The Leader News
BREAKING
Top Ad
Opinion

මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 18, 2022 • 10:54 AM

මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යථාර්ථය ගැන සරල ඒකාකෘතික මත නිර්මාණය කරල තිබ්බාම ඇත්ත යටපත් කරන්න ලේසියි. උදාහරණයක් විදියට ලංකාවෙ ඕනැ දේකට තඩිබාන
  • අවුරුදු දහයකට කලිනුත් ඔබ මට බැනලා ඇති, මේ විදියටම.
  • ඒ සඳහා ගත් ඇතැම් පියවරවලට එරෙහිව ඊනියා ප්‍රගතිශීලීන් ඊයේ දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය හරහා පළකරනවා දකින්නට ලැබුණා.
  • ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් තමයි අයිස් ගෙනෙන්නේ දේශපාලකයන් බව.
අකුරු ප්‍රමාණය (Font Size):

මුවහම තමයි දේශපාලකයා.


දේශපාලකයන් තරමටම හෝ ඊටත් වඩා රාජ්‍ය නිලධාරීන් දූෂිත බව පෙන්වන්නට අපට අවුරුදු දහයක් විතර කැම්පේන් කරන්නට සිදුවුණා. මවල තිබුණු අර්ධ සත්‍යය මැදින් යථාර්ථය තේරුම් ගන්නකොට රාජ්‍යය කඩාවැටිල ඉවරයි.


මගේ දේශපාලන භූමිකාව ඔය ජනප්‍රිය අදහස් ප්‍රශ්න කරන එක. මේක මං දශක ගණනාවක් තිස්සෙ කරනවා. මං කවදාවත් ජනප්‍රිය නැත්තෙ ඒකයි. මගේ දේශපාලන භූමිකාවෙන් වෙන්නෙ ඔබේ සුවපහසු ලෝකය (comfort zone) අවුල් වෙන එක. ඒක නිසායි ඔබ හැමදාමත් මට වෛර කරන්නෙ. මාව ෆලෝ කරන අය කල්පනා කරලා බලන්න. අවුරුදු දහයකට කලිනුත් ඔබ මට බැනලා ඇති, මේ විදියටම.

 

අයිස් බරපතල ප්‍රශ්නයක්. ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕනැ. විශේෂයෙන්ම පාසල් ළමයින් එයට ගොදුරු වෙන එක සම්බන්ධයෙන් පියවර ගන්නට ඕනැ. ඒ සඳහා ගත් ඇතැම් පියවරවලට එරෙහිව ඊනියා ප්‍රගතිශීලීන් ඊයේ දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය හරහා පළකරනවා දකින්නට ලැබුණා. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් තමයි අයිස් ගෙනෙන්නේ දේශපාලකයන් බව. ඒ වුණාට ඒ මොන දේශපාලකයද කියලා කවුරුවත් දන්නෙ නැහැ. නිකම් කියන්නන් වාලේ කියනවා.

 

මත්ද්‍රව්‍ය ජාවාරම සමග දේශපාලකයන් සම්බන්ධ වන හැටි ගැන මං ඊයේ පැහැදිලි කළා. මං ලිව්වෙ මෙහෙම: “සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරවල නියැලෙන අය ඇතැම් මැති ඇමතිවරුන් සමග සමීපත්වයක් පවත්වාගෙන යනවා. දේශපාලකයන්ට බලෙන් වගේ උදව් කරනවා.


“දේශපාලකයන් සමග ඉන්න බව පෙන්නනවා. දේශපාලකයිනුත් ඔවුන්ගේ උදව් ලබාගන්නවා. මුදලුත් ගන්නවා. තමන්ගෙ ඇඟේ ගාගන්නෙ නැතුව පොඩි පොඩි කේස්වලදි සපෝටුත් දෙනවා. එම දේශපාලකයන් ඔවුන්ගේ ක්‍රියාවන් ගැන අහලා නැතුව නෙමෙයි.


“මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය දේශපාලන සම්බන්ධකම් නිසා ගොඩනැගෙන බලය බිස්නස් සඳහා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම පොලිසිය සමග සම්බන්ධතා ගොඩනගාගන්නෙ ඒ බලය පාවිච්චි කරලායි. ඔවුන්ගේ සම්බන්ධතා රාජ්‍යය තුළ ඊටත් වඩා ගැඹුරට විහිදෙන අවස්ථා තිබෙනවා.

 

සියලු මැති ඇමතිවරුන් කුඩුකාරයන්, අයිස්කාරයන් ලෙස හැඳින්වීමෙන් සිදුවෙන බරපතල වරදක් තියෙනවා. ඒ තමයි, සැබෑ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් වෙතින් අවධානය ගලවාගෙන වෙනත් පිරිසක් වෙත යොමුකිරීම. ඒක සැබෑ ජාවාරම්කාරයන්ට හොඳ ආරක්ෂාවක් සපයනවා.”

 

මේ ඇත්ත පෙන්නලා දුන්නාම බොහෝ දෙනෙකු අපහසුතාවට පත්වුණා. “මොනවද මේ කියන්නෙ?” වගේ ප්‍රශ්න ඇහුණා. මං කිව්වා තමන්ගෙ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් අතරින් කීදෙනෙකුට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වෙනවද කියල සොයාබලන්න කියලා. ෆේස්බුක් එකෙන් එළියට බැහැලා ලෝකෙ මොනවද සිදුවෙන්නෙ කියලා හොයා බැලුවොත් පෙනෙනවා මේ ජාවාරම් කරන්නෙ කවුරුද කියලා. මේවට සම්බන්ධ යම් දේශපාලකයන් පිරිසක් ඇති. ඒත්, මත්ද්‍රව්‍ය ජාවාරම වෙනම කෙරෙන එකක්. එක ගෝලීය ජාවාරමක්. ජාවාරම් ආර්ථිකයක්. දේශපාලන සම්බන්ධකම් අවශ්‍ය නැහැ. ඔබට ඕනෑ නම් ඔබටත් ඒ සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉක්මණින් ධනවත් වෙන්න පුළුවන්. හැබැයි, අවදානම අති විශාලයි. ස්ථාවරව සාර්ථක වුණ අය අතිශය විරලයි. හැබැයි, අද වගේම හෙටත් ඕනැ තරම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම සමග සම්බන්ධ වෙනවා. ඒවා ගැන දකුණු ආසියාතික චිත්‍රපට හෝ මාධ්‍ය ප්‍රබන්ධ ඇත්ත නෙමෙයි.


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදලින් ජාවාරම්කරුවන් ඍජුව හා වක්‍රව බොහෝ දේ පාලනය කරනවා. දේශපාලනය, මාධ්‍ය, පොලිසිය, රාජ්‍ය බලධාරීන් විතරක් නෙමෙයි මෙතන නම් සඳහන් කළොත් නීතිමය ප්‍රශ්න මතුවන තවත් අංශත් පාලනය කරනවා.

 

ඔබ නොදන්නා දේ තමයි, ඔබත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අවශ්‍ය විදියට හැසිරෙනවා. ඊයේ ෆේස්බුක් වීරයන් වැඩිදෙනෙකුගේ චර්යාව එහෙමයි. ඔවුන් පාසල් දරුවන්ගේ බෑග්වල මත්ද්‍රව්‍ය තිබෙනවාද කියා සොයන එකට එරෙහිව සෑහෙන්න ටිපර් වෙලායි හිටියෙ. දරුවන්ගෙ කෑම පෙට්ටිවල තියෙන්නෙ මොනවද කියල හොයන්න කියල සමහරු කිව්වා. ළමයින් පාවිච්චි කරනවද කියලා හොයනවා වෙනුවට ගේන අයව හොයන්න කිව්වා. ගේන්නෙ දේශපාලකයන්ය කිව්වා. ඒවා ගේන්නෙ ගුවන් තොටුපළ හරහාය කිව්වා (ඇත්ත වෙන්නත් පුළුවන්. රේගු නිලධාරීන්ට අල්ලස් දීලා වෙනත් බඩු ගෙනෙන අය අපි දන්නවා. මත්ද්‍රව්‍යත් එහෙම ගෙනෙන්නට පුළුවන් ඇති.) ගුවන් තොටුපළේ ඉන්න රේගු නිලධාරින් රාජ්‍ය සේවකයන් පිරිසක් මිස දේශපාලකයන් නෙමෙයි.

 

මේ විදියෙ චර්යාවන් මගින් ඊනියා ෆේස්බුක් වීරයන් පෙනීසිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයගේ සිට, ඒ අය හරහාම ක්‍රියාත්මක වෙන සිල්ලර මත්ද්‍රව්‍ය ජාලය, තොග ජාලය හා ඒවා මෙරටට ගෙන්වන අය වෙනුවෙන්. මේ පිරිසම පහුගිය කාලේ ලංකාවට බැංකු හරහා සල්ලි එවන්න එපාය කියා කිව්වා. ඒකෙන් උන්ඩියල්, හවාලා ජාවාරම් ශක්තිමත් වුණා. ඒ ක්‍රමය තුළ විදේශ විනිමය සංසරණය වැඩිවෙන එක මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාදයක්.


මේවා එකකට එකක් සම්බන්ධයි. ඒ සමග විශාල ආර්ථික ක්‍රියාවලියකුත් සම්බන්ධයි. අපිත් නොදැන අපි විකිණෙන ජාවරමක් මේ. අනුර කුමාර දිසානායක කියනවා වගේ කල්පනා කරල බලන්න.

 

මේ වන විට පාසල් සිසුන්ට බලපාන භයානක ප්‍රශ්නයක් වන අයිස් ප්‍රශ්නය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා පොලිසිය එක්ව ගනු ලබන ක්‍රියාමාර්ගවලට අපේ පූර්ණ සහයෝගය හිමිවෙනවා. ඒ එක්කම මේකත් කිව යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන හැමෝම ඒවාට ඇබ්බැහි වෙන්නෙ නැහැ. හැබැයි, කවුරු ඇබ්බැහි වෙයිද නොවෙයිද අපි දන්නෙ නැහැ. විශේෂයෙන්ම පාසල් සිසුන් වගේ නොමේරූ සමාජ කණ්ඩායම්වලට මත්ද්‍රව්‍ය තේරුම් ගැනීමට අවබෝධය මදි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීති දැඩිකිරීම හා වෙළඳාමටත්, භාවිතයටත් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම ඉතා හොඳයි.



අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...