The Leader News
BREAKING
Top Ad
Opinion

දේශපාලන ඉතිහාසගත වංචාවක ප්‍රතිරංගනය හෙවත් කැලණියට පහළ වූ නයි ධාතුව- සමිත විජේවර්ධන

T

The Leader Desk

December 6, 2019 • 4:32 PM

දේශපාලන ඉතිහාසගත වංචාවක ප්‍රතිරංගනය හෙවත් කැලණියට පහළ වූ නයි ධාතුව- සමිත විජේවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයට හරියටම සතියකට පෙර නාග ලෝකයෙන් පැමිණි නාගයෙකු සර්වඥ ධාතු 14 නමක් කැලණි විහාරයට පූජා කිරීමේ
  • එබැවින් රාහුලයෙනි ”විහිළුවකට වත් බොරු නොකියන්නෙමි”යි ඔබ හික්මිය යුතුය.” (අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රය, මජ්ඣිම නිකාය 1973 පිට.
  • 130) බොරු කීම පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම එයයි.
  • ත්‍රීපිටකයෙන් ගතහැකි කිසිදු සාධකයක් නැතත් දීපවංස, මහාවංස යන ඓතිහාසික ලේඛන දෙකෙහිම බුදුන් වහන්සේ ලංකාවට පැමිණි බව සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කුප්‍රකට පුවත ගැන විග්‍රහයක් කිරීමට පෙර ඒ ධාතුවල මුල් හිමිකරු වන බුදුන් වහන්සේගේ ඉගැන්වීමකට අවධානය යොමු කළ යුතුව ඇත.

බුදුන් වහන්සේ රජගහ නුවර වාසය කළ සමයෙහි එක් දිනක් සවස් භාගයෙහි රාහුල ආයුෂ්මතුන් වාසය කළ අම්බලට්ඨිකාවට වැඩි සේක. රාහුල ආයුෂ්මතුන් වහන්සේ බුදුන් වහන්සේට හිඳිනා අසුන් පනවා පා දෝවනයට දිය බඳුනක්ද පිළිගැන්වූහ. බුදුන් වහන්සේ පැනවූ අසුනෙහි හිඳගෙන තමන් වහන්සේ ම පා දෝවනය කරගෙන බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරි කර ”රාහුල ඔබ මේ බඳුනෙහි ශේෂ වූ දිය ස්වල්පය දක්නෙහි”දැයි විමසූහ. රාහුල හිමියෝ ”එසේ ය”යි පිළිවදන් දුන්හ. ”රාහුලයෙනි යමෙකුට දැන දැන බොරු කීමෙහි ලැජ්ජාවක් නැද්ද ඔහුගේ ශ්‍රමණ ධර්මයද මේ දිය ස්වල්පය සේ ම අල්පය” යනුවෙන් කියා දුන් බුදුන් වහන්සේ භාජනයෙහි දිය බැහැර කර ද භාජනය යටිකුරු කරද නැවත එය උඩුකුරු කර ද තවදුරටත් එය මෙසේ පැහැදිලි කර දුන්හ:

”රාහුලයෙනි බඳුනෙහි වූ දිය බැහැර කළාක් මෙන් ම දැන දැන බොරු කීමෙහි ලැජ්ජා නැත්තහුගේ ශ්‍රමණ ධර්මය ද බැහැර කරන ලද්දේ වෙයි; බඳුන යටිකුරු කළා සේ ම දැන දැන බොරු කීමෙහි ලැජ්ජා නැත්තහුගේ ශ්‍රමණ ධර්මයද යටිකුරු කරන ලද්දේ වෙයි; උඩුකුරු කළ බඳුන හිස් වූවාක් සේ ම දැන දැන බොරු කීමෙහි ලැජ්ජා නැත්තහුගේ ශ්‍රමණ ධර්මයද හිස්ය; තුච්ඡුය.”

”රාහුලයෙනි දැන දැන බොරු කීමෙහි ලැජ්ජා භය නැති පුද්ගලයාට නොකළ හැකි අකුසලයක් (අපරාධයක්) නැත. එබැවින් රාහුලයෙනි ”විහිළුවකට වත් බොරු නොකියන්නෙමි”යි ඔබ හික්මිය යුතුය.” (අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රය, මජ්ඣිම නිකාය 1973 පිට. 130)

බොරු කීම පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම එයයි. දැන් අපි ඒ බුදු දහම පවතිනවා යැයි කියන ශ්‍රී ලංකාවෙහි ඉතිහාසය දෙසට හැරෙමු.

 

බුදුන් වහන්සේ මහියංගන යක්ෂ දමනය !

Text 21ත්‍රීපිටකයෙන් ගතහැකි කිසිදු සාධකයක් නැතත් දීපවංස, මහාවංස යන ඓතිහාසික ලේඛන දෙකෙහිම බුදුන් වහන්සේ ලංකාවට පැමිණි බව සඳහන් වෙයි. එය එසේ වේවා! වංසකතාකරුවන් කියන පරිදි බුදුන් වහන්සේ මහියංගණයට පැමිණ ඇත්තේ යකුන් දමනය කරනු පිණිසය.

බුදුන් වහන්සේ මහියංගන යක්ෂ දමනය කර ඇත්තේ සුපුරුදු ධර්ම දේශනා මාර්ගයෙන් නොව වංචාකාරී ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමෙනි.

වංස කතාවල සඳහන් වන ආකාරයට මහියංගණයේ යක්ෂ සම්මේලනයට ඉහළින් අහසේ වැඩ සිටි බුදුන් වහන්සේ ඍද්ධි බලයෙන් මහා වැස්සක් වස්සවා යකුන් අධික ශීතලෙන් පීඩාවට පත් කර උණුසුම ලබාදීමට නම් බිම ඉඳ ගැනීමකට තැනක් ලබාදෙන ලෙස යකුන්ගෙන් ඉල්ලා සිටියහ. යක්ෂයෝ ඊට අවාකශ ලබා දුන්හ. බුදුන් වහන්සේ බිම වාඩිවී අග්නි ජාලාවක් මවා යකුන් මුහුදු වෙරළ දක්වා පලවා හැර ඔවුන් ගිරි දිවයිනේ පදිංචි කරවූහ. බුදුන් වහන්සේ මේ ‘ප්‍රාතිහාර්ය’ දක්වා ඇත්තේ තමන්ගේ ධර්මය බාධාවකින් තොරව ලක්දිව ස්ථාපිත කරනු පිණිස ලූ!!

යක්ෂයන්ට හෙවත් ලක්දිව ආදිවාසීන්ට එරෙහිව මේ බලහත්කාරය නිර්මාණය කිරීමට හේතුවක් ඇත. එය වෙනම සාකච්ඡුා කළ යුත්තකි.

 

බුද්ධාගම වෙනුවෙන් ඕනෑම ප්‍රචණ්ඩ වැඩක් කළාට කමක් නෑ කියන දෘෂ්ටිවාදය!

ඉහත කතාව ඉතිහාසය ගොඩ නැගූ ආත්මාර්ථකාමී භික්ෂූන් විසින් අතේ පැළ කරන ලද බොරුවකි. එය ඇත්තක් නම් බුදුන් වහන්සේ යථාවාදී තථාකාරී (කියන දේ කරන) සත්‍යවාදියෙක් හෝ අවිහිංසාවාදියෙක් නොවෙති; ආත්ම ලාභය සඳහා මිනිසුන් පීඩාවට පත් කරන අකෘතඥයෙකි. වස්තු කාමයෙන් පෙළුණු භික්ෂූන් ”දැන දැන බොරු කීමෙන්” බරපතළ ම අපරාධය කර ඇත්තේ බුදුන් වහන්සේටම වීම උත්ප්‍රාසජනක නොවේද?

මහියංගණයේ යක්ෂ දමනය වැනි සැහැසිකමක් කරනවා තබා එවැන්නක් කිරීමට සිහිනෙන්වත් නොසිතූ බුදුන් වහන්සේ ලවා තක්කඩිකම් කරවීමේ අරමුණ වන්නේ බුද්ධාගම වෙනුවෙන් ඕනෑම ප්‍රචණ්ඩ වැඩක් කළාට කමක් නෑ කියන දෘෂ්ටිවාදය බැතිමතුන් තුළ වගා දිගා කර පැළපදියම් කිරීම නොවේද?

රුවන්වැලිසෑයේ ධාතු ගර්භයෙහි නිදන් කිරීම පිණිස නාග ලෝකයෙන් ධාතු ගෙන ඒමද මහියංගණ යක්ෂ දමනය වැනිම බලහත්කාර අකටයුත්තකි.

 

බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු:

බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු ද්‍රෝණ (ලාස් 4ක් ද්‍රෝණ එකක්) අටෙන් එක් ද්‍රෝණයක් නා ලොව මහා කාල නා රජු භාරයේ තිබුණු බව මහාවංසය කියයි. රුවන්වැලි සෑයේ නිදන් කරනු පිණිස එකී ධාතු ගෙන එන ලෙස සොළොස් හැවිරිදි සොණුත්තර තෙරණුවෝ එහි යැවෙති. ධාතු ගෙන යෑමට තෙරුන් එන බව දැන ගන්නා රජ ඒවා සඟවන ලෙස වාසුලදත්ත නම් තම බෑණාට අණ කරයි. වාසුලදත්ත ධාතු කරඬුව පිටින්ම ගිල දමා මහමෙර පාමුල දරණ ගසා ගෙන නිදා ගනී. සොණුත්තර තෙරුන් නා රජුගෙන් ධාතු ඉල්ලූ කල්හි ”තමන් ළඟ ධාතු නැති බවත් තිබෙනවා නම් ගෙන යන ලෙසත්” නා රජ කියයි.

එකී ප්‍රකාශය නා රජු ලවා තුන් වරක් කියවා ගන්නා සෝණුත්තර ධාතු මන්දිරයේ සිටම සෘද්ධි බලයෙන් වාසුලදත්තගේ කටේ අත දමා බඬේ තිබුණු ධාතු කරඬුව එළියට ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණෙයි.

නිර්මිතයක් වූ මේ කථාවද බෞද්ධ ධර්මානුකූලව සාමයෙන් සුහදතාවෙන් සියලූ ධාතු හෝ ධාතුවලින් කොටසක් නා රජුගෙන් ලබා ගත් ආකාරයට නිර්මාණය කළ හැකිව තිබුණි. එහෙත් බලහත්කාර තක්කඩිකමම ඉස්මතු කරන්නේ තමන් බුද්ධාගම වෙනුවෙන් ඕනෑම ප්‍රචණ්ඩ වැඩක් කිරීමට සූදානම් බව කීමට නොවේද?

 

Text 22කැලණි විහාරයේ නයි ධාතු දෙසට....

දැන් අපි කැලණි විහාරයේ නයි ධාතු දෙසට හැරෙමු. ශ්‍රී ලංකා – නාග ලෝක අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව පිහිටා ඇත්තේ කැලණි විහාරය අසබඩ කැලණි ගං පතුලේ ය. මහා කාල නා රජුගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මණිඅක්ඛික නා රජු පදිංචි වී සිටින්නේද කැලණි විහාරයේය.

මණිඅක්ඛිකගේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අඩුක්කු රාල ද වන කපු උන්නැහේ පවසන ආකාරයට තමන් මණිඅක්ඛිකට අඩුක්කු පිළිගන්වන අවස්ථාවක ඔහු ප්‍රකාශ කර ඇත්තේ නාග ලෝකයෙන් ශ්‍රී  ලංකාවට සර්වඥ ධාතු තොගයක් පරිත්‍යාග කිරීමට නා රජු සූදානමින් සිටින බවයි.

ඒ අනුව පසුගිය 9 වැනි දින රාත්‍රී 10ට කැලණි ගං පතුලේ පිවිසුම් දොරටුවෙන් මතුවුණු නා රජ තම කටේ තිබුණු ධාතු කරඬුව කපුරාළට දී අතුරුදහන් වී ඇත. මණිඅක්ඛිකගේ ආගමික උපදේශක සංඝරක්ඛිත මහාචාර්ය තැනද මේ සිද්ධිය සත්‍යයක් බව අතේ අත තියා දිවුරා ප්‍රකාශ කරන අතර මේ ධාතු පහළවීම රටට සෞභාග්‍ය උදාවීමේ පෙර නිමිත්තක් බවටද අර්ථ දක්වයි.

පොතේ හැටියට නම් මේ ධාතු ලැබිය යුතුව තිබුණේ පසුගිය වෙසක් පෝය දිනය; එසේ නැතිනම් කැලණියට වැදගත්ම දිනය වන දුරුතු පසළොස්වක දිනය. ඒ දෙකටම නැතිව ජනාධිපතිවරණයට දින 7ක් තිබියදී ධාතු පහළවීමේ අර්ථය වන්නේ, රටට කෙසේ වෙතත් කැලණි විහාරයට සෞභාග්‍යය උදාවීම යැයි අපට නිකමට මෙන් සිතේ.

 

මේ සා මහත් බොරු කියමින් කරන්නේ මහා අපරාධයක් නොවේද?

බුදුන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කර අවුරුදු 2600ක් ගතවී ඇත. බුදුන් වහන්සේගේ ද ධර්මයේද උරුමක්කාරයන් තමන් යැයි කියා ගන්නා භික්ෂූන් අතර සිටින බෞද්ධ දර්ශනය පිළිබඳ මහාරිය තැන තම අනුගාමිකයන්ට ඥාන ගවේෂණයේ අත්පොතක් බඳු කාලාම සූත්‍රය උගන්වනවා වෙනුවට මේ සා මහත් බොරු කියමින් කරන්නේ මහා අපරාධයක් නොවේද?

අංගුත්තර නිකායේ එන කියමනක් මගේ සිහියට නැගේ:
”ගව රැළක මුලින් යන ගවයා ඇදේට යන විට පසුපසින් එන සෙසු ගවයන් යන්නේද ඇදේටය. එලෙසින්ම නායකයා වැරදි මග ගියොත් අනුගාමිකයෝද ඔහු පසුපස යති.”

දැන් ඉතින් අඳ බාල බැතිමත්හු වැල නොකැඞී පෙළ නොකැඞී නයි ධාතු වන්දනාවේ යනවා මිසක් නිකමට හෝ පහත දැක්වෙන ආකාරයේ ප්‍රශ්න නගන්නෝද?

”මේ නාගරාජයා මෙතරම් බලසම්පන්න නම් මහ රැ කැලණි ගෙඟ් හොරා පොලිස් සෙල්ලම් කරන්නේ නැතිව මහ දවල් කාටත් පෙනෙන ලෙස කැලණි විහාරයේ ධාතු මන්දිරයටම පැමිණ මේ ධාතු කරඬුව තැන්පත් කරලා යන්ට තිබුණා නොවේද?

අනික් අතට අහුවෙන අහුවෙන ගෙම්බන්, මීයන්, කටුස්සන් ආදී සියලූ සතුන් ගිල දමන කුණු නයි කටක හෝ ඒ සියලූ සතුන් එකට ඇඹරී හැදෙන ගන්ධස්කාර ජරා ගොඩක් වූ බඩක් තුළ ධාතූන් වහන්සේලා වැඩ ඉන්නවාද?

එහෙම ප්‍රශ්න කරන සමාජයක ආගමකට පැවැත්මක් නැත. ආගම යනු කෛරාටික දේශපාලකයන්ගේ ආරක්ෂකයාය. එනිසා පූජක දේශපාලක යන දෙපක්ෂයම අත්වැල් බැඳගෙන තම අනුගාමිකයන් සදාකාලික අවිද්‍යාවේ ගිල්වා දමති. ඒ සඳහා මිථ්‍යා හාස්කම් විටින් විට සමාජ ගත කළ යුතුය.

අවසාන වශයෙන් කිය යුත්තේ බුදුන් වහන්සේ යකුන් පලවා හැර තම සසුන ස්ථාපිත කර ඇත්තේ බුදුන්ගේද ඊරි මාංස උරා බොන ආගමික, දේශපාලනික යක්ෂ සේනාපතියන් සිටින රටක බවය.

(සමිත විජේවර්ධන -  රාවය December 6, 2019)

සබැඳි විශේෂාංග :

කැළණි පන්සලේ දේශපාලනය: මහ තුඹස, ලිබර්ල්ලු හා නිවටයෝ - නන්දන වීරරත්න

'දෙරණ' නාග ලෝකයෙන් කැලණියට ගෙනා ධාතු 18 දා අතුරුදහන්! - සල්පිටියේ ධම්මදස්සි හිමි‌යෝ ලියති

මැකොට පැමිණිල්ලක් : ගෝඨාබය බේරාගැනීමට නාග ලොවින් 'ධාතු' ගෙනත් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලන ඉතිහාසගත වංචාවක ප්‍රතිරංගනය හෙවත් කැලණියට පහළ වූ නයි ධාතුව- සමිත විජේවර්ධන | The Leader