The Leader News
BREAKING
Top Ad
Opinion

නැවත මුණගැසෙන ජාතික ප්‍රශ්නයේ මංසන්ධිය - (සුමිත් චාමින්ද)

T

The Leader Desk

December 15, 2022 • 5:14 PM

නැවත මුණගැසෙන ජාතික ප්‍රශ්නයේ මංසන්ධිය - (සුමිත් චාමින්ද)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා පසුගිය සතියේ ලියූ ලිපිය සම්බන්ධයෙන් පුද්ගලිකව මා වෙත ලැබුණු විචාරයකින් අරඹන්නට කැමැත්තෙමි.
  • මගේ විචාරකයා සිංහල බසින් ලියන්නෙකු නොවන බැවින් ඔහුගේ විචාරයේ එන ඇතැම් කරුණු සිංහල පාඨකයින් හට සන්නිවේදනය කිරීම සහ ඒ පිළිබඳ මගේ විශ්ලේෂණය වර්ධනය කිරීම යන වගකීම් දෙකම මම මවෙත පවරා ගනිමි.
  • ජාතික ප්‍රශ්නයේ තුරුම්පුව : වික්‍රමසිංහගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය කොතරම් සැක සහිත වුවද, සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් කෙරෙහි එයින් ඇති කෙරෙන බලපෑම අපට අවතක්සේරු කළ නොහැකිය.
  • එසේම යුද්ධය අවසාන වීමෙන් පසුවත් නොනිල මිලිටරි ආධිපත්‍යයක් යටතේ ජීවත් වන්නට සිදු වී තිබෙන ජනතාවකගේ අවධානය දිනා ගැනීමේදී ඇතැම් විට ඔවුන්ට බලපාන ඇතැම් කුඩා පරිපාලනමය බාධාවන් ඉවත් කිරීම පවා ප්‍රමාණවත් විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම විචාරයෙන් තියුණු ලෙස පෙන්වා දී තිබුණේ මා රනිල් වික්‍රමසිංහගේ උපායික ප්‍රවේශය හඳුනාගෙන තිබුණද, දිගුකාලීන මූලෝපායික සැලැස්ම මග හැර ගොස් තිබෙන බවය.

වික්‍රමසිංහ ඉදිරි නිදහස් දිනයට පෙර මෙරට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් සෙවීම සඳහා වූ සාකච්ජා මාලාවක් අරඹන්නට විපක්ෂයේ කොටස්වලට ඇරයුම් කළේය. ඔහු බලය බෙදීමට නුඹලා එකඟ නැත්දැයි තෝරා ගත් විපාක්ෂික මන්ත්‍රීවරුන්ගෙන් විමසන ලද්දේ එම ඇරයුමට සමගාමීවය. මගේ විචාරකයා ඉතාම නිවැරදිව පෙන්වා දී තිබූ පරිදි ජනපතිවරයාගේ මෙම ක්‍රියාව මගින් හැඟවෙන්නේ හුදෙක් ඔහුගේ උපායික එළඹුමක් පමණක් නොවේ. ඒ වෙනුවට, තම බලය තහවුරු කරගැනීමේත්, විපාක්ෂික බලවේග බෙදා දුර්වල කිරීමේත්, පෙරටුගාමීන් වැනි රැඩිකල් කොටස් මර්දනය කිරීමේත් කිසියම් මූලෝපායික සැලැස්මක් ගැන එයින් ඉඟි කෙරේ.

මේ ලිපියේ අරමුණ වන්නේ ඉහත විවේචනය සාධනීයව භාර ගනිමින් පසුගිය සතියේ මගේ අවධානයට ලක් නොවූ මූලෝපායික තලයේ නව වර්ධනයන් සාකච්ජාවට ලක් කිරීමය. මගේ විචාරකයා සිංහල බසින් ලියන්නෙකු නොවන බැවින් ඔහුගේ විචාරයේ එන ඇතැම් කරුණු සිංහල පාඨකයින් හට සන්නිවේදනය කිරීම සහ ඒ පිළිබඳ මගේ විශ්ලේෂණය වර්ධනය කිරීම යන වගකීම් දෙකම මම මවෙත පවරා ගනිමි.


ජාතික ප්‍රශ්නයේ තුරුම්පුව :


වික්‍රමසිංහගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය කොතරම් සැක සහිත වුවද, සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් කෙරෙහි එයින් ඇති කෙරෙන බලපෑම අපට අවතක්සේරු කළ නොහැකිය. දශක ගණනාවක් පුරා පීඩනයට ලක්ව සිටින ප්‍රජාවකගේ කැමැත්ත දිනා ගැනීමට නම්, පළමුව ජාතික දේශපාලනය තුළ ඔවුන්ගේ ප්‍රශ්නය ගැන කතා කිරීම අවශ්‍ය වේ. එසේම යුද්ධය අවසාන වීමෙන් පසුවත් නොනිල මිලිටරි ආධිපත්‍යයක් යටතේ ජීවත් වන්නට සිදු වී තිබෙන ජනතාවකගේ අවධානය දිනා ගැනීමේදී ඇතැම් විට ඔවුන්ට බලපාන ඇතැම් කුඩා පරිපාලනමය බාධාවන් ඉවත් කිරීම පවා ප්‍රමාණවත් විය හැකිය.


නිදසුනක් ලෙස, නැගෙනහිර පළාත තුළ මධ්‍යම ආණ්ඩුවේ රේඛීය ආයතනත් පළාත් සභාවත් අතර කාර්යයන් බෙදාගැනීම සම්බන්ධයෙන් පැවති ඇතැම් ගැටළු නිරාකරණය කිරීමත් සමග ප්‍රාදේශීය දෙමළ දේශපාලකයින් අතර වික්‍රමසිංහ පාලනය කෙරෙහි කිසියම් ප්‍රසාදයක් ගොඩ නැගී ඇති බව මට මෑතකදී අසන්නට ලැබිණ. ආණ්ඩුකරණය සම්බන්ධ මෙවන් ක්‍රියාමාර්ග දේශපාලනිකව වැඩ කරයි. ජනපතිවරයාගේ යෝජනාවට අනුව බලය බෙදීමේ දේශපාලන විසඳුමක් සඳහා සාකච්ජාවලට සහභාගී වන්නට දෙමළ ජාතික සන්ධානය දැනටමත් කැමැත්ත පළ කොට තිබේ. සමගි ජන බලවේගයටද එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. සමගි ජන සන්ධානයේ සෙසු කොටස්කරුවන්ටද මේ සාකච්ජා ප්‍රායෝගිකව කොතරම් පලදායක වන්නේද යන්න නොතකා ඒවාට සහභාගී වන්නට සිදුවේ.      

SP        

මගේ විචාරකයා පෙන්වා දෙන වැදගත් කාරණයක් නම් වික්‍රමසිංහ දැනටමත් හමුදා අංශවල නිළධාරී තන්ත්‍රයේ සහයෝගය දිනාගෙන ඇති බවත් දැන් බලය බෙදීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් එක්වරම දෙමළ සන්ධානය ඇතුළු සුළුතර ජනවාර්ගික නායකත්වයන්, ලිබරල් සිවිල් සමාජ කොටස් සහ ඉන්දියාව ඇතුළු බටහිර ලෝකය ආමන්ත්‍රණය කරමින් සිටින බවත්ය. මෙම නව ආමන්ත්‍රණය ඔස්සේ ඔහු දේශපාලනයේ නව බෙදුම් රේඛාවක් අඳින්නට ප්‍රයත්න දරයි. මා පසුගිය ලිපියේදී පෙන්වා දුන් පරිදි සැබවින්ම ජාතික ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික විසඳුමක් සඳහා විශාලතම බාධාව එල්ල වන්නේ වික්‍රමසිංහට සහාය දක්වන ආණ්ඩුවේ බහුතර කණ්ඩායම වෙතිනි. නමුත්, දැනට සුජාතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දෙමින් සිටින ඔවුන් දේශපාලනිකව යළි නැගිටින්නට දැරූ ප්‍රයත්නය තවමත් සාර්ථක වී නොමැත.

ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවීමේ තර්ජනාත්මක යෂ්ටිය ජනාධිපතිවරයා අතට හිමි වන බවද මෙහිදී සිහි තබා ගත යුතුය. මෙම සුවිශේෂී බල තුලනය තුළ තමන්ට සහයෝගය දක්වන මන්ත්‍රී කණ්ඩායමේ දෘෂ්ටිවාදී ස්ථාවරයට පරස්පරව යමින් සුළුතර ජනවාර්ගික නායකත්වයන් සහ ලිබරල් සිවිල් සමාජ ශ්‍රේණීන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් වික්‍රමසිංහ හට හිමිව තිබේ. සරදම්ජනක ලෙස ඔහු එසේ කරන්නේ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම ජන අරගලයෙන් (ජනතාවගෙන්!) ආරක්ෂා කර දීමේ මර්දනීය භූමිකාවට පන පොවන ගමන්මය. අප පසු කරමින් සිටින්නේ කවර නම් අබූතරූපී දේශපාලන මොහොතක්ද?


කෙසේ වුවත්, දේශපාලනිකව වඩා වැදගත් කාරණය වන්නේ ජාතික ප්‍රශ්නය යළිත් ජාතික දේශපාලන සංවාදයේ කේන්ද්‍රයට ගැනීම සමග විපාක්ෂික බලවේග තුළ ඇති කෙරෙන ආතතීන් සහ බෙදීම්ය. සමගි ජන සන්ධානය තුළට මෙයින් මුදා හැරෙන ආතතීන් නිදසුනක් ලෙස ගනිමු. වික්‍රමසිංහ හට දිගු කලක් මුළුල්ලේ දෙමළ සහ මුස්ලිම් නියෝජනයක් සහිත ප්‍රධාන ධාරාවේ පක්ෂවල සහයෝගය දිනා ගත හැකිව තිබුණි. 

 

ඒ කොතෙක්ද යත්, ඔහු තම පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුද පැන නැගුණු අවස්ථාවලදී අනුගමනය කළ ප්‍රධාන උපායක් නම් පක්ෂය සමග සන්ධානගත වූ කණ්ඩායම්වල සහයෝගය ඇත්තේ තමන්ට බව තහවුරු කිරීමයි. සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ සහයෝගයකින් තොරව රාජපක්ෂ කඳවුර පරාජය කළ නොහැකි යථාර්තයක් තුළ මේ උපාය වැඩ කළේය.

නමුත්, පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය පිළිබඳව මතු වූ අභ්‍යන්තර ගැටුම හමුවේ දෙමළ සන්ධානය ඇතුළු සුළුතර නායකත්වයන් සහාය දැක්වූයේ සජිත් ප්‍රේමදාස හටය. එජාපය බෙදී ගිය තැන් පටන් මේ දක්වාම එජාපයේ සාම්ප්‍රදායික සන්ධානකරුවන් එක්ව සිටින්නේ සමගි ජන බලවේගය සමගය. ජනප්‍රිය නොවන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින වික්‍රමසිංහ හට තමන්ගේ සාම්ප්‍රදායික සන්ධානකරුවන් නැවත දිනා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.


නමුත්, ඔහු දැන් ස්පර්ෂ කරන්නේ සජබය සහ එහි දෙමළ/මුස්ලිම් සන්ධානකරුවන් එකිනෙකට සුසම්බන්ධ කරන්නා වූ සියුම් දෘෂ්ටිවාදී නිලයකි. බලය බෙදීමේ දේශපාලන විසඳුමක ප්‍රධාන ප්‍රකාශකයාගේ තැන ස්ථානගත වී ඔහු දැන් සමගි ජන සන්ධානයේ තෝරා ගත් කොටස් වෙත ආමන්ත්‍රණය කරයි. ආර්ථික යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුළුල් ජනතා අපේක්ෂා සමග බලය බෙදීමේ විසඳුම සුසම්බන්ධ කරන්නට විපාක්ෂික බලවේග අසමත් වුව හොත්, වික්‍රමසිංහට මෙම අවකාශය තුළ සාර්ථකව කළ හැකි ක්‍රීඩාවක් තිබේ.

 
මේ ක්‍රීඩාවට වමේ පිටියේ සිට මුහුණ දිය යුත්තේ කෙසේදැයි මීළඟ ලිපියේදී සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

 
sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...