්, ප්‍රේමදාසවාදීන්ටත් පහර පිට පහර ගැසීය. ප්‍රේමදාස පවුලට ජනාධිපති මන්දිරයේ බඩු භාණ්ඩ හොරකම් කිරීමේ චෝදනාවද එල්ල කළේය.

CBK 

1994 චන්ද්‍රිකා ආවේ 1977 සිට බලයේ සිටි යූ.ඇන්.පී.යෙන් පළිගන්නටය. ඇය ජනාධිපති කොමිෂන් දමමින් යූ.ඇන්.පී.යට වැටෙන්න ගැහුවේය. සිරිසේන කුරේව අත්අඩගුවේ තැබීය. පක්ෂ නායක රනිල්ට බටලන්ද කොමිසම දැමීය. 1994ට කලින් ජනාධිපතිවරණය පවත්වන්නේ නැතිව යූ.ඇන්.පී.ය විනාශ කොට ශ්‍රී ලනිපයට බලය අරන් දුන්නා කියන චෝදනාව අහල විඳවගන්න බැරිව විජේතුංග මියගියේය. ඔහු මියයන විට එහෙම ජනාධිපති කෙනෙක් උන්නාද මළාද දන්නේ නැත. ඔහු විඳෙවවේ එහෙමය.

යූ.ඇන්.පී.යේ දොළදුක ඉටු කළ මහින්ද !

තමන්ගෙන් පළිගන්න චන්ද්‍රිකාගෙන් පළිගන්න රනිල් ඇතුළු යූ.ඇන්.පී.ය ඇඟිලි ගැන ගැන හිටියත් 2005 දී චන්ද්‍රිකා මහින්දට එරෙහිව රනිල් සහ යූ.ඇන්.පී.ය දිනවන්න උදව් කළාය. 2005 රනිල් දින්නා නම් චන්ද්‍රිකාත් ඒ ජයග්‍රහණයේ කොටස්කාරයෙකි. හැබැයි දෛවය කියන්නේ පුදුම දෙයකි. චන්ද්‍රිකා කළ දේට ඇයගෙන් පළිගන්න නායකයා ආවේ ශ්‍රීලනිපයෙන්මය. ඔහු මහින්දය. ඔහු චන්ද්‍රිකාටත් චන්ද්‍රිකාවාදී මංගලලාටත් මදි නොකියන්න ගැහුවේය. යූ.ඇන්.පී.යේ දොළදුක ඉටු කළේ ඔහුය.

2010 ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු මහින්ද රනිල්ට මිතුරු විය. රනිල් සමඟ පමණක් නොව රනිල්ට එරෙහි කැරැලි ගහපු සජිත් සමඟත් ඔහුත් සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. 2010 යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක ෆොන්සේකාව අත්අඩංගුවට ගනිමින් ඔහු රනිල් සහ සජිත්ව ෂේප්කර ගත්තේය.

2015 රනිල් හෝ සජිත් ජනාධිපතිවරණයට ඇවිත් දින්නා නම් මහින්දටවත් රාජපක්ෂලාටවත් මයිලක හානියක් වන්නේ නැත. හැබැයි දෛවය යළි හිතපු නැති විදියට කැරකුණේය. මහින්දලාට ගහන්න මහින්දගේ පක්ෂ ලේකම් ජනාධිපති විය. මෛත්‍රී මහින්දලාටත් මහින්දවාදීන්ටත් පන්න පන්නා ගැහුවේ ඉතිහාසයේ කිසිදු නායකයකු තම හතුරන්ට නොගහපු ලෙසය. හිරේ දැමීම සාමාන්‍ය දෙයක් බවට පත්විය.

HE 2019 

පසුව මෛත්‍රී රනිල්ටත් යූ.ඇන්.පී.යේ රනිල්වාදීන්ටත් ගැහුවේ ඊටත් වඩා හයියෙන්ය. ඔහු යූ.ඇන්.පී.යේ රනිල්ලාට ගැහුවේ සජිත්ව බේරලාය. ඔහුට අවශ්‍ය සජිත්ව ජනාධිපති කොට තමාගේ දේශපාලන පව් බේරාගන්නටය.

ඒත් දෛවය වෙනස් කරන්න කාටවත් බැරිය. 2020 ජනාධිපති වෙන කවුරුවත් නොව මෛත්‍රීට පාඩම් උගන්වන නායකයෙකි. පොතේ හැටියට මෛත්‍රී හිතවාදියෙක්ට මෛත්‍රීගේ උපදේශකයන් ආරක්ෂා කරන, මහරාජලා ආරක්ෂා කරන නායකයෙක්ට 2020 ජනාධිපති වෙන්න බැරිය. යූ.ඇන්.පී.යෙන් හෝ පොදුජන පෙරමුණින් එන්න ඕනා මෛත්‍රීටත්, මෛත්‍රීට උපදෙස් දුන් උපදේශකයන්ටත් මහරාජාගේ මාධ්‍යයටත් වන්දි ගෙවන්න වැඬේ සලසන නායකයෙකි.

2020 ජනාධිපති වෙන්නේ මොනවගේ කෙනෙක්ද කියලා ඔළුවේ චිත්‍ර අඳින අයට හොඳම හෝඩුවාව ඒකය.

(උපුල් ‌‌‌ජෝෂප් ප්‍රනාන්දුගේ 'ගුරුදා විග්‍රහය'- Dan - දැන් ඉරිදා මව්රට)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...