The Leader News
BREAKING
Top Ad
Opinion

චීවරධාරී මැරයන්ට රට බාර දෙමු ද?

T

The Leader Desk

July 21, 2019 • 5:11 PM

චීවරධාරී මැරයන්ට රට බාර දෙමු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ නීතිගරුක හා විනයගරුක ජනතාව තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන නිහඬ ව සිටිද්දී, චීවරධාරී මැරයෝ පිරිසක්,
  • රාජපක්ෂ චින්තනය විසින් කවා පොවා ඇතිදැඩි කරනු ලැබූ, නීතියෙන්ද ආරක්ෂාව සපයා දී පෝෂණය කරනු ලැබූ චීවර ත්‍රස්තවාදය දැන් එහි ගිණිපෙත්තටම නැග තිබේ.
  • අධිකරණයට අපහාස කළ නිසා, අවුරුදු 18කට සිරගෙට යැවූ එක් චීවරධාරියෙකු, ජනාධිපතිවරයා සිය අත්තනෝමතික බලය යොදා ඉන් පිටතට ගත්තේ ය.
  •   කුරුණෑගල වෛද්‍යවරයෙකුට එරෙහි ව, ජාතිවාදය වපුරන දිවයින පුවත්පත පළ කළ ව්‍යාජ වාර්තාවක් අරබයා ඇති වූ කැළඹීම, තවදුරටත් අවසන් නොවී පවත්වා ගන්නට, තවත් එක් චීවරධාරියෙක් දෛනිකව සටන් වදිමින් සිටින්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

රට කළඹවමින් ජාතිවාදය අවුස්සමින්, නීතියේ පාලනයට අභියෝග කරමින් නිදහසේ හැසිරෙමින් සිටිති.

රාජපක්ෂ චින්තනය විසින් කවා පොවා ඇතිදැඩි කරනු ලැබූ, නීතියෙන්ද ආරක්ෂාව සපයා දී පෝෂණය කරනු ලැබූ චීවර ත්‍රස්තවාදය දැන් එහි ගිණිපෙත්තටම නැග තිබේ. රටේ නීතියත්, නීතියේ පාලනයත් මේ මැරයන්ගේ අණසකට යටත් වූවා වැනි ය. ආණ්ඩුවක් නීතිය ක්‍රියාත්මක කිරීමක් තිබෙනවා ද යන්න සිතා ගැනීමට බැරි තරමට දේශපාලන නායකයෝ ද වෙනතක් බලාගෙන සිටිති.

අධිකරණයට අපහාස කළ නිසා, අවුරුදු 18කට සිරගෙට යැවූ එක් චීවරධාරියෙකු, ජනාධිපතිවරයා සිය අත්තනෝමතික බලය යොදා ඉන් පිටතට ගත්තේ ය. අපරාධකරුවන් සමාජයෙන් වෙන් කොට සිරගත කරන එක් පිළිගත් හේතුවක් නම්, ඔවුන්ගෙන් සමාජයට වන හානිය යම් කාලයකට හෝ නැවැත්වීමයි. ජනාධිපති සිරිසේන මේ මූලික හේතුව වත් නොසලකා, පිළිගත් නෛතික හා සදාචාරමය රීති කිසිවක් ද නොසලකා බෝතලයේ මූඩිය ගලවා මුදාහැරිය මේ යක්ෂයා, දැන් රිසි සේ සැරිසරමින් රටේ නීතියේ පාලනයට, නීතිය ක්‍රියාත්මක කරන්නට, සමාජයේ සාමයට සංහිඳියාවට හැකි උපරිම හානිය කරමින් සිටින්නේ ය.

මේ විනාශයේ වගකීම සෘජුවම ජනාධිපතිවරයා බාර ගත යුතු නැද්ද? අඩු ගණනේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමා යටතේ තිබෙන නීතිය හා සාමය භාර අමාත්‍යංශයේ බලය යෙදවිය යුතු නැද්ද?

ඒ කිසිවක් නොවන්නේ ජනාධිපතිවරයාත් මේ අයත් අතර තිබෙන දුෂ්ඨ අනොන්‍ය සහයෝගය නිසාද?

 Text 4

කුරුණෑගල වෛද්‍යවරයෙකුට එරෙහි ව, ජාතිවාදය වපුරන දිවයින පුවත්පත පළ කළ ව්‍යාජ වාර්තාවක් අරබයා ඇති වූ කැළඹීම, තවදුරටත් අවසන් නොවී පවත්වා ගන්නට, තවත් එක් චීවරධාරියෙක් දෛනිකව සටන් වදිමින් සිටින්නේ ය. කෝපයෙන් දැවෙමින්, ද්වේෂයෙන් පිපිරෙමින් මේ චීවරධාරියා අධිකරණ භූමියෙන් පිටත සැරිසරමින් නීතිය සියතට ගෙන සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට තර්ජනය කරමින්, ඔවුන් බිය වද්දමින් මේ චීවරධාරියා හැසිරෙන ආකාරය, සංකේතවත් කරන්නේ බජාර් එකේ චණ්ඩියෙකුගේ චරිතයයි.

එහි භයානකකම නම් යුක්තිය ඉටු කිරීමට අධිකරණයට ඇති වගකීම හා කාර්යභාරය ඉටු කිරීමට ඉතාමත් පැහැදිළි තර්ජනයක් මේ පුද්ගලයාගේ හැසිරීමෙන් එදිනෙදා එල්ලවීමයි.

සාක්ෂිකරුවන් බිය වැද්දීම, විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම වැනි දේ සිදුවන විට, යුක්තිය ඉටු වන්නේ කෙසේ ද? මේ පුද්ගලයා හැසිරෙන්නේ, සත්‍ය යනු තමා කියන දේය. යුක්තිය ඉටු විය යුත්තේ තමාට වුවමනා විදියට ය, යන අන්තවාදී දැක්මෙන් යුතුව ය.

'දිවයින' පුවත්පත පළ කළ බැලූ බැල්මට ම අසත්‍ය ප්‍රවෘත්තිය නිසා අගතියට පත් වූ පාර්ශවයක් සිටිති. ඒ සාෆි නැමැති වෛද්‍යවරයා පමණක් නොවේ. මේ රටේ නීතිය, නීතියේ පාලනය හා වාර්ගික සුහදතාව, සාමය අගය කරන සිංහල ජනතාව ද ඒ අගතියට පත් පාර්ශවයයි. ඔවුන්ටද යුක්තිය ඉටු විය යුතු ය. එය ඉටු විය යුත්තේ, ඔවුන් කියන දේ පමණක් සලකා බලා අධිකරණය ඔවුන්ට ඕනෑ තීන්දුවක් දීමෙන් නොවේ.

චෝදනා සංශයන් ගැන අපක්ෂපාතී විද්‍යාත්මක පරීක්ෂණයක් හා අපරාධ විමර්ශනයක් කිරීමෙනි. එනිසා විද්‍යාත්මක හා නෛතික විමර්ශනවලට එරෙහි වීමට කිසිවෙකුට බැරි ය. එරෙහි වන්නේ යමෙක් ද හේ රටේ නීතියටත්, යුක්තිය හා සාධාරණයටත් එරෙහි වන්නේ වෙයි.

Lanka Budhist

මේ චීවරධාරියා සිටින්නේ ඒ සියළු සාධාරණ විමර්ශණයන්ට එරෙහිව ය. සියළු සාධාරණ විමර්ශනවලට ඔහු බාධා කරයි. තමාගේ ස්ථාවරය මුදුන් පත් වන තුරු සිහි විකල්ලෙන් මෙන් හැසිරෙයි.

ජනාධිපතිගේ නිල නිවෙසට හෝ අගමැතිගේ නිල නිවෙසට ‌හෝ නිසි අවසරයකින් තොරව කිසිවෙකුට බලහත්කාරයෙන් කඩා වැදිය හැකි ද? සාමාන්‍ය මිනිසකු එසේ කරන්නේ නම් ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්නේ කුමනාකාරයෙන් ද? එහෙත් මැරයන් සේ හැසිරෙන චීවරධාරීන්ට ඒ රටේ නීතිය නොසලකා, වුවමනා වුවමනා විදිහට හැසිරිය හැකි ද? ඒ ක්‍රියාව ඒ මොහොතේ නැවැත්විය නොහැකි වුවත්, ඉන් පසුව වත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතු ද? නීතිය කැඩීමට චීවරයෙන් ස්වායත්ත ව පුද්ගලයෝ වගකිව යුතු නොවෙත් ද?

මේ මැරයන් මෙසේ හැසිරෙන්නේ තවමත් ඔවුන් චීවරය දරා සිටින නිසා ය. චීවරය ගැන සමාජයේ තිබෙන ගෞරවයත්, පිළිගැනීමත් අපයෝජනය කරමිනි. එහෙත්, ඒ හැසිරීමෙන් පෙන්වන්නේ, ඔවුන් පඬු පැහැ රෙදි කඩමාල්ලක් ගත දරා සිටිය ද බුද්ධ චීවරයටනම් සුදුස්සන් නොවන බව ය.

බුදුන් වහන්නේ බණ කිව්වේ මෙවැනි අදාන්තයන්, දුර්දාන්තයන් දමනය කිරීමට ය. ඒ සඳහා දහම් දෙසමින් ගමක් ගමක් පාසා යන්නට ශික්ෂාකාමී සිවුරු දරන්නෝ පරිසක් බුදු හිමියන් වටා සිටියහ. අද බුද්ධ ශාසනයට ඇතුළු වී චීවර දරා සිටින්නේ අර කී දුර්දාන්තයන්ම වන කළ, සිදු නොවිය හැක්කේ කුමක් ද?

(අනිද්දා- ජුලි 21 කතුවැකිය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...