The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් නැත්නම් අනුර අනිත් ඔක්කොම සෙවල

T

The Leader Desk

November 6, 2022 • 8:05 PM

රනිල් නැත්නම් අනුර අනිත් ඔක්කොම සෙවල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මේ ක්‍රමය පවත්වන් යන්න හොඳම කෙනා රනිල්, ක්‍රමය වෙනස් කරන්න හොඳම කෙනා අනුර. – ලාල් කාන්ත
  • 77 මහමැතිවරණය දවසෙ රාත්‍රියෙ ජේ.ආර්.
  • ජවිපෙ තහනම් සංවිධානයක් බවට පත්කළ ජේ.ආර්, ජවිපෙ මර්දනය කරන්න කිසිම පසුබෑමක් වුනේ නෑ.
  • ගෙන් විමසූවිට ඔහු, “විස්කි බොන වම එකක්, අරක්කු බොන වම තව එකක්” යැයි සිනාසෙමින් පැවසූ බවට කතාවක් තියෙනව, එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, එහි අර්ථය වචන වලින් කියවෙන පංති අර්ථයට වඩා ගැඹුරු එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලාල් මේ කතා කරන්නෙ වමේ සහ දකුණේ ආදර කතාවක් ගැන. ලංකාවෙ මේ ආදර කතාවට දිග ඉතිහාසයක් තියනව. කවූරුත් දන්න විදිහට ජේ.ආර්. කියන්නෙ ලංකාවෙ බිහිවුණ උග්‍රම දක්ෂිණාංශික දේශපාලනඥයා. ඒත් ජේ.ආර්.ට වමත් එක්ක ආදර කතාවක් තිබුණ.


එක්වරක් යටියන්තොට ආසනෙන් යූ.එන්.පී. එකෙන් වින්සන්ට් පෙරේරා ඡන්දෙ ඉල්ලනව, ප්‍රතිවාදියා වමේ එන්.එම්.පෙරේරා, වින්සන්ට් පෙරේරා ලොකු රැස්වීමක් ලෑස්ති කරල ජේ.ආර්ට ආරාධනා කළා. රැස්වීමට කලින් වින්සන්ට්ගෙ නිවසට ගිහින් කෝපි එකකුත් බීල රැස්වීම් වේදිකාවෙදි ජේ.ආර්. කියනව,

”තමුන්නාන්සෙලාගෙ ආසනේට පෙරේරල දෙන්නෙක් ඡන්දෙ ඉල්ලනව, ඉතිං තමුන්නාන්සෙලා උගත්, යහපත් පෙරේරට ඡන්දෙ දෙන්න”

ජේ.ආර්. ඕනෙ උනේ එන්.එම්.ව දිනවන්න. 77 මහමැතිවරණය දවසෙ රාත්‍රියෙ ජේ.ආර්. ගෙ නිවසෙ පහළ තට්ටුවෙ ඔහුගෙ හිතවතුන් මැතිවරණ ප්‍රතිපල අහද්දි ජේ.ආර්. හිටියෙ සුව නින්දක, පාන්දර අවදිවෙලා තරප්පු පේලිය බැහැල ආපු ජේ.ආර්. ප්‍රතිපල ගැන අහන්නෙ නැතුව මුළුතැන්ගෙට ගිහින් කෝපි කෝප්පෙකුත් අරන් ප්‍රතිපල අහමින් හිටපු පිරිස අතරට ආවලු. එතන හිටපු පිරිස,
‘සර් අපි අහරෙ දිනුම්‘
‘මෙහෙත් දිනුම්‘
ආදී වශයෙන් යූ.එන්.පි ජයග්‍රහණ ගැන කියන කොට ජේ.ආර්. ඇහුවලු
“එන්.එම්. ට මොකද වෙලා තියෙන්නෙ”
“පාරාදයි”
“එතකොට කොල්වින්”
“පරාදයි”
ජේ.ආර්. කණගාටුවෙන් නැගිටල ගියාලු. එන්.එම්. ගැන ඒ තරම් ආදරේකින් කටයුතු කළ ජේ.ආර්.ට විජේවීර ගැන තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් හැඟීමක්.

ජේ.ආර්., විජේවීරගේ පක්ෂෙ නමවත් හරියට කිව්වෙ නෑ, ඔහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට හැම වෙලාවෙම කිව්වෙ ජාතික විමුක්ති පෙරමුණ කියල. ජවිපෙ තහනම් සංවිධානයක් බවට පත්කළ ජේ.ආර්, ජවිපෙ මර්දනය කරන්න කිසිම පසුබෑමක් වුනේ නෑ.

එන්.එම්.ලගෙ වමට ආදරේ කරපු ජේ.ආර්. විජේවීරගෙ වම පිළිකෙව් කිරීම ගැන ජේ.ආර්. ගෙන් විමසූවිට ඔහු, “විස්කි බොන වම එකක්, අරක්කු බොන වම තව එකක්” යැයි සිනාසෙමින් පැවසූ බවට කතාවක් තියෙනව, එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, එහි අර්ථය වචන වලින් කියවෙන පංති අර්ථයට වඩා ගැඹුරු එකක්.

විජේවීරගෙ වම ආක්‍රමණශීලී, කැරලිකාර වමක්, බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය, පුද්ගල ත්‍රස්තවාදය පවා යොදා ගන්න මැලි නොවුණ වමක්, ජේ.ආර්.ට ඒ වම නයාට අඳුකොල වුණාට පාර්ලිමේන්තුව තුළින් බලය ගන්න උත්සාහකරපු, අයවැයට, අණපනත්වලට ප්‍රසස්ථ විවේචන ගෙනාපු එන්.එම්.ලගෙ වමට ඔහු ආදරේ කළා. සමහර කරුණුවලදි ඔහු තමන්ගෙ මතය කියලා,”

“එන්.එම්. මොකක්ද මේ ගැන කියල තියෙන්නෙ” කියල අහන්නෙ, එන්.එම්.ගේ මතයට එකඟ නිසා නෙවෙයි. තමන් හරියට දකුණේ මතය තුළ ඉන්නවද කියල දැන ගන්න හොදම කොම්පාසුව එන්.එම්.ලගේ වම නිසා.

හැබැයි එදා තිබුණු වම – දකුණු දේශපාලනය නෙමේ අද තියෙන්නෙ. සමාජවාදී කඳවුර බිඳවැටිල, චීනය, වියට්නාමය වැනි කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවලුත් නිදහස් ආර්ථිකය පිළිගෙන, අත්හදා බලල සාර්ථක වෙලා තියෙන අද වගේ යුගයක වම සහ දකුණ අතර මායිම් බොඳ වෙලා.

අද ජනතා විමුක්ති පෙරමුණත් නිදහස් ධනවාදය පිළිගන්නව. ඒ නිසා අලුත් වම, එදා පැරණි වම ජේ.ආර්.ට කොම්පාසුවක් වුණා වගේ රනිල්ට කොම්පාසුවක් නෙමේ. අලුත් වම අලුත් ආර්ථික මගේ ආධුනිකයො, ඔවුන්ට ඒ මගේ නොවැරැදී යන්න ඕනෙනම් කොම්පාසුව රනිල්. ඒත් ඔවුන් රාජපක්ෂලා ගෙන් පාර අහන්න ගිහින් වරක් වරද්ද ගත්ත. නමුත් ඔවුන් ඒ වැරැදි තුළින් ඉගෙන ගනිමින් සිටින බව පෙනෙනවා. ඒ වගේම ඔවුන් පරිණත වෙමින්, ඉවසිලිවන්තව ගමන් කරමින් සිටිනව. ඒ නිසාමද කොහෙද රනිල්ට අනුර ගැන පොඩි ආදරයක් තියනබව ඉදහිට පේනව.

පාර්ලිමේන්තුවෙදි අනුර රනිල්ට දැඩි ප්‍රහාරයක් දීපු වෙලාවෙ රනිල්ගේ හැසිරීමේ තිබුණේ තමන්ගේ හිත ගිය කෙල්ල ප්‍රසිද්ධියේ ඇනුම් පදයක් කිව්වහම කොල්ලගේ හැසිරීම වගේ විප්‍රයෝගශුංගාරී බවක්. රනිල්ගෙ පැත්තෙන් අනුරට තියන මේ ආදරේ ඉදහිට පෙන්නුවත් අනුර හරියටම ගොළු හදවතේ ධම්මි වගේ එයාගෙ ආදරේ කවදාවත් පිටට ඇඟෙව්වෙ නෑ. හරියට පවුලෙ අයියලට බයේ වගේ. කෙල්ලගේ අයියලගේ දඩබ්බර එකා වුණ ලාල් එකපාරටම කොල්ලව කඩපිලේදි හම්බවෙලා ”නංගිත් ගෙදර හිටිය” කියනව වගේ අනපේක්ෂිත ප්‍රකාශයක් කළේ ඊයේ පෙරේදා.

“එක්කො රනිල් , නැත්නම් අනුර”

ලාල් මේ කතාව කියන්නේ, දුෂ්ඨයෝ ටික පාරට බැහැල ඉන්න වෙලාවක. දුෂ්ඨයෝ කියන එකෙන් අදහස් කළේ රනිල්ගෙ දුෂ්ඨයෝ හරි, ජවිපෙ දුෂ්ඨයෝ හරි කියන එක නෙමේ. රටේ දුෂ්ඨයෝ කියන එක.

අද රට කරන්නෙ රනිල්. හෙට අනුර රට කරන්නත් පුලුවන්. කවුරු රට කරන්නත් රටක්, ජනතාවක් ඉතුරු වෙලා තියෙන්නෙ ඕනෙ. ඒ නිසා ලාල්ගේ ඒ කතාව අගය කරන්න ඕනෙ.

ලාල්ගෙ කතාවත් අගය කරල, අනුරගේ රනිල්ගේ ප්‍රේමය ගැන අලංකාරෝක්තියෙන් සටහනක් ලිව්වෙ, රනිල් එක්ක ජවිපෙ ඩීල් වගේ බාල දේශපාලන කතාවක් කියන්න නෙමේ. ඒ වගේම ඊළඟ ආණ්ඩුවෙන් ජේවීපී එක ඇමතිකම් ගන්න ඕනෙ කියන්නත් නෙමේ. මුලින්ම සටහන් කළා වගේ නූතන ලෝකෙ වම සහ දකුණ අතර සීමාව හරිම පටුයි. ඒ පටු වෙනස ඇතුළේ දෙපැත්තටම හුවමාරු වුණ සාධනීය දේවල් බොහෝයි. ඒ නිසා ජවිපෙ ඉවසිල්ලෙන්, හරියට ගියොත් ලාල් කිව්ව, “එක්කො රනිල්, නැත්නම් අනුර” කතාව දවසක ”රනිල් ජනපති, අනුර විපක්ෂනායක වෙන්නත් පුලුවන්…

- ඩිල්ෂාන් තේනුවර

(Chatham Street Journal 2022-11-06)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...