කියන එක මට වැදගත් කාරණයක්. ඒ කියන්නෙ රැල්ලට පරිභෝජනය වෙනුවට මට විශේෂ අත්දැකීමක් දෙන දේවල් පරිභෝජනයට මං උනන්දුයි.
ද්‍රව්‍යමය පරිභෝජන වෙනුවට අත්දැකීම් සහ කලාවන් පරිභෝජනය කරන්න මං කැමතියි.
මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. සමහරුන්ට අයිෆෝන් එකක් අතේ තියාගැනීම කියන්නෙ ඉහළ මට්ටමක්. තව කෙනෙකුට ඇත්තටම අයිෆෝන් එකක යම් ගුණාත්මක වටිනකමක් තියෙනවා වෙන්න පුළුවන්.
කොහොම වුනත් පරිභෝජනය අඩු කරනවා නම් අපිට උපයන්න ඕන වෙන්නෙ අඩුවෙන්. උපයනවා අඩු නම් අපිට අඩුවෙන් වැඩකරන්න පුළුවන්. එතකොට අපිට වෙලාව සහ විවේකය උපයන්න පුළුවන් වෙනවා. ඒ විවේකය සහ වෙලාව අපි කැමති පරිදි ආයෝජනය කරමින්, අපි කැමති අපේ පැවැත්ම අර්තවත් කරන නිෂ්පාදන කරන්න පුළුවන්.
පරිභෝජනවාදයෙන් මිදීම කියල දෙයක් නෑ. පරිභෝජනය අර්ථසම්පන්න කරගැනීමයි කරන්න තියෙන්නෙ. අනිත් ඕනම ism එකක් වගේ කන්සියුමරිසම් කියන එකත් ඇබ්බැහියක්. ඇබ්බැහි නවත්තන්න බෑ දිශාව වෙනස් කරන්න විතරයි පුළුවන්.
මං මේ කතා කරන්නෙ අල්පේච්ඡතාවය ගැන නම් නෙමෙයි. අල්පේච්ඡතාවය කියන අදහස අපේ මනසෙ මුල්බැහැගෙන තියෙන දුප්පත්කමක්, අත්හැරීමක් වගේ දෙයක් විදිහට. (නමුත් එහි මුල් අදහස වෙනස් එකක් බවත් කියන්න ඕන)
මෙතන කියන්නෙ අපේ තෘප්තිය වෙනත් මට්ටමකට ඔසවා තැබීමක්. සමාජයට උවමනා දෙයින් තෘප්තිමත් වීම වෙනුවට තමන්ට ආවේණික තෘප්තිය සොයා යාමක්. ප්‍රමාණාත්මක දේට වඩා වටිනාකම්, සංකල්ප සහිත ගුණාත්මක දේ පරිභෝජනය කිරීමක්. ජීවිතේ වඩා වටිනාම දේ කාලය බව තේරුම් ගැනීමක්.
මේකට කොන්ෂස් කන්සම්ප්ෂන් කියල කියන්න පුළුවන්.

අපි පරිභෝජනය කරන දේවල් විසින් අපිව නිර්මාණය කරනවා. උදා විදිහට මිළ අධික වාහනයක් පරිභෝජනය කරන කෙනෙක් ඒ වාහනය විසින් නිර්මාණය කළ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙනවා. තමන්ගේ ජීවිතයට ඒ වාහනයෙන් ලැබෙන අනන්‍යතාවය නිර්මාණය වෙන්නෙ ඒ විදිහට.
ඉතිං අපිට පුළුවන් නම් වැඩිපුරම අපිට අයිති කාලය ඉතුරු කරගෙන ඒ කාලය සුන්දර අත්දැකීම්වලට, මිතුරු ඇසුරුවලට පරිභෝජනය කරන්න අපි ගොඩක් පෝසත් මිනිස්සු. ඒත් යම් කිසි සමාජ තත්වයක් හෝ ඒ තත්වය ලබාදෙන භාණ්ඩයකට අපේ ජීවිතයේ සම්පූර්ණ කාලයක් කැප කරන්න වෙනවා නම් අපි වහලෙක්.
අපි වෙනස් වෙනවා කියන්නෙ අපේ පරිභෝජනය වෙනස් කරන එකට. ඒ කියන්නෙ අපේ ආශාවේ දිශාව වෙනස් වෙනවා. අපි වෙනස් දේවල් ප්‍රාර්ථනා කරනවා. වෙනස් සංස්කෘතියක් නිර්මාණය වෙනවා.
මේක දැනුවත්ව කරද්දි අපි කියනවා අපේ ජීවිතය ඩිසයින් කරනවා කියල. වෙළඳපොල හෝ සමාජය විසින් අපේ ජීවිතය නිර්මාණය කිරීමට ප්‍රතිවිරුද්ධව අපි සාමූහිකව නිෂ්පාදනය සහ වටිනාකම් යළි නිර්මාණය කරනවා.
මේක එක්තරා විදිහක රිජෙනරටිව් කැපිටලිසම් කියන පැත්තට නැඹුරු වීමක්. ධනවාදයේ ස්වරූපය වෙනස් වෙන්නෙ පරිභෝජනය වෙනස් කිරීමෙන්. රිජෙනරටිව් කැපිටලිසම් කියන්නෙ සියල්ල පාවිච්චියට ගනිමින් ලාභ උපරිම කිරීම වෙනුවට ජීවිතය සහ පරිසරය සමස්තය එක්ව ගෙන වඩා ඵලදායී ලාභයන් නිර්මාණය කිරීමේ ධනවාදයේ ඊලග අදියර.
මේක දැනට අපි නිතර කියන සස්ටේනබිලිටි හෙවත් තිරසර කතාවට වඩා වෙනස්. ප්ලාස්ටික් බෝතල් විරෝධය වගේ මතුපිට කාරණාවලට වඩා ගැඹුරුයි.
පවතින ක්‍රමයේම කොටසක ලේබලයක් විදිහට මේ තිරසර පැවැත්ම සංකල්පගත කරනවා වෙනුවට ඒක ප්‍රධාන නිමැවුම බවට පත්කිරීමේ ආකාරයක්.
මෙතනදි අපි කතා කරන්නෙ එකිනෙක හා බැඳුනු ජීවිත ගැන. ඒ කියන්නෙ මෙතනදි අප සහ එය යනුවෙන් දෙකක් පවතින්නෙ නෑ. මනුස්ස ජීවිතය පරිසරයේම කොටසක් හැටියට දකිමින් තමයි ආර්ථිකය සංකල්පගත කරන්නෙ.
මේ ධනවාදයේ අදියරේදි ධනය යන්න මුදල් හෝ තැන්පතු හෝ ආකාරයෙන් වටහා ගන්නෙ නෑ. ඒ වෙනුවට ධනය සංස්කෘතික, ආර්ථික, ඓතිහාසික, පාරිසරික ආදී සියලු කාරණාවල සමස්ත වර්ධනයක් විදිහට ගනං බලනවා.
ඒ වගේම මේ අනාගත ධනවාදය සියලු දෙනා විසින් සක්‍රීය සහභාගීත්වයකින් නිර්මාණය කරන ක්‍රමයක්. නිෂ්පාදනය කරන්නා සහ පරිභෝජනය කරන්නා යන දිශාව වෙනුවට නැවත පරිභෝජනය කරන්නාම නිෂ්පාදනය කරන්නා බවට පෙරලෙන චක්‍රීය ක්‍රමවේදයන් සකස් වෙනවා.
මෙතනදි වඩාත්ම වැදගත් කාර්ය කොටසක් කරන්නෙ නිර්මාණශීලීත්වය විසින්. බිස්නස්කාරයො හෙවත් ව්‍යාපාරිකයො වෙනුවට ව්‍යවසායකයො මූලිකත්වය ගන්නවා. ව්‍යාපාරික කියන්නෙ යමක් අලෙවියෙන් ලාභ ලැබීම පමණක් පරමාර්ථ කරගන්නා කෙනෙක්. නමුත් ව්‍යවසායකයෙක් කියන්නෙ පවතින මානව ගැටළුවකට විසඳුම් ලබාදීම හරහා අලුත් ජීවන තත්වයක් හෝ මානයක් නිර්මාණය කරන කෙනෙක්.
රිජෙනරෙටිව් කැපිටලිසම් වැඩකරන්නෙ මැද තැනක. ඒක පරිසරය සහ තාක්ෂණය අතර සමතුලිතතාවයක් හොයනවා. වර්තමානය සහ අනාගතය අතර සමතුලිතතාවයක් හොයනවා. එක අන්තයක පිහිටනවා වෙනුවට මධ්‍යයේ පිහිටුම තමයි ස්වභාවය වෙන්නෙ.
දැනට අපේ පවතින පරිභෝජන මොඩ්ල් එක තමයි ගත්තා, හැදුවා, විසිකළා කියන එක. Take Make Waste. මෙතන ඇති කරන රැඩිකල් වෙනසක් තමයි අපිට සිස්ටම් චේන්ජ් එකක් කියන්න පුළුවන්. මේක සවිඥානක පෙරලියකට ලක්කිරීම කියන්නෙ අපේ පුද්ගලික සහ සමාජ ජීවිතවල ඩිසයින් එක වෙනස් කිරීමක්.
අපේ වනාන්තර, සාගර, සහ හිරු එළිය ආර්ථිකය විදිහට දකින, දේවල් වෙනුවට අත්දැකීම්වලට වැඩි වටිනාකමක් ලැබෙන, ප්‍රමාණය වෙනුවට ගුණාත්මක බව ගැන වැටහීමක් පවතින, ජීවිතේ අපි සන්තකව පවතින කාලය විසල්ම ධනය ලෙස රැස් කරන සමාජයක් ගැන සිහිනයක් මේ නව ආර්ථික මොඩලයේ තියෙනවා.
මේ වෙනුවෙන් දැන් ලෝකෙ වැඩ පටන් අරගෙන. මහ පරිමාණ නිෂ්පාදන වෙනුවට Small is Beautiful කියන සංකල්පය ප්‍රායෝගික වෙන්න අරගෙන.
ඊ.එෆ් ෂූමාකර් 1970 ගණංවල මේ ගැන පොතක් ලියනවා. එයා ඒකෙදි කතා කරනවා අර්ථවත් තාක්ෂණය ගැන. ඒ කියන්නෙ හුදු තාක්ෂණය දියුණු කිරීමම ප්‍රමාණවත් වෙන්නෙ නෑ ඒ වෙනුවට ඒ තාක්ෂණය ඇත්තටම මිනිස් ජීවිතය අර්ථවත් කරනවාද යන්න ගැන හිතන්න ඕන කියන එක.
අනවශ්‍ය තරම් වේගය, අනවශ්‍ය තරම් පහසුව පිණිස අපි විශාල සම්පත් ප්‍රමාණයක් නාස්ති කරමින් ඉන්නවා.
ඒ වගේම අපේ ජීවිතවල ගුණාත්මක තත්වය ඇණයක් මුරිච්චියක් දක්වාම පිරිහෙමින් තියෙනවා.
ආර්ථිකය කියල අපි හඳුනගත්ත ඌනිත චිත්‍රය වෙනුවට අපිට පුළුවන්ද සමස්ත චිත්‍රය (බිග් පික්චර්) එක දක්වා යන්න. සියල්ල කැටිකරගත් ආර්ථිකයක් ගැන නිර්මාණාත්මකව හිතන්න? ඒකෙ පළමු පියවර වෙන්නෙ අපේ පරිභෝජනය ගැන අපි සවිඥාණක වෙන එකයි. සවිඥානක පාරිභෝගිකයා තමයි සවිඥානක ආර්ථික ක්‍රියාවලියක පදනම සකසන්නෙ.
(චින්තන ධර්මදාස)දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)
.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.




