The Leader News
BREAKING
Top Ad
Opinion

විප්ලව පටන් ගන්නේ සිහිමුළාවීමෙන්... - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

November 30, 2021 • 3:56 PM

 විප්ලව පටන් ගන්නේ සිහිමුළාවීමෙන්... - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Image@ Benedetta 2021
  • පිස්සන්ට යථාර්තය ගැන වැඩි හැඟීමක් නැති නිසා එයාල කියන දේවල් වියුක්ත අර්ථයෙන් ඇත්ත.
  • දැඩි විනය නීති එක්ක පුනරුද ඉතාලියේ කන්‍යාරාමයක ඉන්න බෙනෙඩිටා දිව්‍යමය විවාහයකට ඇතුලත් වෙනවා.
  • ආශාව, ඒ ආශාව අත්පත් කර ගැනීම, ඒ අත්පත් කර ගැනීමේ ප්‍රහර්ෂය, දිව්‍යමය අත්දැකීමක උත්කෘෂ්ට බව එක්ක සිහිනය සහ ඇත්ත ලෝකය අතර බෙනෙඩිටා අතරමං වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


'දෙවියන් විසින් මිනිස්සු පිස්සු වට්ටන්නේ එයාට මිනිස්සුන්ට කතා කරන්න ඕනි උනාම...'

ඒ කියන්නේ උමතුභාවයට පත් වෙච්ච කෙනෙකුට පුළුවන් දිව්‍යමය දේ කියන්න. පිස්සෙක් කියන දෙයකට උනත් ඒ නිසා හොඳින් සවන් දෙන්න වෙනවා. පිස්සන්ට යථාර්තය ගැන වැඩි හැඟීමක් නැති නිසා එයාල කියන දේවල් වියුක්ත අර්ථයෙන් ඇත්ත.

දැඩි විනය නීති එක්ක පුනරුද ඉතාලියේ කන්‍යාරාමයක ඉන්න බෙනෙඩිටා දිව්‍යමය විවාහයකට ඇතුලත් වෙනවා. ඒ දෙවියන් ගේ පුත්‍රයා වන යේසුන් එක්ක. යේසුස් සිහිනයෙන් ඇවිල්ල කියනවා ඔබ මගේ බිරිඳ කියල. ඒක නපුරු සිහිනයක් උනාට බෙනෙඩිටා ඒක සොඳුරු සිහිනයක් කරගන්නවා. ඒකෙ ජීවත් වෙනවා.

ආශාව, ඒ ආශාව අත්පත් කර ගැනීම, ඒ අත්පත් කර ගැනීමේ ප්‍රහර්ෂය, දිව්‍යමය අත්දැකීමක උත්කෘෂ්ට බව එක්ක සිහිනය සහ ඇත්ත ලෝකය අතර බෙනෙඩිටා අතරමං වෙනවා. ඉතිං එයා දිව්‍යමය සන්නිවේදනයක් ඇති කර ගන්න හදනවා. ඒ සන්නිවේදනය ගැන කන්‍යාරාමේ අනික් අය එච්චර පැහැදීමක් නැති වුණත් මේ වැඩේ බෙනෙඩිටා පැත්තෙන් නතර වෙන්නේ නැහැ.

ඒ අස්සේ එයා දෙවියන් ගේ හඬින් අනාගතය පුරෝකථනය කරන්නත් ගන්නවා. අනාගතයේ මොකක් වෙයිද වගේ දන්නේ නැති සමාජයකට පුරෝකථන සහිත ඒ අනාගත වාක්‍යය 'දැනුමක්' බවට පත් වෙනවා.  

අර දිව්‍යමය විවාහයෙන් පස්සේ බෙනෙඩිටා හැම උත්සහයක් ම දානවා යේසුස් ගේ ඇත්තම බිරිඳ බවට (ආශාව බවට) පත්වෙන්න. ඒත් කොහෙද මේ මනුස්ස ලෝකේ...පණ්ඩිතයෝ වැඩියි නේ. ඉතිං එයාට ප්‍රශ්න විතරයි. තහංචි විතරයි. යතුරු සිදුරු විතරයි. දෙවියොත් එක්ක එයා විඳින ප්‍රමෝදය මොකක් වගේ ඇත්ද කියල බලන්න හැමෝම ටොයිං වෙලා.

තාත්ත විසින් හැමදාම දුෂණය කරන නිසා ඒක ඉවසගන්න බැරුව කන්‍යාරාමෙට දුවල ඇවිත් බෙනෙඩිටා පාමුළ වැටෙන බර්තොලමියා ඇයට පෙනෙන්නේ දෙවියන් එවපු තෑග්ගක් වගේ. ඒ කියන්නේ කන්‍යාවක් වීම සහ ඇත්තම භෞතික පෙම්වතිය වීම කියන ක්‍රිස්තියානියේ සදාකාලික විරුද්ධාභාෂය ලෙහන්න එයා වෙත එව්ව විසඳුමක් වගේ.

පෝල් වහෝවන් (Paul Verhoeven) හැමදාමත් වගේ පට්ටම නිර්භීත අඩවියකට චිත්‍රපටය ගෙනියන්නේ මේ මොහොතේ. අර දිව්‍යමය අතිනත් ගැනීමෙන් පස්සේ තමන් වෙතට එන්න කියල යේසුස් දෙන නියෝගයට එකහෙලා අවනත වෙන නූතන ස්ත්‍රීවාදිනියක් නොවන බෙනෙඩිටා පුර්ණ ෆැල්ලස විනෝදයක් වෙත ගමන් කරනවා (complete phallic enjoyment).

'ඔව් මම ඔබේ නියෝගයට යටත්...මම ඉන්නේ ඔයා වෙනුවෙන් කැපවෙලා...ඉතින් ඔබේ ආශාව වෙනුවෙන් දැන් මම කරන්න ඕනි මොකක්ද කියල කියන්න....'
'දැන් මගේ ළඟට එන්න. ඔබ සහ මම වෙන්කරන මේ රෙදිකඩ උනා දමන්න...' ඒ ඇගේ සිහින යේසුස් ගේ වචන.

ඉතිං ඇය යේසුස් කුරුසියේ වේදනාවෙන් ඉන්න කොට ඇඟේ එතිලා තිබ්බ ඒ කුඩා රෙදි කඩ උනා දමනවා. වේදනාවේ උපරිමය ඇතුලේ ඉන්න යේසුන් එක්ක ෆැල්ලස විනෝදයේ ඉස්මත්තට යන්න අධිෂ්ටාන කරගෙන හිටිය බෙනෙඩිටා නම් මිනිස් පෙම්වතියට මහත් වූ පුදුමයක් මුණ ගැසෙන්නේ මෙතැනදී. අර රෙදි කැබැල්ල උනා දැමූ වහාම ඇයට පෙනෙනවා තමන්ගේ සිහින යේසුස් ට පුරුෂ ලිංගයක් නැහැ කියල.

පුරුෂ ලිංගය නැති නිසා ඇයට පුරුෂ ප්‍රමෝදය ඇතුලේ ස්ත්‍රිය ගත කරන ෆැල්ලස නිමේෂය නැවත යේසුස් නම් පෙම්වතා කරා ප්‍රක්ෂේපනය කරන්න බැරි වෙනවා. පුරුෂ ලිංගයක් නැති වුනත් මම පුර්ණ ප්‍රමෝදය කරා යනවා කියන එක රඟ දක්වන්න එයා පාවිච්චි කරන්නේ බර්තොලමියා විසින් හදල දෙන කෘතීම පුරුෂ ලිංගයක්.

බර්තොලමියා කියන්නේ තමන්ගේ සතුට ගැන හිතන්නේ නැතුව අනිකාගේ සතුට දකින්න කැමති කෙනෙක්. ඒක දැකල සතුටු වෙන කෙනෙක්. ඒකෙත් පොඩි දිව්‍යමය බවක් තියනවා.

ස්ත්‍රී ශරීරය කියන්නේ පවක්, තමන්ගෙම සතුරෙක් කියල උගන්වන ආගම මෙතැනදී අසරණ වෙන්නේ දෙවියන් හමුවෙන්න බෙනෙඩිටා පාවිච්චි කරන්නේ එයාලගේ ශරීරය වීම නිසා. යේසුස් වුණත් ශරීර වේදනාව එක්ක තමයි දෙවියන් අප දෙස බලා නොසිටී කියල අවබෝධ කර ගන්නේ.

මිනිසාට පුර්ණ ලෙස මනුෂ්‍ය වෙන්නවත් පුර්ණ ලෙස දිව්‍යමය වෙන්නවත් බැහැ කියල ෂෙලින් කියන දේ මෙතනදීත් හරි. බෙනෙඩිටා ගමන් කරන්නේ දිව්‍යමය සිහිනයක් දරා සිටීම සහ ඒක සාක්ෂාත් කරද්දී හමුවෙන මනුෂ්‍ය සමාජයේ කොන්දේසි (බාධා) එක්ක.


ඉතින් යතුරු හිලෙන් අනෙකාගේ ප්‍රමෝදය දිහා බලන් ඉන්න මනුෂ්‍ය සමාජය බෙනෙඩිටා ගැන සියලු දේ, සියලු රහස් සොයා ගන්නවා. ඒක එදා සමාජයේ හැටියට විතරක් නෙවෙයි අද සමාජයේ විදියටත් දරා ගන්න බැරි ඇත්තක්.


ගැහැණියක් විසින් දිව්‍යමය ආදරයක් සොයා යන සිහින ගමනකදි කරන දේ අදටත් ක්ෂිතියක් වෙන්න නියමිතයි. විශේෂයෙන් ශුද්ධ වූ මරියා මව්තුමියගේ පිළිරුවක් කෘතීම ශිෂ්නයක් (dildo) බවට පරිවර්තනය වෙන එක, කන්‍යාරාමය ඇතුලේ ඇසෙන ප්‍රමෝදයේ හඬ, පල්ලියේ කෘර දඬුවම් වල වේදනාවේ හඬ යන මේ සියල්ල ගත්තම බෙනෙඩිටා එයාගේ ආදරය වෙනුවෙන් තමා දත් ශුද්ධ වූ සියල්ල උල්ලංඝනය කරනවා. කෙළෙසනවා.

ඉන් පස්සේ එළඹෙන්නේ දඬුවම් විඳින කාලේ. වසංගතයත් එක්ක නගරය ගිණි ඇවිළෙන කොට බර්තොලමියා එක්ක ඈතට පැනල ගියත් එයා ආයෙමත් කන්‍යාරාමයට යනවා. එතැන තමයි එයාගේ තැන.

මේ සියල්ල ඉවර වෙලා මනුෂ්‍ය සමාජය විසින් දෙන සියළු ගර්හාවන් එයා ඉවසගෙන තවත් කාලයක් ඒ බිත්ති අතර හුදකලාවේ වාසය කරනවා. ක්‍රිස්තියානි පල්ලිය ඒකෙ පාදමෙන්ම හොල්ලල දාල තවත් වසර තිස් පහක් ආගමික සිරගත බවේම ඉඳල අවුරුදු හැත්තෑ එකේදී සන්සුන්ව මිය පරළොව යනවා.

යේසුස් ගේ තුවාල වල වේදනාව තමන්ගේ කරගන්න, ස්ත්‍රියක් හැටියට ඒ තුවාල සුවපත් කරන්න, ඒ වෙනුවෙන් එයාගේ ශරීරය දෙන්න බෙනෙඩෙටා ගහන්නේ පල්ලියට එරෙහි කැරැල්ලක්. ඒ මනුෂ්‍ය බවට පක්ෂපාත කැරැල්ලක්. ආශාවේ කැරැල්ලක්. ඒක භ්‍රාන්තියක්. මායාවක්. සිහිමුළාවීමක් (delirium). විප්ලව පටන් ගන්නේ ආශාවෙන්....ආශාව නිසාම සිහිමුළාවීමෙන්.

'ලෙනින් ඉන්නේ හොඳ සිහියෙන් ද කියල මටනම් සැකයි' (කෘප්ස්කයා, 1917 අප්‍රේල් මාසයේ).

Benedetta Carlini (1590-1661) ඇතුළු කාලයේ වැලිතලාවෙන් වැසීගිය සියළු ස්ත්‍රීන් වෙනුවෙන් ACDC ගායනා කරන Through the Mist of Time ගීතය තිළිණයක් ලෙස.  



Mahesh Hapugoda 1 1




(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

THE  LEADER  TV


ජනාධිපති නියෝග පයිසෙට වැටෙයි! | The Leader TV
 


කුස්සියක් ගානේ පුපුරණ දෙවර්ෂ පූර්ණ මල් වෙඩි ! | මොණරවිලගේ ලියමන

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...