The Leader News
BREAKING
Top Ad
Opinion

'ආයු' යන්නෙහි අර්ථය වයසම නොවේ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

December 16, 2022 • 1:58 PM

'ආයු' යන්නෙහි අර්ථය වයසම නොවේ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ආයු” යන්නෙහි අර්ථය වයසම නොවේ.
  • ඇතැම් සමාජ ඉතා දිග කාලයක් පවතී.
  • එයට සාපේක්ෂව ඇතැම් සමාජ ඉතා කෙටි කාලයක් පවතී.
  • වසර අසූදහසක් හෝ හතලිස්දහසක් හෝ සියයක් හෝ දහයක් හෝ ලෙස කියන්නේ මෙන්න මේ “ආයු” ගැනය.
අකුරු ප්‍රමාණය (Font Size):



“ආයු” යන්නෙහි අර්ථය වයසම නොවේ. එයට ආසන්නතම ඉංග්‍රීසි වචනය eon/aeon (ඉආන්/ඉඕන්) යන්නයි. එහි අර්ථය ඉතා දීර්ඝ කාලය යන්නයි. “යුගය” යන්න “ආයු” යන්නට වඩාත් සමීපය. ජීවය ජීවිතය ජීවිත කාලය වැනි දේ සඳහාද “ආයු” යන්න යෙදේ. එමෙන්ම පරම්පරාව පරම්පරාවක යුගය යන්නත් “ආයු” යන්නෙහි අර්ථයකි.


“මිනිසුන්ගේ ආයු කාලය” යැයි කී විට එයින් අදහස් වෙන්නේ මනුෂ්‍ය සත්ත්වයෙකුගේ “උපතේදී ආයු අපේක්ෂාව” හෝ මිනිසුන්ගේ සාමාන්‍ය “වයස” වැනි දෙයක් නොවේ. එයින් අදහස් වන්නේ කිසියම් මිනිස් සමාජයක හෝ පරම්පරාවක යුගයයි. ඇතැම් සමාජ ඉතා දිග කාලයක් පවතී. එයට සාපේක්ෂව ඇතැම් සමාජ ඉතා කෙටි කාලයක් පවතී. ඉතිහාසය එයට ඕනෑතරම් සාක්ෂි සපයා තිබේ. එසේ වන්නේ ඇයි?

 

කිසියම් මිනිස් සමාජයක් අනුන්ගේ දේ සොරකම් නොකර බොරු නොකිය ප්‍රාණඝාතය නොකර කාමයෙහි වරදවා නොහැසිරෙන විට එම සමාජය යහතින් පවතී. ස්වභාවික උවදුරක් නොවන්නට එම සමාජය දිග කාලයක් පවතී. අනුන්ගේ දේ සොරකම් කරන්නට බොරු කියන්නට ප්‍රාණඝාතය කරන්නට කාමයෙහි වරදවා හැසිරෙන්නට පටන් ගත් විට එම සමාජය පිරිහේ. ඉක්මණින් අවසන් වේ. වසර අසූදහසක් හෝ හතලිස්දහසක් හෝ සියයක් හෝ දහයක් හෝ ලෙස කියන්නේ මෙන්න මේ “ආයු” ගැනය.

 

මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. ලෝබය ද්වේශය මෝහය වැඩි වෙන්න වෙන්න එම සමාජය ඇනකොටාගෙන එකිනෙකා විනාශ කරගන්නවා. අවි ආයුධ හදාගන්නවා. න්‍යෂ්ටික අවි වගේ භයානක අවි හදාගන්නවා. ඒවායින් එක රටක සමාජයක් පමණක් නොවෙයි ලෝකයේම මිනිස් සමාජයේ “ආයු” අවසන් කරන්න පුළුවන්.

 

EG 221216


ඊට පස්සේ ඉතුරුවන මිනිස්සු ටිකක් ඒ වරද තේරුම් අරගෙන ලෝබ ද්වේශ මෝහ නොකර ඉන්න පටන් ගන්නවා. එතනින් නැවත අලුත් සමාජයක් හැදෙනවා. ඒ සමාජයේ ආයු කාලය ක්‍රමයෙන් වැඩි වෙනවා. කාලයක් ගිහිල්ලා නැවත ලෝබ ද්වේශ මෝහ හටගන්නවා. ඉතින් නැවත ආයු කාලය අඩුවෙන්න පටන් ගන්නවා. ආක්‍රමණශීලී මුල් මුස්ලිම් සමාජයේ මොහොමඩ් විසින් අයීෂාව විවාහ කරගන්නේ වයස අවුරුදු හයේදී. නිරන්තර යුධ ගැටුම් තියෙන සමාජවල මිනිස්සුන්ගේ ජීවිත කාලය අඩු වීම තාර්කිකයි. දරිද්‍ර සමාජවල දැරිවියන් අඩු වයසෙන් කසාද බන්දනවා අදටත්.

 

මේ ආයු කාලය අඩු වැඩි වෙනවා කියන්නේ වසර මිලියන ගණනක “පරිණාමය” නොවෙයි. මේක නිරන්තරයෙන් සිදුවෙන දෙයක්. මේකත් ඉතින් “පරිණාමයක්” හෙවත් “වෙනස් වීමක්” කියා අර්ථ දක්වන්නත් පුළුවන් හැබැයි. නමුත් ඔය පරිණාමය විපරිණාමය පරිණාමවාදය වගේ දේවල අර්ථය හරියට නොගත් අයට මේවා තේරුම් ගන්න අමාරුයි.

 

“ආයු” යන්න තවත් ගැඹුරින් කතා කළහොත් එය අවුරුදු ගණනින් මනින “වයස” යන්නට වඩා වෙනස් වේ. වයස යන්නෙහිත් ඇත්තේ වෙනස් අර්ථයකි. එයින් අදහස් වනුයේ “වැය” වීම හෙවත් “ක්ෂය” වීමයි. එනම් ජරාවට පත්වීමයි. එය වෙනම කතා කළ යුතුය. සමාන “අවුරුදු ගණනක්” මිහිපිට ගත කළ මිනිසුන් දෙදෙනෙකුගේ “ආයු” කාලය වෙනස් විය හැකිය. අයෙකුට වසර සියයක් ජීවත් වූවා වැනි වේදනාවක් දැනෙන විට අයෙකු ජීවත් වී ඇත්තේ වසර දහයක් මෙන් දැනිය හැකිය.


“මේ අවුරුද්ද හරි ඉක්මණට ගියා”, “ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට කාලය ගිහිල්ලා” වැනි කතා ඔබත් කියනවා නේද? බොහෝ අයගේ ළමා කාලය සිහි කරන විට හිතෙන්නේ එය ඉතා දිගු කාලයක් ලෙසයි. කාර්යබහුල මැදිවයස ඉක්මණින් ගතවේ. මහළු නිවාසවල ඉන්නා අයට පැය විසිහතර දැනෙන්නේ කල්පයක් ලෙසිනි. “කල්පය” යන්නත් ජීවිත කාලයට තවත් යෙදුමකි. එය වෙනම කතා කළ යුතුය.

 

කාලය යනුවෙන් සත්‍යයක් නැත. ඇත්තේ ප්‍රත්‍යුත්පන්න සිදුවීම් දාමයකි. හරියටම කිව්වොත් සිදුවීම් දැලකි. ජීවිතය කරත්තයකින් ගියොත් ඉතා දිග කාලයකින් යන්න පුළුවන්. ඒ ජීවිතයම ෆොර්මියුලා 1 රේසින් කාර් එකකින් ගියොත් ඉතා කෙටි කාලයකින් යන්න පුළුවන්. ඔබට අවශ්‍ය කෙටි ජීවිතයක්ද නැත්නම් දිග ජීවිතයක්ද කියා තීරණය කළ යුත්තේ ඔබයි.

 

ආයුබෝවන් යන්නෙහි ඇත්තේ පුද්ගල පැතුමකට වඩා සමාජ යහපැවැත්ම පිළිබඳ විදර්ශනාවකි.


ධර්මය අපට මග වේවා!


ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 දෙසැම්බර් 16

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...